පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 7වන පරිච්ඡේදය


විදුලිජනක යන්ත්‍රය වරක් පණ ඇද්දේය. දෙවරක් පණ ඇද්දේය. තුන්වන වර එය පණ ගැන්වෙමින් ජීවයට පැමිණියේ ඝෝර ශබ්දයක්ද නඟමිනි.

ස්කලී තම අතින් නළල පිස දැමුවාය. ඇයටත් නොදැනීම ඇයට දහදිය දමා තිබුණි.

මට කෑම කන්න ඕනි, ස්පිනී දැනුම් දුන්නේය. මම දවස් තුනකින් කාලා නෑ.

තවත් වදනක් නොදොඩාම ඔහු කැබින් කාමරය වෙත පිටත් වුනේය.

හම්ෆ්‍රීස් අනෙක් අය දෙසට හැරුණේය. දැක්කනේ මිනිහා ගහපු බොරු ටික. අපි ඒවා ඔක්කොම විශ්වාස කරයි කියලා වෙන්න ඇති මිනිහා හිතන් ඉන්නේ, ඔහු කීවේය.

අනෙක් තුන් දෙනා නිශ්ශබ්දව සිටියෝය.

ඔයගොල්ලන්ට මොකක්ද වෙලා තියෙන්නේ? හම්ෆ්‍රීස් ඇසුවේය. මම නම් කියන්නේ ස්පිනී කවදාවත් ඇත්ත කියන්නේ නෑ ඒකෙන් මිනිහාට ගස් යන්න වෙන නිසා.

අපිට යමක් හම්බ උනා කැළේ තිබිලා, ස්කලී ඔහුට කීවාය.

මොකක්ද? හම්ෆ්‍රීස් ඇසුවේය.

කෘමියෙක්ගේ කෝෂයකට අහුවෙච්ච මළ මිනියක්, මුවර් කීයේය.

කෝෂයකට? හම්ෆ්‍රීස් ඇසුවේය.

ඒ වගේ එකකට තමයි, මොල්ඩර් කීවේය.

මාත් කවදාවත් ඒ වගේ එකක් දැකලා නෑ, මුවර්ද පිළිගත්තේය.

ඒ මොකක්ද කියලා අපි හරියටම හොයාගන්න ඕනි, ස්කලී කීවාය.

අපිට තව තොරතුරු දැනගන්න ඕනි ස්පිනී මහත්මයාගෙන්, මොල්ඩර් ප්‍රකාශ කළේය.

ස්කලී කැබින් කාමරය දෙස බැලුවාය. එහි ජනේල සැඳෑ අඳුර මධ්‍යයේ ආලෝකයෙන් බබළමින් තිබුණි. අඩුම තරමේ දැන් අපි දන්නවා ආලෝකය හරි තියනවා කියලා, ඇය කීවාය.

ඒ වගේම අපි දන්නවා එයා කැබින් කාමරයට ගිය ගමන්ම කළේ ආලෝකය දල්වන එක, මොල්ඩර් කීවේය. එයාට කෑමට වඩා ආලෝකය වටිනවා වගේ.

සතරදෙනාම කැබින් කාමරය වෙත ගියෝය. ස්පිනී කෑම ටින් විවෘත කරමින් සිටින අයුරු ඔවුනට දක්නට ලැබිණ. ඔහු මේසයේ වූ පිළුණු ආහාර කලින්ම අනුභව කොට අවසන් කර තිබුණේය.

ස්පිනී හිස ඔසවා ආරක්ෂක ප්‍රධානියා දෙස බලා මුව අගින් සිනාසුනේය. මස් ජාති මොකවත් නැද්ද හම්ෆ්‍රීස්? ඔහු ඇසුවේය. ඔහේගේ කොම්පැණියේ දේවල් කනවා කියලා තරහා ගියාද? ශිෆ් ඉමැගුට් කොම්පැණිය මේ කැළේදී මේ වෙලාවේ අඩුවෙන්ම කළබල වෙන්න ඕනි දෙයක් තමයි ඒක. ඊට වඩා දේවල් තියනවා මේ වෙලා‍වේ හැටියට කළබල වෙන්න.

තමුන් පරිස්සමින් හිටියා නම් වඩා හොඳයි ස්පිනී, හම්ෆ්‍රීස් කීවේය. තමුසේ තමයි කළබල වෙන්න ඕනි කෙනා හරිනම්.

ඔහේ කියන්නේ අපි මිනිස් වාසයකට ගියාට පස්සේ මගේ හිතේ? ස්පිනී ඇසුවේය. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නෙවෙයි මම කියන දේ එක්ක බැලුවම. ඔහු නැවත වරක් තම මුව අහර වලින් පුරවා ගතතේය.

මොල්ඩර් ඔවුන් හරහට පැමිණ හිඳ ගත්තේය. මට පොඩි ප්‍රශ්න වගයක් තියනවා ස්පිනී මහත්මයාගෙන් අහන්න, ඔහු කීවේය.

මම තේ ටිකක් හදන්නම්, ස්කලී කීවාය. අද රෑ ගොඩක් දිග එකක් වෙන පාටයි.

ඔව්, අහර පිරුණු මුවින්ම ස්පිනී පිළිතුරු බැන්දේය. මෙහෙදී රාත්‍රිය ගොඩාක් දිගයි තමා. ගොඩාක් දිගයි.

මුවර්ද මේසය මත හිඳගත්තේය. හම්ෆ්‍රීස් තම තුවක්කුව දණහිස් මත රඳවා ගනිමින් ස්පිනීගේ සෑම ඉරියව්වක්ම නිරීක්ෂණය කිරීමෙහි ලා උත්සුක වූයේය.

ඔහේට මෙහේදි ඇත්තටම මොකක්ද වුනේ? මොල්ඩර් ඇසුවේය.

ස්පිනී පිළිතුරු දීමට කාලයක් ගත්තේය. ඔහු තමා අනුභව කරමින් සිටි ආහාර කෑනය අවසන් කර තවත් එකක් විවෘත කළේය. ඉන්පසු තම පිටි අත්ලෙන් මුව පිසදා ශබ්ද නඟා රාම තෙල් ඇරියේය. ඉන්පසු ඔහු තෙපළන්නට වූයේය. අපි මෙහෙ ඉඳන් මිටියාවත් දෙකකට එහායින් කඳවුරු ගහගෙනයි හිටියේ. අපි හතර දෙනෙක්. ඊයේ රෑට පස්සේ තුන් දෙනයි ඉතුරු වුණේ.

හම්ෆ්‍රීස් කාරා කෙළ ගැසුවේය. එය පතිත වූයේ ස්පිනීගේ දෙපතුල් අසළ ලී පොළවේය. මේ පැත්ත ගඳ ගහන එකේ පුදුමයක් නෑ, හම්ෆ්‍රීස් කීවේය. මෙහෙ උරුලෑවන්ගෙන් පිරිලා.

කිවුවට විශ්වාස කරන්න, උරුලෑවන්ට වඩා භයානක දේවල් වලින් පිරිලා, ස්පිනී ඔහුට කීවේය. ඉන්පසු ඔහු මොල්ඩර් දෙසට හැරුණේය. අපේ ජීප් එකේ බැටරිය බැහැලයි තිබුණේ. අපි ඉරි ඇදලා තෝරගත්තා කවුද මෙහාට පයින් ඇවිල්ලා මේ අයගෙන් හොඳ බැටරියක් අරන් එන්නේ කියලා.

හම්ෆ්‍රීස් යමක් කියන්නට උත්සාහ කළද මොල්ඩර් තියුණ බැල්මක් හෙළා එය වැළැක්වූයේය.

මොකද ඔයගොල්ලෝ ඔක්කොම එකට පයින් ගිහින් කැළයෙන් පිටවුනේ නැත්තේ? මොල්ඩර් ස්පිනීගෙන් ඇසුවේය.

පයින් යනවනම් ඒකට දවසකට වඩා යනවා, ස්පිනී කීවේය. අපිට කොහොමටවත් කැළේ රැයක් ගත කරන්න ඕන වෙලා තිබ්බේ නෑ ටීග්ට වුණ දේට පස්සේ.

ටීග්ද අර පණපිටින් කාලා දාලා තිබ්බ කෙනා? ඔවුන් සියළු දෙනාටම තේ වත් කරමින් ස්කලී ඇසුවාය.

ස්පිනී හිස සළා අනුමත කළේ එය මතකයට නඟමින්ය. ඔහු තමන්ගේ ආහාර කෑනය ඉවතට තල්ලු කර දැම්මේය. ඔහුගේ ආහාර රුචිය නැතිවී ගියාක් මෙන් පෙණින.

ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම කැළේ මොකද කරන්නේ? මොල්ඩර් නැවත සංවාදය පටන් ගත්තේය.

ස්පිනී ව්‍යාජ අවිහිංසකත්වයක් මවා පාමින් තම ඇහිබැම ඉහළ දැම්මේය. අපි නිකං කඳවුරු ගහන් ඉන්නේ, ඔහු කීවේය.

කඳවුරු, හම්ෆ්‍රීස් කීවේය. ඒ විදිහේ කඳවුරු ගහන එක ඇවිල්ලා දඬවම් ලැබිය යුතු වරදක්.

තත්පරයක් දෙන්න, මොල්ඩර් ඔහුට කීවේය.

නමුත් මුවර් ගත්තේ හම්ෆ්‍රීස්ගේ පැත්තය. එයා කියන එක ඇත්ත, ඔහු මොල්ඩර්ට කීවේය. මේ මිනිහා අපරාධකාරයෙක්. හරිනම් අත්අඩංගුවට ගන්න ඕනි.

හරිනම් නෙමේ අනිවාර්යයෙන්ම, හම්ෆ්‍රීස් කීවේය.

ස්පිනී හා ඔහුගේ සගයින්ගේ කළු පැල්ලම් මකන්නට තනිවම උත්සාහ කිරීම වදන් අපතේ යැවීමක් ලෙස පෙණුනත් ඔහුද ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

එතකොට හම්ෆ්‍රීස්, තමුසේ බබා? ඔහු තරයේ කියා සිටියේය. සොබාදහමට එරෙහිව තමුසෙලා කරන අපරාධ ගැන මොකද කියන්නේ එතකොට?

අපි හරියටම නීතියට අනුව තමයි වැඩ කරන්නේ, හම්ෆ්‍රීස් කීවේය. අපි ගස්වල හිමිකමට සල්ලිත් ගෙවලා ඒව කැපුවට පස්සේ-

ස්පිනී ඔහුට බාධ‍ා කළේය. මට ආරංචියක් ආවා නීතිගරුක මහත්මයා. ඔහෙලගේ ගස් කපන අය තහනම් කරලා තියෙන ගසුත් කපනවා කියලා. අවුරුදු සිය දහස් ගණන් පරණ ඒවා. විශේෂ සළකුණු කරලා ආරාක්ෂා කළ යුතු ඒවා විදිහට සළකලා තියෙන ඒවා. මේ පැත්තේදී ඕවා පරීක්ෂා කරන්න කෙනෙක් නැති නිසා වෙන්න ඇති මගේ හිතේ. එහෙම නැත්නම් දැක්කත් නොදැක්කා වගේ ඉන්න නිසා වෙන්න ඇති. නීතිය කඩන එක ගැන මට උගන්නන්න එන්න එපා මහත්තයෝ.

මුවර් මඳක් ඉදිරියට නැමුණේය. ශි‍ෆ් ඉමැගුට් සමාගමේ අය තහනම් කරපු ගස් කපනවා?

කීයක් ඔට්ටුද? ස්පිනී විශ්වාසයෙන් යුතුව කීවේය. තැඹිලි පාටින් ඔයගොල්ලන්ගේම මිනිස්සු සළකුණු කරපු ඒවා. කපන්න එපාම කියල තියෙන ඒවා. එහෙම නැත්නම් මට වැරදිලාද වනාන්තර සේවා මහත්තයෝ? මම හිතන්නේ ඔයගොල්ලෝ කොළ පාට කඩදාසි වලට කැමති ඇති කොළ පාට පරිසරයට වඩා මගේ හිතේ?

මුවර්ගේ මුහුණ රතුවී ගියේය. ඔහු හම්ෆ්‍රීස් දෙසට හැරුණේය. පරණ ගස් කපනවාලු. මේ ගැන මොනවා හරි දන්නවද, ස්ටීව්?

මම කිසිදෙයක් දන්නේ නෑ, හම්ෆ්‍රීස් පැවසුවේය.

නමුත් මුවර් දිගටම ඔහු දෙස බලාගෙන සිටියේය. තියුණු ‍ෙලස බලාගෙන සිටියේය.

මගේ වචනෙට වඩා මේ මිනිහගේ වචනේ විශ්වාසද? හම්ෆ්‍රීස් කෝපයෙන් ඇසුවේය.

මුවර් කිසිවක් කීවේ නැති මුත් ඔහුගේ නිශ්ශබ්දතාවය බොහෝ දේ කියා පෑවේය.

හම්ෆ්‍රීස් දෙපයින් නැඟිට්ටේය. මම තවත් මෙතන ඉඳන් මේ බහුභූත අහන්න කැමති නෑ, ඔහු ගෙරෙවුවේය. කෝපයෙන් පිපිරෙමින් හෙතෙම දොර දෙසට වේගයෙන් ගියේය.

ස්පිනී තම පුටුවෙන් ඉදිරියට නැමෙමින් හම්ෆ්‍රීස් යන දෙස බලා සිටියේය. ඔහුගේ මුවෙහි ගුප්ත සිනහවක් වූයේය.

මේ රෑ, එළියට යන එක නම් සුභ නෑ හම්ෆ්‍රීස්, ඔහු හැකි උපරිම ආකාරයෙන් මෘදුව කීවේය. මම කියන දේ පොඩ්ඩක් අහන්න. උන් ඉන්නේ එළියේ.

හම්ෆ්‍රීස් දොර අගුලට තැබූ අත මඳක් නවත්වා කොක්හඬින් සිනාසුනේය.

මොකක්? ඔහු ඇසුවේය. ඒ කියන්නේ මම මේ දොරෙන් එළියට ගියොත් මම ඉවරයි කියන එකද? මොකෙක් හරි මාව පණපිටින් අල්ලන් කනවා ඊට පස්සේ උගේ දැලෙන් මාව ඔතනවා කියන එකද?

ස්පිනීගේ සිනහව පුළුල් වී ගියේය. ඔව්, ඔහු කීවේය.

හම්ෆ්‍රීස් වඩාත් කොක්හඬලා සිනාසුණේය. ඔහු මඳක් හුස්ම ගන්නට සිනාසීම නතර කළේය. මම හිතන්නේ මේ මාරයා හරිම විනීතයි. ඒක නිසා වෙන්න ඇති ඒකා ඇතුළට ඇවිල්ලා කෙළින්ම අරගෙන යන්නේ නැතුව එළියට එනකල්ම ඉන්නේ. එහෙම නේද?

මොකක් හරි හේතුවකට උන් ආලෝකයට බයයි, ස්පිනී ශාන්තව ඔහුට කීවේය.

උන් ආලෝකයට බයයි? හම්ෆ්‍රීස් හති දමමින් සිනාසෙන්නට වූයේය.

මුවර් ඔහුගේ විනෝදයට බාධා කළේය. මිනිහා එහෙම කියන එකෙත් මොකක් හරි හේතුවක් ඇති ස්ටීව්.

හම්ෆ්‍රීස් සිනහසීම නතර කළේය. ඔහුගේ කටහඬ හැඟීම් විරහිත එකක් වූයේය. මම මොනවද හිතන්නේ කියලා දන්නවද? මම හිතන්නේ මේ මිනිහා බොරුකාරයෙක් වගේම මිනීමරුවෙක්. මිනිහා මොළේ පාවිච්චි කරලා මේ වගේ කතාවක් ගොතා ගන්න ඇති. අර කෝෂයත් මිනිහම හදන්න ඇති. දැව කර්මාන්තය කරන අයව කාබාසිනියා කරන්නයි මිනිහට ඕනි. ඒවගේම මම ඔප්පු කරනවා මම හරි කියලා

ඔහු වේගයෙන් දොර හැරියේය.

ඔහු රාත්‍රී අඳුරට පියමැන්නේය.

ඔහු තම රයිෆල් තුවක්කුව සූදානම් කර ගෙන සිටියේය.

ස්පිනී තම පුටුවේ පිටුපසට වුණේය. මම එයාට කිවුවේ නෑ කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ ඔන්න, ඔහු කීවේය.

විවෘත වී තිබෙන දොරෙන් පිටත වූ රාත්‍රිය දෙස බැලීමට මොල්ඩර් ඒ දෙසට ගියේය. ස්කලී ඒ පසුපස යත්දී අන්අයද ඒ පසුපස පැමිණියහ.

ස්කලීට ගුම් නාද පෙළක් ඇසුණේ ඇසිපිය ගසනා මොහොතකදීය. ඒවා සියුම් වූත් තියුණු වූත් ඒවා වූයේය.

ඒ මොකක්ද? ස්කලී පුදුමයෙන් කෑගැසුවාය.

කෘමි නාශක යන්ත්‍රයක්, මොල්ඩර් කීවේ කැබිනයේ පිටත එල්ලා තිබූ බබළන උපාංගයක් පෙන්වමිනි. ඒකෙන් රෑට කෘමීන්ව ආකර්ෂණය කරලා ඇදලා ගන්නවා. ඊට පස්සේ උන් පිචිචිලා මැරෙනවා. මෙරුවෝ ටිකක හැපෙන්න ඇති ඒකයි සද්දේ.



මේ කැළේ හරියට කෘමී සත්තු ඉන්න පාටයි, ස්කලි කීවාය.

ඔව් සෑහෙන්න ඉන්නවා, ස්පිනීද එකඟ වූයේය. ඒක සොබාදහමේ විශිෂ්ට සැළසුමක්. අපි උන්ව මරන කොට ඒක අසමබර වෙනවා. හරියට මෙතන කෙරෙන හැම දෙයකින්ම වෙනවා වගේ.

ශබ්දය එක්වරම නතර වූයේ එය පටන් ගත් ආකාරයේ සැණෙකිනි.

රාත්‍රිය නිශ්ශබ්දතාවයෙන් පිරී තිබුණේය.

ඉන්පසුව ඔවුනට ඇසුණේ හම්ෆ්‍රීස්ගේ අවඥාසහගත කටහඬය.

කෝ මේ මහ ලොකු මාරයෝ? එළියට වරෙල්ලා, ඉන්න තැනකින් එළියට වරෙල්ලා! පුළුවන් දෙයක් කරපල්ලා. මෙන්න මම ඉන්නවා!




2 අදහස්:

  1. සුපිරි කතා සෙට් එක,නියමයි.,.

    ReplyDelete