පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 6 වන පරිච්ඡේදය


රේ සෝමෙස්ගේ මිනීවළ හාරන්නට ටෘයිට් තමාට හැකි සෑම අයුරකින්ම විරුද්ධ වුවත් මුල්ඩර්ගේ එ‍ෆ්බීඅයි හස්තය විසින් මරණ පරීක්ෂක වරයාව ඒ සඳහා නම්‍යශීලී කරගන්නා ලදී.

සුසාන කණින්නා තම කාර්යය ආරම්භ කරත්දී ටෘයිට් තම සහායකයින් හා ප්‍රාදේශීය පොළිස් නිළධාරීන් සමඟ යම් මන්ත්‍රණයක යෙදී සිටිනු පෙණින. දහදිය සිරුරෙන් රෑටා වැටෙත්දී කණින්නා තම කාර්යය දිගටම කරගෙන ගියේය. ඔරිගන් හිරු, දැඩි රශ්මියක් දැක්වූයේය. දිවාකළ වායුගෝලය තෙතමනය සහිත වූවත්, බෙලෙෆ්ලුයර් කඳුකර සුසාන භූමිය නම් පෝරණුවක ස්වාභාවය පළ කළේය.

මුල්ඩර් නම් සැමදා සිට්න සැහැල්ලු නියාව පළ කරමින් සුර්යකාන්ත ඇට හපමින්, කලු පැහැති පස ඉහළට විසිවන අයුරුදෙස බලාගෙන සිටියේය. මුල්ඩර් දුටු විට, වමාරාකන ගවයෙකුගේ ස්වාභාවය ස්කලී සිහියට නැඟුවාය. දහදිය නිසා තම කිසිලි තෙත්වී ඇතිබව ඇයට දැනුණි.

මේක නම් කාලය නාස්ති කිරීමක්- බලන්න දාඩිය දාන හැටි, ඇය අපහසුවෙන් කීවාය. මේ ඩැනී ඩෝටි ගැන මොකද හිතන්නේ? මෙයා එක මිනීමැරුමකට වැරදිකාරයා වෙලා තියෙනවා. සමහර විට මෙයා වෙන්න ඇති මේ ඔක්කොම කරන්න ඇත්තෙත්.

ඩැනී ඩෝටි තමයි භාර උනේ පොලීසියට, මුල්ඩර් කීවේය. එයා කිව්වා එයා තමයි තුන් දෙනාවම මැරුවේ කියලා. ප්‍රශ්නේ කියන්නේ පොලීසියට පුළුවන් වුනේ එක මරණයකට විතරක් ඩැනී ගේ තිබ්බ සම්බන්ධතාවය හොයාගන්න. පුංචිම පුංචි සාක්ෂියකින්. අනික් ඒවා ඔක්කොම අනුමාන. ඩැනීගේ පාපොච්චාරණය නොවෙයි නම් ඩැනී තාමත් නිදහස් මිනිහෙක්. හැමෝටම ඕනි වෙලා තිබුණේ මිනීමරුවාව හොයාගන්න. ඒක නිසා හැමෝම ඩැනීගේ වචනය බයිබලය වගේ විශ්වාස කළා. මෙහෙ මිනිස්සුත් කැමතියි මේ හැමදෙයක්ම කළේ ඩැනී කියලා අත හෝද ගන්න.

පොඩ්ඩක් ඉන්න, ස්කලී බාධා කළාය. මොකද එයා තමන් කරපු නැති මිනීමැරුම් කරා කියලා පාපොච්චාරණය කළේ?

ඒක සාමාන්‍ය දෙයක්. සමහර අය කැමතියි තමන් මිනීමරුවෝ විදිහට ප්‍රසිද්ධ වෙනවට, කී මුල්ඩර් සූර්යකාන්ත ඇට හපමින් ඒවායෙහි රොඩු මුවින් ඉවතට හෙළුවේය. ප්‍රශ්නයක් නෑ, ඩැනී ඉන්නේ මෙහෙ ඉඳලා සැතැපුම් හැටක් උතුරේ තියන හිරගෙදරක. අපිට ඕනේ නම් එයාගෙන්ම අහගන්න පුළුවනි.

මොකක් අහගන්නද? මුව ඇද කරමින් ස්කලී කීවාය. මොනව හරි බහුභූත ටිකක් කියයි. අන්තිම මිනීමැරුමත් එයා තමයි කළේ හිරෙන් පැනලා ගිහිල්ලා කියලා.

එහෙම කියන එක වැරදියි, මුල්ඩර් කීවේය.

විවෘත මිනී වළෙන් එසවී එන මිනීපෙට්ටිය දෙස ස්කලී බලා සිටියාය. මේ හාදයාගෙන් නම් ඊට වඩා දෙයක් දැන ගන්න පුළුවන් වෙයි. කෲර වුවද ස්කලී එසේ කීවාය.



මිනීපෙට්ටිය හැරයාමට නොකැමැති ලෙසක් පළකරමින්දෝ, මුල් ඒ වටා බැඳී තිබුණි. ඔසවනයේ පටිය මහත් තැතක් දරමින් ඒ කරදරකාරී මුල් සමඟ නිහඬ සටනක් දෙනු පෙණිනි. අවසානයේ මිනීපෙට්ටිය අහසට එසවෙන්නට ගත්දී ස්කලීට සැනසුම් සුසුමක් හෙළීමට හැකි වූ නමුත් ඔසවනයේ පටිය කැඩී ගිය කල්හි ඇයද අන් අයද එක්වරම සීතලව ගියාක් මෙන් වූහ.

පොළවට ඇද වැටුණ පෙට්ටිය පහත් භූමියේ ලිස්සා යන්නට වූ නමුත් අවසන, පෙඳ පාසි සහිත ගල්තලයක් මත්තෙහි වැදී නතර වූයේය.

මුල්ඩර්ද ස්කලී සමඟ ඒ දෙසට යන්නට වූ අතර මරණ පරීක්ෂක වරයා සහ ඔහුගේ සහායකයෝද ඒ දෙසට දිව එන්නට වූහ.

වැදීමෙන් පියන මඳක් ඇරී තිබුණු අතර, මුල්ඩර් විසින් එය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට සූදානමින් සිටියේය.

හොඳින් ඒ දෙස බැලීමට ස්කලී ඉදිරියට නැමුණාය. ඇයගේ වෘත්තීයමය ජීවිතයේ මෙය අමුතු දර්ශනයක් වූයේ නැත. දුර්වල ආමාශයක් ඇත්තෙකුට නම් මේ දර්ශන ජුගුප්සාජනක වනවාට කිසිදු සැකයක් නැත.

නවත්වන්න, ටෘයිට් අණ කළේය. මේ විදිහට නොවෙයිනේ නිළ පරීක්ෂණ කරන්නේ

ආ ඔව් මම අද නිදාගන්න ඉස්සෙල්ලා ඒක ගැන නීතිපොතේ තියෙන්නේ කොහොමද කියලා බලන්නම්, මුල්ඩර් කීවේය.

ඔහු ඉන්පසුව ප්‍රවේසමින් පියන විවෘත කළේය.

පියන එසවෙත්දී මුල්ඩර්ගේ උරහිසට උඩින් ස්කලී එය දෙස බලාගෙන සිටියාය.

අහ්. තම උගුරෙන් අනායාසයෙන් ශබ්දයක් පිටවත්දී, දහදිය සීතල වී තම සම මතුපිට සෙවළ බැඳුනාක් මෙන් ස්කලීට හැඟී ගියේය.

ඇය මුල්ඩර්ගෙන් පළ වන හැඟීම කෙබඳු දැයි දැන ගැනීමට ඔහු දෙස බැලුවාය.

මිහිපිට ඇති සුරපුරයකට පැමිණියාක් ‍ෙමන් ප්‍රීති සහගත මුහුණක් සහිතව මුල්ඩර් ඒ දෙස බලාගෙන සිටියේය.

මම නම් හිත්නනේ රේ සෝමෙස්ට පැසිපන්දු කණ්ඩායමට නම් තේරෙන්න බැරි වෙන්න ඇති, ඔහු කීවේය.

මිනීපෙට්ටියේ වූ රෑපය එහි සැටින් රෙද්ද මත දිගා වී තිබුණේය. ප්‍රමාණයෙන් එය කුඩා දරුවෙකුගේ මෙන් වූයේය. ප්‍රමාණයෙන් විශාල පාපන්දුවක් මෙන් වූ හිසක්ද ඇකිළී ගිය දුඹුරු පැහැති මෙන් වූ සමක්ද එය සතු වූයේය.

 

මේ මනුස්සයෙක්ද? ස්කලී විස්මයෙන් මෙන් ඇසුවාය. එය දැන ගැනීමට සැබැවින්ම වුවමනාදැයි ඇයට විශ්වාසයක් තිබුණේ නැත.

මම හිතුවේ නෑ - මරණ පරීක්ෂකවරයා යමක් කියන්නට උත්සාහ කළේය.

ඒක මුද්‍රා තියන්න, මුල්ඩර් අණ කළේය. කිසිම කෙනෙක්ට මේක බලන්නත් බෑ අල්ලන්නත් බෑ. කිසිම කෙනෙක්ට.

නමුත් මුල්ඩර් අදහස් කළ දෙය එයම නොවන වග ස්කලී දැන සිටියාය.

ඔහු අදහස් කළේ තමා හැර කිසිම කෙනෙකුට යන්න වග ස්කලී දැන සිටියාය. තමාද පැත්තකින් හිඳ ඒ අපූරු පරීක්ෂණයේ කොටස් කාරයෙක් වන වගද ස්කලී මැනැවින් දැන සිටියාය.



මරණ පරීක්ෂකවරයා ඔවුනට සම්පූර්ණ කාමරයක්ම පැකිළීමකින් තොරව ලබා දුන්නේය.

මුල්ඩර්, තමා හා ස්කලී හැර අන් සියළු දෙනාම කාමරයෙන් පිටමං කරත්දී පවා එයට ඔහු විරුද්ධ වූයේ නැත.

ඔයා‍ෙග නේ මේ බබා- ඔයාම බලාගන්න. මුල්ඩර් විසින් ඔහුගේ මුහුණ ඉදිරියේම දොර වසා දමන විට ටෘයිට්ට කියා ගත හැකි වූයේ එපමණකි.

මුල්ඩර් කාමරයේ ඇතුළතින් අගුල් දැම්මේය.

බලමු වෛද්‍ය විද්‍යාලෙදි ඔයා හරියට ඉගෙන ගෙන තියෙනවද කියලා, ඔහු ස්කලීට කීය.

බයවෙන්න එපා, ස්කලී කීවාය. මම මීට ඉස්සෙල්ලා මළසිරුරු කපලා තියෙනවා.

ඇත්තට? මුල්ඩර් ඇසුවේය. මේ වගේ එකක්?

කෝකත් එකයි, ස්කලී කීවාය.

බලමු එහෙමද කියලා, නේද? මුල්ඩර් ඇසුවේය.

බලමු, ස්කලී කීවාය. පොඩ්ඩක් ඉන්න, මට මේක පටිගත කරන්න ඕනි. මගේ විශ්ලේෂණ වල හඬපටයක් තියෙන එක හොඳයි.

පශ්චාත් පරීක්ෂණ වලටද? මුල්ඩර් ඇසුවේය. එහෙම නැත්නම් ඔයාගේ මුළාදෑනීන්ටද?

දෙකටම කියමුකෝ, ස්කලී කීවාය. ඒ වගේම මුල්ඩර් කියන සහායකයාටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්

හොඳයි, මුල්ඩර් කීය. එහෙනම් ඔයා ඕක පරීක්ෂණ කරන එකයි විස්තර කරන එකයි කරන්න මම ඡායාරූප ගන්නම්.

එසේ කියම්න් පොලරොයිඩ් කැමරාවක් ගෙන සෑම කෝණයකින්ම ඡායාරූප ගැනීමෙහි මුල්ඩර් උත්සුක වත්දී ස්කලී තම කාර්යයෙහි නිමග්න වූවාය.



විෂය වස්තුව සෙන්ටිමීටර එකසිය පනස් හයක් දිගය. ඇය පටිගත යන්ත්‍රයේ හඬපේනුවට කීවාය. එහි බර රාත්තල් පනස් දෙකකි. දිරායාමේ පශ්චාත් අවධියට පැමිණ සිටින එය, විශාල අක්ෂි කුහර වලින්ද, ගෝලාකාර හිස්කබලකින්ද සමන්විතය. එනිසා එය මිනිස් මෘත ශරීරයක් නොවන බව කිවහැක.

වෙන්න බෑ ස්කලී? මට කියන්න එහෙනම් මොන වර්ගයටද මේක අයිති වෙන්නේ කියලා? මුල්ඩර් ඇනුම්පද ස්වරූප‍ෙයන් කීවේය.

එක්තරා වර්ගයක ක්ෂීරපායී සත්වයෙක්. මම අනුමාන කරන්නේ බොහෝවිට චිම්පන්සියෙක් කියලා. ස්කලී ශාන්තව කීවාය.

ඕක කියන්න මෙහෙ ඉන්න මිනිස්සුන්ට. සෝමෙස්ගේ පවුලේ අයට, මුල්ඩර් කීවේය.

මට ඕනි ටිෂූ සාම්පල සහ එක්ස් කිරණ වාර්තා, ඔහු එකතු කළේය. ලේ වර්ගය. විෂ වර්ගය. සම්පූර්ණ ජාන වාර්තාවක්.

ඔය ඇත්තටමද? තමා අසන්නේ මෝඩ ප්‍රශ්නයක් බව දැන දැනම ස්කලී එසේ ඇසුවාය.

මෙහෙ කරන්න බැරි නම් කො‍ෙහ් හරි, මුල්ඩර් කීවේය.

ස්කලීට තවදුරටත් ඉවසා සිටීමට හැකිවූයේ නැත. ඔයා හිතන්නේ මේ පිටසක්වළ ජීවියෙක් කියලද? මේ වඳුරව සෝ‍මෙස් වෙනුවට මාරු කරපු ‍ෙකනා දැන් වෙනකොට බඩ අල්ලන් හිනා වෙනවා ඇති. අපි මොනවාද මේ කරන්නේ?

ඇය තම වදන් අපතේ යැවුවා පමණකි.

දැන්ම එක්ස් රේ ගන්න පුළුවන් වුනානම් හොඳයි. මුල්ඩර් කීවේය.

ස්කලීගේ කටහඬ වඩාත් උස්ව නැගුණි. එක්කෝ මුල්ඩර් ඇය කියනා දේ පිළිපැදිය යුතුය නැතිනම් අඩුගානේ ඇසිය යුතුය.

මුල්ඩර්, කවුරුහරි ඔයාව අන්දලා තියනවා, ඇය කීවාය. අර ගෑනු ළමයව මරපු කෙනා තාමත් නිදැල්ලේ. කොයි මොහොතක හරි තව කෙ‍ෙනක් මරයි කියලා කියන්න පුළුවන්ද?

හරි එහෙනම්, මුල්ඩර් කීවේය. එහෙනම් අපි වහාම එයාව නවත්වමු. මුල්ඩර් තම ඔරලෝසුව දෙස බැලුවේය. දැන් දහයයි වෙලාව. අපි අපේ තුවක්කු අරගෙන අවුරුදු ගාණක් තිස්සේ එෆ්බීඅයි එකට තියා කාටවත් අල්ලන්න බැරි වෙච්ච අපරාධකාරයාව කොටු කරගමු. පිස්සු කතා කරන්න එපා ස්කලී. අපිට පුළුවන් මේ අපි ඉස්සරහ තියෙන දේ හරියට පරීක්ෂණ කළොත් මේ මොකක්ද කින්ද මන්ද කියලා හරියටම හොයාගන්න.

ඔහු මඳකට නැවතුවේය. ඔහුගේ බැල්මෙහි තිබුණේ ආයාචනාත්මක බවකි.

ස්කලී මේ බලන්න, ඔහු කීවේය. මට පිස්සු කියලා හිතන්න එපා. ඔයාට ති‍ෙයන සැක සංකාමයි මටත් තියෙන්නේ. මම හිතනවා ඔයා මට උදව් කරයි කියලා ඒවා විසඳගන්න.










පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply