පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අද්භූත ව්‍යාඝ්‍රයා - 3වන පරිච්ඡේදය

ස්කලී තම සටහන් දෙස බැලුවාය. පොලිස් වාර්තාව අනුව පාර දිගටම දේපල හානි වාර්තා වෙලා තියනවා, ඇය කීවාය.

එහෙනම් ඒවා පස්සේ ගිහිල්ලා බලමු, මොල්ඩර් පිළිතුරු දුන්නේය.

ඔවුන් ඇවිදින්නට පටන් ගැනීමට පෙර ස්කලී නැවත වතාවක් වීදුරුවේ ඇති විවරය දෙස බැල්මක් හෙළුවාය.

පිරිසිදු කරන අය කියපු සද්දේ එකත් එකටම අධික ශබ්ද තරංග පිපිරුමක් ‍වෙන්න ඕනි, ඇය අනුමාන කළාය.

ඔව් ඒත් අරවා නම් අධික ශබ්ද තරංග පිපිරීම් වලින් වුණා කියන්න බැ, මාර්ගයේ ඉදිරියෙන් වූ අමුතු ආකාරයට නවත්වා තබන ලද මෝටර් රථයක් පෙන්වමින් මොල්ඩර් කීයේය. එහි ඉදිරිපස පොඩි පට්ටම් වී තිබුණි. එහි පැත්තක්ද එසේම වුයේය. මොටර් රථය ඉදිරියෙන් වූ මාර්ග සළකුණ නැවී ගොස් තිබුණ් එය ඊයම් වළින් කළාක් මෙනි. අන්න අරවත්, ඔහු එකතු කළේය.



මෙන්න මේකත්, කුඩා කැබලි වලට පත්ව තිබූ පුවත්පත් කුටියක් පසුකර යමින් මොල්ඩර් එය පෙන්වූයේය.

හරි. ශබ්ද තරංග න්‍යාය අයින් කරලා දාන්න, ස්කලී කීවාය.

මෙන්න මේ ඡායාරූපයත් තියනවා, ඔහු කීවේය. පොලිස් වාර්තාව සමඟ එෆ් බී අයි මූලස්ථානය වෙත ෆැක්ස් කරන ලද ඡායාරූපයක පිටපතක් ඔහු ස්කලී අතට පත් කළේය.


ස්කලී එය දෙස බලා තම මතකය අළුත් කර ගත්තාය. එය සිත්ගන්නාසුළු ආකාරයේ ඡායාරූපයක් වූයේ නැත. මළමිනියක් කෙසේ සිත්ගන්නාසුළු වන්නේද?

මේ මනුස්සයාගේ කොඳු ඇට පේළිය කැඩිලා තියෙන්නේ දත්කූරක් කැඩුණා වගේ, මොල්ඩර් ඇයට මතක් කළේය. ඒ වගේම මෙයාගේ ඇ‍ඟේ තුවාලයක් තිබිලා තියනවා හරියට අලියෙක්ගේ යටිපතුළක ප්‍රමාණයට. පාරේ වැඩ කරපු අනෙක් මිනිස්සු කියලා තියෙන්නේ ඒ ගොල්ලන්ට දැණුනලු පොළව හෙල්ලෙනවා වගේ. ඒ එක්කම වගේ සතෙකුගේ ගඳක් වගේ හුළගත් එක්ක දැණුනලු.

ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා මොල්ඩර්, ස්කලී කීවාය. අර මැරිච්ච අලියා තමයි මේ ඔක්කොම කළේ කියලා තමයි ඔයා අදහස් කරන්නේ. ඇය තම හිස සැළුවාය. මම නම් හිතන්නේ නෑ. ඒකේ කිසිම තර්කාන්විත බවක් නෑනේ. කවුරුහරි අඩුම ගනේ දකින්නවත් එපැයි.

කවුරුහරි ඒක දැකලා තිබුණා නම් අද අපි මෙතන ඉන්නේ නෑ ස්කලි, මොල්ඩර් කීවේය.

ඔහු ඇයට සිනහවක් පෑ නමුත් ඇය පෙරළා සිනහවක් පෑවේ නැත. ඇයට තමාගේම අදහස් තිබුණාක් මෙන්ම ඇය තමාගේම දෘෂ්ටිකෝණයෙන් බලන්නියක්ද වූවාය.

කුඩුපට්ටම් වී ගිය මෝටර් රථය නැවත නිරීක්ෂණය කිරීමට ඇය මඳක් ඒ දෙසට ගියාය. එසේම ඇඹරී ගිය මාර්ග සංඥාව සහ කැබලි වී ගිය පුවත්පත් කුටිය ඇය පරීක්ෂා කළාය.

ඇය ඒ වටා යන අතරතුරදී මොල්ඩර්ද ඇය පසුපසින් ගියේය. වාහනයක් හැප්පුනානම් සාක්කි ටිකක් ඉතුරු වෙන්න තිබ්බා, ඔහු ඇයට කීවේය. වාහනේ තීන්ත හරි එහෙම නැත්නම් සීරීම් හරි. මම නම් ඒ වගේ දේවල් දැක්කේ නෑ. ඔයා දැක්කද?

ස්කලී ඇඹරී ගිය මාර්ග සංඥාව පරීක්ෂා කර බලා හිස සැළුවාය.

අහම්බෙන් ආපු කුණාටුවක් නිසා වෙන්නත් පුළුවන්, මොල්ඩර් කියාගෙන ගියේය. මේ කුණාටු සමය නොවුණත්. ඒ වගේම මම හිතනවා සමහරවිටක කළු කුහරයක් මේ පැත්ත පහුකරගෙන ගියා වෙන්නත් බැරි නෑ, ඒත්...

ස්කලී යමක් අසනා තුරු ඔහු මඳක් නැවැතුණේය. ඒත් කියලා නැවැත්තුවේ ඇයි මොල්ඩර්?

ඒත් මම හූනා කියන්නා වගේ කිවුවොත් ඒ ඇවිල්ලා- මොල්ඩර් කියන්නට පටන් ගත්තේය.

අදෘශ්‍යමාන අලියෙක්?

ඔයයි කිවුවේ- මම නෙවෙයි, මොල්ඩර් කීවේය.

ඔයා කියන්නම ඕනි නෑ, ස්කලී කීවාය. ඔයාගේ මොළේ වැඩ කරන්නේ කොහොමද කියලා මම දන්නවා.

ඔයා දන්නවද මම එකපාරක් දැක්කා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියලා මැජික්කාරයෙක් නිදහස් ප්‍රතිමාව අතුරුදහන් කරනවා? මොල්ඩර් කීවේය. නියම වැඩකාරයෙක්ට අලියෙක් කියන්නේ සෙල්ලම් බඩුවක් ඒ අතින් බැලුවම.

ඇත්ත මොල්ඩර්, ස්කලී කීවාය. කවුරුහරි මැජික්කාරයෙක් එන්න ඇති ෆෙයාර්ෆීල්ඩ් වලට කණ්නාඩි ටිකක් අරගෙන දුමකුත් එක්ක.

මැජික්කාරයෙක්ම වෙන්නත් බෑ, මොල්ඩර් කීවේය. දුමයි කණ්නාඩියි ඕනෙම වෙන එකක් නෑ. කවුරුහරි කෙනෙක් හරි කවුරුහරි දෙයක් හරි මොකක් හරි ආකාරයක-

ඔහුට ඊට වඩා යමක් කීමට හැකි වුණේ නැත.

විශාල ට්‍රක් රථයක් ඔවුන් සිටි පදික වේදිකාව අසළ නැවතුණි.

ට්‍රක් රථයේ පැත්තක ව්‍යාඝ්‍රයෙකුගේ චිත්‍රයක් සහ ෆෙයාර්ෆීල්ඩ් සත්වෝද්‍යානය යැයි සටහන් කර තිබූ අක්ෂර වූයේය.

රියැදුරු ද්වාරය විවෘත වී එයින් පිටතට පැමිණියේ හරිත වර්ණ සත්වොද්‍යාන නිළ ඇඳුමක් හැඳ සිටි මිනිසෙකි. ඔහුගේ හිසකෙස් අළු පැහැයට හැරී තිබුණු අතර උදරය, බඳ පිටියෙන් ඉදිරියට නෙරාවිත් තිබුණේය. නමුත් ඔහු ඉක්මන් ගමනකින් ඒජන්තවරුන් දෙදෙනා අභියසට පැමිණි ආකාරය අනුව ශක්තිමත් හා ආක්‍රමණශීලී ස්වාභාවයක් ඔහුගෙන් දිස්වුණේය.

ඒජන්ට් මොල්ඩර්? ඔහු ඇසුවේය.

ඔව්, මොල්ඩර් කීවේය.

මම එඩ් මීචෙම්, ෆෙයාර්ෆීල්ඩ් සත්තුවත්තෙන්. ඔබව හමුවෙන්න කියලා එවපු ෆැක්ස් එක මට ලැබුණා. මම ෂෙරිෆ්ගෙන් ඇහුවම එයා කිවුවා ඔයගොල්ලෝ මෙහෙ කියලා. පරක්කු වුනානම් සමාවෙන්න ඕනි. ගනේෂාගේ මළකුණ අයින් කරන්න අද උදේ සෑහෙන වෙලාවක් ගියා.

මේ ඒජන්ට් ස්කලී, මොල්ඩර් කීවේය. මීචෙම් හිස සැළුවේ ඇයව දුටුවේද ඒ මොහොතේම බව අඟවන ආකාරයෙනි. සමහර මිනිසුන් කාන්තා එෆ්බී අයි නිළධාරිණියන් අඩුතක්සේරු කරන විකාර ආකාරය ගැන මොල්ඩර් සිතුවේය. ස්කලී වැනි දැඩි ස්වාභාවයකින් යුත් නිළධාරිණියක් වුවත් හඳන්වා දිය යුතුවම තිබිණි.

ආයුබෝවන්, මීචෙම් ඇයට කියා මොල්ඩර් දෙසටම හැරුණේය.

ඔහුට එසේ හැරෙන්නට නොදීම ස්කලී ප්‍රශ්නයක් ඔහු වෙතට යොමු කළාය. අලියා මැරුණේ කොහොමද කියලා හොයාගෙන තිබුණද?

අලියා නෙවෙයි කෙනෙර, මීචෙම් ගොරෝසු ස්වරයකින් ස්කලීට කීවේය. ගනේෂා කියන්නේ අවුරුදු දොළහක් වයස ඉන්දියානු ගෑණු සතෙක්. මම දකින විදිහට නම් ඌ කූඩුවෙන් පැනලා ගිහිල්ලා අධික වෙහෙස වෙලා තමයි මැරිලා තියෙන්නේ.

කොහොමද කූඩුවෙන් පැනලා ගියේ? ස්කලී ඇසුවාය.

මීචෙම් තම ඇහිබැම වකුටු කළේය. මට නම් කියන්න තියෙන්නේ ඒක අභිරහසක් කියලා විතරයි. මට ඇමතුමක් එනකොට ඌ මහපාරේ ඉන්නවා කියලා මම හිතුවේ උගේ කූඩුව ඇරගෙන මොකක් හරි කියලා. ඒත් ඒක තදින් අගුළු දාලා තිබුණේ මම කලින් දවසේ ඒක අගුළු දාපු විදිහටම.

මොකක් හරි අදහසක් එහෙම තියනවද සත්තු වත්තක කූඩු කරපු අලියෙක් පැනලා ගිය විදිහ ගැන? මොල්ඩර් ඇසුවේය.

නෑ මහත්මයා, මීචෙම් කීවේය. කවුරුහරි කළා වෙන්නත් බෑ.

මොල්ඩර් හා ස්කලී බැල්මක් හුවමාරු කර ගත්තෝය.

මේ අතර වීථියේ සිදුවී තිබූ හානිය දෙස බලමින් මීචෙම් තම හිස කසන්නට වූයේය.

මෙතන සෑහෙන කලබගෑනියක්නේ වෙලා තියෙන්නේ, ඔහු කීවේය. මේවා තවම අස්කරලත් නෑ.

අපි පොලිසියෙන් ඉල්ලුවා අපි එන්න ඉස්සෙල්ලා මොකවත් අස්පස් කරන්න එපා කියලා, මොල්ඩර් පැහැදිලි කළේය.

ඔයගොල්ලන්ගේ රාජකාරිය ඔයගොල්ලෝ හොඳින් දන්න හැඩයි, මීචෙම් කීවේය. මම තමයි සත්තු බලාගන්නේ. සත්තුවත්තේ මම සේවය කරන්නේ අවුරුදු තිහක ඉඳන්.

ඒ කියන්නේ අලි ගැන හොඳට දන්නවා ඇති? මොල්ඩර් ඇසුවේය.

සත්තුවත්තේ ඉන්න ඕන සතෙක් ගැන දන්නවා, මීචෙම් කීවේය. මම කලිනුත් කිවුවනේ, ඒක මගේ රස්සාව.

එහෙනම් ඔබට පුළුවන් වෙයි මට තොරතුරු ටිකක් දෙන්න, මොල්ඩර් කීවේය.

සත්තුවත්තට අදාල දෙයක් නම් පුළුවන් වෙයි, මීචෙම් කීවේය.

මම අහල තියනවා අලි කුලප්පු වෙනවා වගේ දෙයක් ගැන, මොල්ඩර් කීවේය. මේ රටේ හැම සත්තුවත්තකින්ම වගේ වාර්තා වෙලා තියනවා අලි කලහකාරී විදිහට හැසිරෙන අවස්ථා වැඩි වීම් ගැන. ඒ ගොල්ලන්ව බලාගන්න අයට පහර දෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව කඩලා දානවා වගේ දේවල්. ගනේෂාත් ඒ වගේද?

මීචෙම්ගේ මුහුණේ මාශ පේශීන් දැඩිවී ගියේය. අලි කියන්නේ මහා විසාල ඒ වගේම මුරණ්ඩු සත්ව කොට්ඨාශයක්, ඔහු කීවේය.

මීචෙම් තවත් දෑ පවසන තුරු මොල්ඩර් අසාගෙන සිටියේය. නමුත් මීචෙම් වෙන කිසිවක් පැවසුවේ නැත.

ඒ කියන්නේ එහෙම දේවල් වුණා? මොල්ඩර් වඩාත් උත්සුකව ඇසුවේය.

මීචෙම්ගේ මුව දැඩිවී ගියේය. ඒ ගැන නම් මගෙන් නෙවෙයි අහන්න ඕනි, ඔහු නොරිස්සුම් ස්වරයකින් කීවේය. ඒ ගැන කතා කරන්න ඕනි කෙනා තමයි විලා ඈම්බ්‍රෝස්.

ඈම්බ්‍රෝස්? ස්කලී තම සටහන් පොතෙහි සටහනක් තබමින් ඇසුවාය. එයා කවුද? මේ සත්තුවත්තේ කෙනෙක්ද?

ඔව්, මීචෙම් කීවේය. ඔහුගේ පෙනුම, තම මුවෙහි තික්ත රසක් ඇත්තෙකුගේ මෙන් විය. එයා මේ ප්‍රාණී විද්‍යඥයෙක්. සත්තුවත්තේ අධිකාරීන් ගිය අවුරුද්දේ ඉඳලා එයාව සේවයට අරගත්තා.

එයාගේ රස්සාව? ස්කලී ඇසුවාය.

එයාට තමයි පැවරිලා තියෙන්නේ සත්තුවත්ත පවත්වාගෙන යන්න, මීචෙම් කීයේය. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අදකාලේ එන අළුත් දේවල් ගැන. එයා තමයි දැන් සත්තුවත්තේ ප්‍රධානියා. මීට කලින් සත්තුවත්තක වැඩ කරලා නැති වුණත්. පොත්වලිනුයි චිතුපටි වලිනුයි ඇරෙන්න සත්තු ගැන මොකුත් දන්නේනැති වුණත්.

ඒත් ඔබ දන්නවා, මොල්ඩර් ඇසුවේය.

අනිවාර්යයෙන්ම, මීචෙම් පැවසුවේය.

අලි ගැනත්? මොල්ඩර් ඇසුවේය.

ඔව් අලි ගැනත්, මීචෙම් තරයේ කියා සිටියේය.

එහෙනම් මම මේක අහන්නම්, මොල්ඩර් කීවේය. මේ මාර්ගයේ වෙලා තියන හානිය ඔබ හිතන විදිහට පැනලා ගිය අලියෙක්ගෙන් සිදුවුණ එකක් වගේද?

මගේ අවංක අදහසට අනුව නම්, මීචෙම් කීවේය. ඔව්.

ඒ ගැන හොඳටම විශ්වාසද? මොල්ඩර් ඇසුවේය.

ඔව්, මීචෙම් ප්‍රතිරාවය කළේය.

බොහොම ස්තූතියි, ජයග්‍රාහී බැල්මක් ස්කලී දෙස හෙළමින් මොල්ඩර් කීවේය.

මීචෙම් තම ඔරලෝසුව දෙස බැලුවේය. මාව තවදුරටත් ඕනි කරන්නේ නැත්නම් මම දැන් රාජකාරියට යන්නම්, ඔහු ඇසුවේය. දැන් කෑම දෙන වෙලාව.

ඔබගේ සහයෝගයට ස්තූතියි, මොල්ඩර් කීවේය. අපිට තව දේවල් දැන ගන්න ඕනි වෙයි සමහර වෙලාවට. ඒ කියන්නේ ඈම්බ්‍රෝස් මහත්මිය දන්නේ නැති දේවල් වගේ ඒවා.

ප්‍රශ්නයක් නෑ, මීචෙම් කීවේය. ඕනි වෙලාවක.

මීචෙම් ඔහුගේ ට්‍රක් රථයට නැඟී පිටත් වන තුරු මොල්ඩර් ඉවසා සිටියේය. ඉන්පසු හෙතෙම කැබලිවී ගිය පුවත්පත් කුටියෙන් විසිරී තිබූ පුවත්පත් බිමට නැමී අවුස්සන්නට වූයේය.

මොනවද හොයන්නේ මොල්ඩර්? කුමනාකාරයේ පිළිතුරක් වුවත් අපේක්ෂා කරමින් ස්කලී ඇසුවාය.


මෙහෙ පත්තරයක්, හිස නොඔසවාම මොල්ඩර් පිළිතුරු දුන්නේය. මම මේ බලන්නේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්වත් මෙහාට ඇවිල්ලාද කියලා.

Type REG para & send the SMS to 77000 & get paranormal updates to your mobile phone!



Leave a Reply