පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

ස්කලී තම සටහන් දෙස බැලුවාය. පොලිස් වාර්තාව අනුව පාර දිගටම දේපල හානි වාර්තා වෙලා තියනවා, ඇය කීවාය.

එහෙනම් ඒවා පස්සේ ගිහිල්ලා බලමු, මොල්ඩර් පිළිතුරු දුන්නේය.

ඔවුන් ඇවිදින්නට පටන් ගැනීමට පෙර ස්කලී නැවත වතාවක් වීදුරුවේ ඇති විවරය දෙස බැල්මක් හෙළුවාය.

පිරිසිදු කරන අය කියපු සද්දේ එකත් එකටම අධික ශබ්ද තරංග පිපිරුමක් ‍වෙන්න ඕනි, ඇය අනුමාන කළාය.

ඔව් ඒත් අරවා නම් අධික ශබ්ද තරංග පිපිරීම් වලින් වුණා කියන්න බැ, මාර්ගයේ ඉදිරියෙන් වූ අමුතු ආකාරයට නවත්වා තබන ලද මෝටර් රථයක් පෙන්වමින් මොල්ඩර් කීයේය. එහි ඉදිරිපස පොඩි පට්ටම් වී තිබුණි. එහි පැත්තක්ද එසේම වුයේය. මොටර් රථය ඉදිරියෙන් වූ මාර්ග සළකුණ නැවී ගොස් තිබුණ් එය ඊයම් වළින් කළාක් මෙනි. අන්න අරවත්, ඔහු එකතු කළේය.



මෙන්න මේකත්, කුඩා කැබලි වලට පත්ව තිබූ පුවත්පත් කුටියක් පසුකර යමින් මොල්ඩර් එය පෙන්වූයේය.

හරි. ශබ්ද තරංග න්‍යාය අයින් කරලා දාන්න, ස්කලී කීවාය.

මෙන්න මේ ඡායාරූපයත් තියනවා, ඔහු කීවේය. පොලිස් වාර්තාව සමඟ එෆ් බී අයි මූලස්ථානය වෙත ෆැක්ස් කරන ලද ඡායාරූපයක පිටපතක් ඔහු ස්කලී අතට පත් කළේය.


ස්කලී එය දෙස බලා තම මතකය අළුත් කර ගත්තාය. එය සිත්ගන්නාසුළු ආකාරයේ ඡායාරූපයක් වූයේ නැත. මළමිනියක් කෙසේ සිත්ගන්නාසුළු වන්නේද?

මේ මනුස්සයාගේ කොඳු ඇට පේළිය කැඩිලා තියෙන්නේ දත්කූරක් කැඩුණා වගේ, මොල්ඩර් ඇයට මතක් කළේය. ඒ වගේම මෙයාගේ ඇ‍ඟේ තුවාලයක් තිබිලා තියනවා හරියට අලියෙක්ගේ යටිපතුළක ප්‍රමාණයට. පාරේ වැඩ කරපු අනෙක් මිනිස්සු කියලා තියෙන්නේ ඒ ගොල්ලන්ට දැණුනලු පොළව හෙල්ලෙනවා වගේ. ඒ එක්කම වගේ සතෙකුගේ ගඳක් වගේ හුළගත් එක්ක දැණුනලු.

ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා මොල්ඩර්, ස්කලී කීවාය. අර මැරිච්ච අලියා තමයි මේ ඔක්කොම කළේ කියලා තමයි ඔයා අදහස් කරන්නේ. ඇය තම හිස සැළුවාය. මම නම් හිතන්නේ නෑ. ඒකේ කිසිම තර්කාන්විත බවක් නෑනේ. කවුරුහරි අඩුම ගනේ දකින්නවත් එපැයි.

කවුරුහරි ඒක දැකලා තිබුණා නම් අද අපි මෙතන ඉන්නේ නෑ ස්කලි, මොල්ඩර් කීවේය.

ඔහු ඇයට සිනහවක් පෑ නමුත් ඇය පෙරළා සිනහවක් පෑවේ නැත. ඇයට තමාගේම අදහස් තිබුණාක් මෙන්ම ඇය තමාගේම දෘෂ්ටිකෝණයෙන් බලන්නියක්ද වූවාය.

කුඩුපට්ටම් වී ගිය මෝටර් රථය නැවත නිරීක්ෂණය කිරීමට ඇය මඳක් ඒ දෙසට ගියාය. එසේම ඇඹරී ගිය මාර්ග සංඥාව සහ කැබලි වී ගිය පුවත්පත් කුටිය ඇය පරීක්ෂා කළාය.

ඇය ඒ වටා යන අතරතුරදී මොල්ඩර්ද ඇය පසුපසින් ගියේය. වාහනයක් හැප්පුනානම් සාක්කි ටිකක් ඉතුරු වෙන්න තිබ්බා, ඔහු ඇයට කීවේය. වාහනේ තීන්ත හරි එහෙම නැත්නම් සීරීම් හරි. මම නම් ඒ වගේ දේවල් දැක්කේ නෑ. ඔයා දැක්කද?

ස්කලී ඇඹරී ගිය මාර්ග සංඥාව පරීක්ෂා කර බලා හිස සැළුවාය.

අහම්බෙන් ආපු කුණාටුවක් නිසා වෙන්නත් පුළුවන්, මොල්ඩර් කියාගෙන ගියේය. මේ කුණාටු සමය නොවුණත්. ඒ වගේම මම හිතනවා සමහරවිටක කළු කුහරයක් මේ පැත්ත පහුකරගෙන ගියා වෙන්නත් බැරි නෑ, ඒත්...

ස්කලී යමක් අසනා තුරු ඔහු මඳක් නැවැතුණේය. ඒත් කියලා නැවැත්තුවේ ඇයි මොල්ඩර්?

ඒත් මම හූනා කියන්නා වගේ කිවුවොත් ඒ ඇවිල්ලා- මොල්ඩර් කියන්නට පටන් ගත්තේය.

අදෘශ්‍යමාන අලියෙක්?

ඔයයි කිවුවේ- මම නෙවෙයි, මොල්ඩර් කීවේය.

ඔයා කියන්නම ඕනි නෑ, ස්කලී කීවාය. ඔයාගේ මොළේ වැඩ කරන්නේ කොහොමද කියලා මම දන්නවා.

ඔයා දන්නවද මම එකපාරක් දැක්කා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියලා මැජික්කාරයෙක් නිදහස් ප්‍රතිමාව අතුරුදහන් කරනවා? මොල්ඩර් කීවේය. නියම වැඩකාරයෙක්ට අලියෙක් කියන්නේ සෙල්ලම් බඩුවක් ඒ අතින් බැලුවම.

ඇත්ත මොල්ඩර්, ස්කලී කීවාය. කවුරුහරි මැජික්කාරයෙක් එන්න ඇති ෆෙයාර්ෆීල්ඩ් වලට කණ්නාඩි ටිකක් අරගෙන දුමකුත් එක්ක.

මැජික්කාරයෙක්ම වෙන්නත් බෑ, මොල්ඩර් කීවේය. දුමයි කණ්නාඩියි ඕනෙම වෙන එකක් නෑ. කවුරුහරි කෙනෙක් හරි කවුරුහරි දෙයක් හරි මොකක් හරි ආකාරයක-

ඔහුට ඊට වඩා යමක් කීමට හැකි වුණේ නැත.

විශාල ට්‍රක් රථයක් ඔවුන් සිටි පදික වේදිකාව අසළ නැවතුණි.

ට්‍රක් රථයේ පැත්තක ව්‍යාඝ්‍රයෙකුගේ චිත්‍රයක් සහ ෆෙයාර්ෆීල්ඩ් සත්වෝද්‍යානය යැයි සටහන් කර තිබූ අක්ෂර වූයේය.

රියැදුරු ද්වාරය විවෘත වී එයින් පිටතට පැමිණියේ හරිත වර්ණ සත්වොද්‍යාන නිළ ඇඳුමක් හැඳ සිටි මිනිසෙකි. ඔහුගේ හිසකෙස් අළු පැහැයට හැරී තිබුණු අතර උදරය, බඳ පිටියෙන් ඉදිරියට නෙරාවිත් තිබුණේය. නමුත් ඔහු ඉක්මන් ගමනකින් ඒජන්තවරුන් දෙදෙනා අභියසට පැමිණි ආකාරය අනුව ශක්තිමත් හා ආක්‍රමණශීලී ස්වාභාවයක් ඔහුගෙන් දිස්වුණේය.

ඒජන්ට් මොල්ඩර්? ඔහු ඇසුවේය.

ඔව්, මොල්ඩර් කීවේය.

මම එඩ් මීචෙම්, ෆෙයාර්ෆීල්ඩ් සත්තුවත්තෙන්. ඔබව හමුවෙන්න කියලා එවපු ෆැක්ස් එක මට ලැබුණා. මම ෂෙරිෆ්ගෙන් ඇහුවම එයා කිවුවා ඔයගොල්ලෝ මෙහෙ කියලා. පරක්කු වුනානම් සමාවෙන්න ඕනි. ගනේෂාගේ මළකුණ අයින් කරන්න අද උදේ සෑහෙන වෙලාවක් ගියා.

මේ ඒජන්ට් ස්කලී, මොල්ඩර් කීවේය. මීචෙම් හිස සැළුවේ ඇයව දුටුවේද ඒ මොහොතේම බව අඟවන ආකාරයෙනි. සමහර මිනිසුන් කාන්තා එෆ්බී අයි නිළධාරිණියන් අඩුතක්සේරු කරන විකාර ආකාරය ගැන මොල්ඩර් සිතුවේය. ස්කලී වැනි දැඩි ස්වාභාවයකින් යුත් නිළධාරිණියක් වුවත් හඳන්වා දිය යුතුවම තිබිණි.

ආයුබෝවන්, මීචෙම් ඇයට කියා මොල්ඩර් දෙසටම හැරුණේය.

ඔහුට එසේ හැරෙන්නට නොදීම ස්කලී ප්‍රශ්නයක් ඔහු වෙතට යොමු කළාය. අලියා මැරුණේ කොහොමද කියලා හොයාගෙන තිබුණද?

අලියා නෙවෙයි කෙනෙර, මීචෙම් ගොරෝසු ස්වරයකින් ස්කලීට කීවේය. ගනේෂා කියන්නේ අවුරුදු දොළහක් වයස ඉන්දියානු ගෑණු සතෙක්. මම දකින විදිහට නම් ඌ කූඩුවෙන් පැනලා ගිහිල්ලා අධික වෙහෙස වෙලා තමයි මැරිලා තියෙන්නේ.

කොහොමද කූඩුවෙන් පැනලා ගියේ? ස්කලී ඇසුවාය.

මීචෙම් තම ඇහිබැම වකුටු කළේය. මට නම් කියන්න තියෙන්නේ ඒක අභිරහසක් කියලා විතරයි. මට ඇමතුමක් එනකොට ඌ මහපාරේ ඉන්නවා කියලා මම හිතුවේ උගේ කූඩුව ඇරගෙන මොකක් හරි කියලා. ඒත් ඒක තදින් අගුළු දාලා තිබුණේ මම කලින් දවසේ ඒක අගුළු දාපු විදිහටම.

මොකක් හරි අදහසක් එහෙම තියනවද සත්තු වත්තක කූඩු කරපු අලියෙක් පැනලා ගිය විදිහ ගැන? මොල්ඩර් ඇසුවේය.

නෑ මහත්මයා, මීචෙම් කීවේය. කවුරුහරි කළා වෙන්නත් බෑ.

මොල්ඩර් හා ස්කලී බැල්මක් හුවමාරු කර ගත්තෝය.

මේ අතර වීථියේ සිදුවී තිබූ හානිය දෙස බලමින් මීචෙම් තම හිස කසන්නට වූයේය.

මෙතන සෑහෙන කලබගෑනියක්නේ වෙලා තියෙන්නේ, ඔහු කීවේය. මේවා තවම අස්කරලත් නෑ.

අපි පොලිසියෙන් ඉල්ලුවා අපි එන්න ඉස්සෙල්ලා මොකවත් අස්පස් කරන්න එපා කියලා, මොල්ඩර් පැහැදිලි කළේය.

ඔයගොල්ලන්ගේ රාජකාරිය ඔයගොල්ලෝ හොඳින් දන්න හැඩයි, මීචෙම් කීවේය. මම තමයි සත්තු බලාගන්නේ. සත්තුවත්තේ මම සේවය කරන්නේ අවුරුදු තිහක ඉඳන්.

ඒ කියන්නේ අලි ගැන හොඳට දන්නවා ඇති? මොල්ඩර් ඇසුවේය.

සත්තුවත්තේ ඉන්න ඕන සතෙක් ගැන දන්නවා, මීචෙම් කීවේය. මම කලිනුත් කිවුවනේ, ඒක මගේ රස්සාව.

එහෙනම් ඔබට පුළුවන් වෙයි මට තොරතුරු ටිකක් දෙන්න, මොල්ඩර් කීවේය.

සත්තුවත්තට අදාල දෙයක් නම් පුළුවන් වෙයි, මීචෙම් කීවේය.

මම අහල තියනවා අලි කුලප්පු වෙනවා වගේ දෙයක් ගැන, මොල්ඩර් කීවේය. මේ රටේ හැම සත්තුවත්තකින්ම වගේ වාර්තා වෙලා තියනවා අලි කලහකාරී විදිහට හැසිරෙන අවස්ථා වැඩි වීම් ගැන. ඒ ගොල්ලන්ව බලාගන්න අයට පහර දෙනවා. ඒ ගොල්ලන්ගේ කූඩුව කඩලා දානවා වගේ දේවල්. ගනේෂාත් ඒ වගේද?

මීචෙම්ගේ මුහුණේ මාශ පේශීන් දැඩිවී ගියේය. අලි කියන්නේ මහා විසාල ඒ වගේම මුරණ්ඩු සත්ව කොට්ඨාශයක්, ඔහු කීවේය.

මීචෙම් තවත් දෑ පවසන තුරු මොල්ඩර් අසාගෙන සිටියේය. නමුත් මීචෙම් වෙන කිසිවක් පැවසුවේ නැත.

ඒ කියන්නේ එහෙම දේවල් වුණා? මොල්ඩර් වඩාත් උත්සුකව ඇසුවේය.

මීචෙම්ගේ මුව දැඩිවී ගියේය. ඒ ගැන නම් මගෙන් නෙවෙයි අහන්න ඕනි, ඔහු නොරිස්සුම් ස්වරයකින් කීවේය. ඒ ගැන කතා කරන්න ඕනි කෙනා තමයි විලා ඈම්බ්‍රෝස්.

ඈම්බ්‍රෝස්? ස්කලී තම සටහන් පොතෙහි සටහනක් තබමින් ඇසුවාය. එයා කවුද? මේ සත්තුවත්තේ කෙනෙක්ද?

ඔව්, මීචෙම් කීවේය. ඔහුගේ පෙනුම, තම මුවෙහි තික්ත රසක් ඇත්තෙකුගේ මෙන් විය. එයා මේ ප්‍රාණී විද්‍යඥයෙක්. සත්තුවත්තේ අධිකාරීන් ගිය අවුරුද්දේ ඉඳලා එයාව සේවයට අරගත්තා.

එයාගේ රස්සාව? ස්කලී ඇසුවාය.

එයාට තමයි පැවරිලා තියෙන්නේ සත්තුවත්ත පවත්වාගෙන යන්න, මීචෙම් කීයේය. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අදකාලේ එන අළුත් දේවල් ගැන. එයා තමයි දැන් සත්තුවත්තේ ප්‍රධානියා. මීට කලින් සත්තුවත්තක වැඩ කරලා නැති වුණත්. පොත්වලිනුයි චිතුපටි වලිනුයි ඇරෙන්න සත්තු ගැන මොකුත් දන්නේනැති වුණත්.

ඒත් ඔබ දන්නවා, මොල්ඩර් ඇසුවේය.

අනිවාර්යයෙන්ම, මීචෙම් පැවසුවේය.

අලි ගැනත්? මොල්ඩර් ඇසුවේය.

ඔව් අලි ගැනත්, මීචෙම් තරයේ කියා සිටියේය.

එහෙනම් මම මේක අහන්නම්, මොල්ඩර් කීවේය. මේ මාර්ගයේ වෙලා තියන හානිය ඔබ හිතන විදිහට පැනලා ගිය අලියෙක්ගෙන් සිදුවුණ එකක් වගේද?

මගේ අවංක අදහසට අනුව නම්, මීචෙම් කීවේය. ඔව්.

ඒ ගැන හොඳටම විශ්වාසද? මොල්ඩර් ඇසුවේය.

ඔව්, මීචෙම් ප්‍රතිරාවය කළේය.

බොහොම ස්තූතියි, ජයග්‍රාහී බැල්මක් ස්කලී දෙස හෙළමින් මොල්ඩර් කීවේය.

මීචෙම් තම ඔරලෝසුව දෙස බැලුවේය. මාව තවදුරටත් ඕනි කරන්නේ නැත්නම් මම දැන් රාජකාරියට යන්නම්, ඔහු ඇසුවේය. දැන් කෑම දෙන වෙලාව.

ඔබගේ සහයෝගයට ස්තූතියි, මොල්ඩර් කීවේය. අපිට තව දේවල් දැන ගන්න ඕනි වෙයි සමහර වෙලාවට. ඒ කියන්නේ ඈම්බ්‍රෝස් මහත්මිය දන්නේ නැති දේවල් වගේ ඒවා.

ප්‍රශ්නයක් නෑ, මීචෙම් කීවේය. ඕනි වෙලාවක.

මීචෙම් ඔහුගේ ට්‍රක් රථයට නැඟී පිටත් වන තුරු මොල්ඩර් ඉවසා සිටියේය. ඉන්පසු හෙතෙම කැබලිවී ගිය පුවත්පත් කුටියෙන් විසිරී තිබූ පුවත්පත් බිමට නැමී අවුස්සන්නට වූයේය.

මොනවද හොයන්නේ මොල්ඩර්? කුමනාකාරයේ පිළිතුරක් වුවත් අපේක්ෂා කරමින් ස්කලී ඇසුවාය.


මෙහෙ පත්තරයක්, හිස නොඔසවාම මොල්ඩර් පිළිතුරු දුන්නේය. මම මේ බලන්නේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්වත් මෙහාට ඇවිල්ලාද කියලා.

Type REG para & send the SMS to 77000 & get paranormal updates to your mobile phone!




Type REG para & send the SMS to 77000 
Get our updates to your mobile phone!



මාධ්‍ය වලට එම ප්‍රවෘත්තිය විහිළුවක් බවට පත්වී තිබුණි.


පාරට බැස්සත් යන්නට තැනක් නොතිබූ අලියෙක්. යැයි එක්තරා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදකයෙකු නිවේදනය කළේය.

රූපවාහිනී බලකණුවක් එය සරදමට ගත්තේ, මේක තමයි අලි කොටි සෙල්ලම් කරන පුරවරය. යනුවෙනි.

බලාගෙනයි! පියාඹන අලියෙක් හදිසියේම කඩාවැටී ඇත! යනුවෙන් සඳහන් කරන ලද ශීර්ෂපාඨයක් සහිත පුවත්පතක් සුපිරි වෙළඳසැල්වල විකිණෙමින් තිබුණි.

ඉක්මන් පරීක්ෂාවකින් පසු ප්‍රාදේශීය පොලිසියටද එය අමතක කිරීමට වුවමනා වී තිබුණි. විනාශකාරී කතාපුවත, පැනගිය හස්තියා වැනි කිසිදු දෙයක් පොලිසියට වැදගත් වී තිබුණේ නැත. ඔවුනට විසඳීමට ඇති තරම් නඩුහබ ගොඩගැසී තිබිණ. මෙවැනි හිසරදයක් ඔවුන් වෙත පටවාගන්නට ඔවුන් කිසිසේත් කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් එය තම ලිපිගොනුවල සැඟවී යන්නට ඉඩ හැරියේ එය සැමගේ දර්ශන පථයෙන් මෙන්ම සිත් සතන් වලින්ද වසන් වී යන්න‍ට ඉඩ හරිමිනි.

නමුත් මේ සිදුවීම තවත් ලිපිගොනුවක් කරා ඇදී ගොස් තිබුණි.

ඒ එක්ස් ෆයිල්ස් විය.

ඒවා වනාහී වොෂිංටනයේ එෆ්බීඅයි මූලස්ථානයේ අතිශය රහසිගත කාමරයක තැන්පත් කර තිබූ ලිපිගොනු විය. රට වටා සිදුවූවා වූත් ඔවුනට වාර්තා වූත් අද්භූත සහ විස්තර කළ නොහැකි අසාමාන්‍ය සිදුවීම් වල තොරතුරු ඔවුන් එහි තැන්පත් කර තිබුණි. ඒවා කිසිවකුටවත් තේරුම් කරගතහැකි ඒවා නොවීය. එෆ් බී අයි ආයතනය පවා ඒවා අමතක කර දැමීමෙහි වඩාත් උනන්දුවක් දැක්වීය.

නමුත් එහි වූ ඒජන්තවරු දෙදෙනෙක් පමණක් එම ලිපිගොනු වලට සමාදානයෙන් සැතපෙන්නට ඉඩ දුන්නේ නැත.

අයිඩහෝ වලට ඊළඟ ගුවන්යානය තියෙන්නේ කීයටද? ෆොක්ස් මොල්ඩර්, ඩේනා ස්කලීගෙන් ඇසුවේය.

රෙඩ් අයිලාගේ ගුවන්යානයක් යනවා බොයිස් වලට උදේ තුනට, ඇය ඔහුට කීවාය. අපිට එතන ඉඳන් ෆෙයාර්ෆීල්ඩ් වලට වාහනයක් කුලියට අරන් යන්න පුළුවන්.

එහෙනම් ලෑස්ති වෙමු, ඔහු කීවේය.

මම නම් කලින්ම ලෑස්ති වුණා, ස්කලී කීවාය. වල් අලින්ට ඔයා කොහොමත් ආසයි කියලා මම දැනන් හිටියා කලින්ම.

මොල්ඩර් විරිත්තුවේය. ස්කලී පිළිතුරු ලෙස අර්ධ සිනහවක් පෑවාය. ඔහු සමඟ එකට වැඩ කිරීමට පටන් ගෙන ඇය බොහෝ දුරක් පැමිණ තිබුණාය.

මුලින්ම ඇයට සිතුනේ ඔහු මඳ පිස්සුවකින් පෙළෙන කෙනෙකු කියාය. ඔහුගේ මුළාදෑනීන් හා කාර්යාංශයේ බොහෝදෙනෙකුද සිතුවේ එසේමය.

නමුත් ඇය දැන් එසේ සිතන්නේ නැත.

මොල්ඩර්ගේ දෘෂ්ටිකෝණයට ඇය මේ වනවිට වඩාත් ළංව සිටියාය. ඇය අවබෝධ කරගෙන සිටියේ විකාර සහගත විශ්වාස කළනොහැකි දේවල්ද මෙලොව සිදුවන බවයි.

නමුත් ඒවා සිදුනොවනා ආකාරයක් පිළිගනිමින් ජීවත්වීම එක් අතකට වඩාත් පිස්සුවක් වූයේය.




දැන් මම දන්නවා මගේ බදු මුදල් කොහාටද යන්නේ කියලා, කේමස් හි ප්‍රාදේශීය ෂෙරිෆ්වරයා වන ස්ටෑන් විට්ස්, කීවේ පසුදිනයේ ඔහුගේ කාර්යාලයේ ඔහුත් සමඟ සිටි මොල්ඩර්ට හා ස්කලීටය. වොෂිංටන් ඉඳලා මෙහාටම ආවද මේ වල් තාරාවොයි වල් අලියි ගැන හොයන්න?

ෂෙරිෆ්වරයා තමන්ගේම විහිළුවට සිනාසී අවසන් වනතුරු මොල්ඩර් ඉවසීමෙන් බලා සිටියේය. ඔහු කල්පනා කළේ මේ පරීක්ෂණය අවසන් වනතුරු තමාට කොපමණ අලි විහිළු ගැන අසන්නට සිදුවේද යන්නයි. සහතික වශයෙන්ම බොහොමයක් අසන්නට සිදුවනු ඇත.

ඔහු තම ඔරලෝසුව දෙස බැලුවේය. හොඳයි, ආණ්ඩුවේ කාලය නාස්ති කරන එකේ තේරුමක් නෑ, ඔහු කීවේය. වැඩේට බහිමුකෝ.

ඔව්, ෂෙරිෆ්වරයා කීවේය. මම හිතනවා ඔහේට අපේ නිළ වාර්තාව කියවන්න ඕනි වෙයි කියලා. මම ඒක හොයලා දෙන්නම්.

අපි ඒක කලින්ම කියෙවුවා, මොල්ඩර් කීවේය. ගුවන්යානයේ එන ගමන්.

අපි ඒක අපේ ලිපිගොනුවලින්ම ගත්තා, ස්කලී පැහැදිලි කළාය. ඒක කාර්යාංශ මූලස්ථානයට ලැබිලා තිබුණා. අපේ පරිඝණක ජාලයක් තියනවා රටේ හැම ‍ෙපාලිසියකටම සම්බන්ධ කරපු. ඒකෙන් අපිට ඕනෑම හදිසි පරීක්ෂණයකට ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

ආ ඔව්, මට අමතක වුණා, ෂෙරිෆ්වරයා කීවේය. මට ඒ ගැන කාර්යාලයේ තාක්ෂණික සේවකයින්ගෙන් අහන්න ලැබුණා. මට නම් කියන්න තියෙන්නේ මේ අළුත් සුකුරුත්තම් නම් මට අල්ලන්නේ නෑ. පරණ ක්‍රමය මට හොඳයි. පරිඝණක චිප් එක හැම වෙලාවෙම සපත්තු හම්කවරෙට පරාදවෙනවා.

ඔව් මම එකඟයි, මොල්ඩර් කීවේය. මේක ආරම්භ වුණ තැනට අපිව එක්ක ගෙන යන්න පුළුවන්ද?

පුළුවන්, ෂෙරි‍ෆ්වරයා කීවේය. ඒත් අපි හොයාගත්තට වැඩි යමක් ඔයගොල්ලෝ හොයාගන්න එකක් නෑ. ඒ කියන්නේ කිසිම දෙයක් හොයාගන්න එකක් නැ.
ඔවුහු ෂෙරිෆ්වරයාගේ රාජකාරී රථයේ නැඟී ෆෙයාර්ෆීල්ඩ් පොලිසියෙන් පිටවී ගියහ. බැංකුව වූ‍යේ විනාඩි පහක ධාවන දුරින්ය. එහි දැවැන්ත වීදුරුව තවමත් පිළසකර කර තිබුණේ නැත. ප්‍රාදේශිකයෝ එහි වූ විවෘත සිදුර දෙස එබි එබී බලමින් සිටියහ. ෆෙයාර්ෆීල්ඩ් වනාහී අමුතු දේවල් සිදුවන නගරයක් නොවීය. වීථිලාම්පුවක් බිඳීයාම වුවත් එහි පුවත් මවන්නක් බවට පත්වීතිබුණි.

පිරිසිදු කරන්නන්ගේ ඇඳුම් හැඳසිටි දකුණු ඇමරිකානුවන් දෙදෙනෙකු ගොඩනැඟිල්ල ඉදිරිපස සිටියහ. එක්කෙනෙකු මැදිවයසේ වූ අතර අනෙකා අවුරුදු විසිගණන්වල මුල් යුගය ගෙවන්නකු බව පෙණෙන්නට තිබිණ. ඔවුහු දෙදෙනාම බියවී සිටියහ.

මම කිවුවා මේ දෙන්නට පෙනී සිටින්න කියලා ඔයගොල්ලන්ගේ ෆැක්ස් එක ම‍ට ලැබුණු ගමන්ම, ෂෙරිෆ්වරයා කීවේය. මට හිතුණා ඔයගොල්ලන්ට මේ අයව මුණ ගැහෙන්න ඕනි වෙයි කියලා. ඒ ගොල්ලෝ තමයි ඇස් දෙකෙන්ම දැක්ක අය මේ.... ෂෙරිෆ්වරයා මඳක් නැවතුණේ නිවැරදි වචනය ‍සොයාගැනීම සඳහාය. මේ මොක වුණත්. ඔහුට සොයාගත හැකි හොඳම දේ වූයේ එය පමණකි.

ඔයා ඒ ගොල්ලන්ව ප්‍රශ්න කරා නම් හරි, මොල්ඩර් ස්කලීට කීවේය. මම බැංකුව ඇතුළ පරීක්ෂා කරලා බලන්නම්.

හරි, ස්කලී කීවාය.

නමුත් ඇය තම කාර්යය ආරම්භ කිරීමට පෙර ෂෙරිෆ්වරයාව ඇමතුවාය. බොහොම ස්තුතියි. අපිට මෙතනින් එහාට කරගෙන යන්න පුළුවන්. ඔබතුමාට තව වැඩ ගොඩාක් ඇතිනේ.

ඔව් ඇත්ත, ෂෙරිෆ්වරයා පිළිගත්තේය. එහෙනම් ඔයදෙන්නට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක ඕනි වෙනවා ඔය දෙන්නට.

ඔහු තම රාජකාරී රථයට වැදී එය ඉවතට පදවාගෙන ගියේය.

ස්කලී පිරිසිදු කරන්නන් දෙදෙනා දෙසට හැරුණාය. ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඔවුන් දෙදෙනා මඳක් සැහැල්ලුවෙන් සිටියේ ෂෙරිෆ්වරයා ඉවත්ව ගිය හෙයිනි. පොලිස් නිළ ඇඳුම නිසැකවම ඔවුන්ව අසීරුතාවයකට පත්කරන්නට ඇත.

ඔයගොල්ලන්ගේ නම් මොනවද? ඇය ඔවුන්ගෙන් ඇසුවාය.

මම ෆ්‍රැන්සිස්කෝ ගාර්සියා, මේ මගේ බෑණා රොබර්ටෝ, වැඩිමහළු මිනිසා පිළිතුරු දුන්නේය. මාව විශ්වාස කරන්න නෝනා, අපි මේ වීදුරුව කැඩුණ එකට සම්බන්ධ නෑ. අපි හොඳ අරපරිස්සමෙන් වැඩ කරන අය. අපි කිසිම නරක වැඩක් කරන්නේ නෑ. අපි නීතිගරුක අය. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ හොඳ ඇමරිකානුවන් වෙන්න. අපිට කවදාහරි මේ රටේ පුරවැසියෝ වෙන්න ඕනි.

කරුණාකරලා කලබල වෙන්න එපා. ඔයගොල්ලන් අපිට බයවෙන්න කිසිම හේතුවක් නැ, ස්කලී තහවුරු කළාය. අපිට දැනගන්න ඕන වෙලා තියෙන්නේ මේ වීදුරුව පුපුරපු දවසේ ඔයගොල්ලෝ දැක්කේ මොනවද කියන එක විතරයි.




අපි කිසිම දෙයක් දැක්කේ නෑ, ෆ්‍රැන්සිස්කෝ කීවේය.

කිසිම දෙයක්, රොබර්ටෝද එකඟ වුණේය.

කිසිම කෙනෙක් එළියේ පේන්න හිටියේ නැද්ද? ස්කලී ඇසුවාය.

නෑ, රොබර්ටෝ උදක්ම කියා සිටියේය. මම එළියටත් ගියා බලන්න. ඒත් මම කිසිම දෙයක් දැක්කේ නෑ.

මොනවා හරි දෙයක් ඇහුණද? ස්කලී ඇසුවාය.

ඔව්, ශබ්දයක් නම් ඇහුණා. ෆ්‍රැන්සිස්කෝ කීවේය.

හරියට අකුණු ගහණවා වගේ, රොබර්ටෝ එකතු කළේය. මුලින්ම ඒක සද්දෙන් අහුණා ඊට පස්සේ ඒක අඩුවෙවී ගියා.

වෙන මොනවද? ස්කලී ඇසුවේ ඔවුන්ගේ ප්‍රකාශ ලුහුඬින් සටහන් කරගනිමිනි.

මිනිසුන් දෙදෙනාම හිස දෙපසට සැළුවෝය.

ඔවුනට තව කුමක් හෝ මතක් වේදැයි කියා ස්කලී බලාසිටියාය. නමුත් කිසිදෙයක් නැත.

ස්තූතියි, ඇය ඔවුනට කීවාය. ඔය ගොල්ලන්ගේ උදව්ව අගය කරනවා.

නෝනත් පොලිසියෙන් නේද? ෆ්‍රැන්සිස්කෝ ඇසුවේය.

ඔව්, ස්කලීට පිළිගත යුතුව තිබුණි. එෆ් බී අයි එකෙන්.

අපිට මොකුත් කරදරයක් එහෙම වෙන්නේ නෑ නේද? ෆ්‍රැන්සිස්කෝ ඇසුවේය.

මුකුත් වෙන්නේ නෑ, ස්කලී ඔවුනට කීවාය.

බොහෝම ස්තූතියි නෝනා, බොහෝම ස්තූතියි, ෆ්‍රැන්සිස්කෝ කීවේය.

මිනිසුන් දෙදෙනා එල් සැල්වදෝරයෙන් ඉගෙන ගෙන තිබුණේ නීතියත් සමඟ ගණුදෙනු අඩු තරමට වඩාත් හොඳ බවයි. මේ මොහොතේ ඔවුන් ඉවත්වී යමින් තිබුණේ දිව නොයමින් තමන්ට හැකි උපරිම වේගයෙන් ගමන් කරමිනි.

මේ අතර මොල්ඩර් පැමිණ තිබුණි. ඇතුළේ වීදුරු කෑළි ඇරෙන්න කිසිදෙයක් නෑ. ඔහු කීවේය. පිරිසුදු කරන අය මොනවද කිවුවේ?

ඒ ගොල්ලෝ කිවුවා ඒ ගොල්ලෝ කිසිදෙයක් දැක්කේ නෑ කියලා, ස්කලී කීවාය. ඒ ගොල්ලන්ට අඳුන ගන්න බැරි ලොකු සද්දයක් ඇහුණලු. මට විශ්වාසයි ඒ ගොල්ලෝ කියන්නේ ඇත්ත කියලා.

වෙන්න පුළුවන්, මොල්ඩර් කීවේය. බැංකුවේ ආරක්ෂිත කැමරා වලින්වත් කිසිදෙයක් පෙන්වන්නේ නෑ. වීදුරුව පුපරලා කෑලි ඇතුළට කඩන් වැටෙනවා විතරයි පේන්නේ. ඒක හරියට පිටතින් මොකක් හරි කම්පන තරංගයක් ආවා වගේ.

ඒ කියන්නේ අපිට මේක ඉස්සරහට ගෙනියන්න කිසිදෙයක් හම්බ වුණේ නෑ, ස්කලී හිස සළමින් කීවාය.

ඉතින් ඒක අළුත් දෙයක්ද? මොල්ඩර් ඇසුවේය. අපි ඉන්නේ එක්ස් ෆයිල්ස් භූමියේ. ඒක හරියට හිස්තැන් පුරවන ප්‍රහේළිකාවක් වගේ. හිස්තැන් පුරවලා තමයි විනෝද වෙන්න තියෙන්නේ.

ඇත්ත, ස්කලී කීවාය. ඒක හරියට තමන් නොදන්න භාෂාවකින් තියෙන හරස්පද ප්‍රහේළිකාවක් පුරවනවා වගේ වැඩක්.

තේරුම් ගන්න නම් තමන් ඉගෙන ගත යුතු භාෂාවකින් තියන ප්‍රහේළිකාවකින් කිවුවොත් තමයි හරි, මොල්ඩර් ඇයට කීවේය. ඒකෙන් යම් දෙයක් තේරුම් ගන්න නම් ඒක අතඇරියා කියලා වැඩක් වෙන්නේ නෑ.


 Type REG para & send the SMS to 77000 & get paranormal updates to your mobile phone!