බිහිසුණු රාත්‍රිය - 4වන පරිච්ඡේදය
යුද්ධයකදී පළමු
තුවාලකරුවා වන්නේ සත්‍යය බව ස්කලී දැන සිටියාය. එම නිසා මෙම පරීක්ෂණයේදී සත්‍ය
තොරතුරු ලබා ගැනීම වඩාත් අසීරු එකක් වනු ඇතැයි ඇයට හැඟී ගියේය. මුවර් හා හම්ෆ්‍රීස්
කියූ දෙවල් ඇය බයිබලය සේ පිළිගත්තේ නැත. හොඳ අය කවුදැයි නරක අය කවුදැයි හඳුනාගැනීම
තමා විසින්ම කළයුතු බව ඇයට තේරුම් ගියේය. මොල්ඩර්ද එසේම කළ යුතුය.
ඉක්මනින්ම
ඔවුහු මිනිස් වාසය පසුකර දැමූහ. මහා මාර්ගයෙන් ඉවත්ව වළ ගොඩැලි සහිත පාරකට අවතීර්ණ
වූවෝය. එය හුදෙක් ලී ඉරන්නන්ගේම පාරක් වූයේ ට්‍රක් රථයට යන්තමින් එහි ඉඩ හසර මධ්‍යයේ
ගමන් කිරීමට හැකියාවක් තිබිණි. එය වැටී තිබුණේ උස්ව නැඟී එන්නාවූද වෘක්ෂයන්ගෙන්
පිරී පැවතුනාවූද කඳු ශිඛර වෙත බව දක්නට ලැබුණේය.
ඉදිරි ආසනයේ
මුවර්ට හා හම්ෆ්‍රීස්ට මැදිව තෙරපී සිටි මොල්ඩර් හා ස්කලී, දිගු චාරිකාව ප්‍රයෝජනවත්
එකක් කරගැනීමට සිතා වඩ වඩාත් තොරතුරු විමසන්නට උත්සුක වූවෝය. ඔවුන් දෙදෙනා වඩාත්
හොඳ සංකලනයක් බවට පත්වී තිබුණි.
“ඇයි
මේ ලී ඉරන අය ඝන කැළේටම යන්නේ?” ස්කලී ආරම්භයක් දුන්නාය.
“එහෙ
තමයි ගස් තියෙන්නේ,” හම්ෆ්‍රීස් කීවේය.
ස්කලී ජනේලයෙන්
පිටත බැලුවාය. බැලු බැලු තැන ඇය දුටුවේ ගහකොළය. “ඔයා විහිළු කරනවද?” ඇය ඇසුවාය.
“විහිළු
කරන්නේ පරිසරවේදියෝ.” හම්ෆ්‍රීස් කීවේය. “ඒ ගොල්ලෝ මිනිස්සුන්ට වඩා ගහකොළ ගැන හිතනවා. මේ පැත්තේ අත්තක් වත් අල්ලන්න
ඒ අය අපිට ඉඩ දෙන්නේ නෑ. ඒ අය තමයි ඈත කැළේට අපිව යවන්නේ. ඒ ගියත් කපන හැම ගහකටම
පැළයක් හිටවන්න ඕන.”
“එහෙනම්
මොකද ඔයගොල්ලෝ හිතන්නේ පරිසර ත්‍රස්තවාදියෝ ඔයගොල්ලන්ට කරදර කරනවා කියලා?” මොල්ඩර්
ඇසුවේය. “ඒ
ගොල්ලන්ට ඕන හැමදෙයක්ම ඔයගොල්ලෝ පිළිපදිනවානේ.”
“ඒ
ගොල්ලන්ට කොච්චර කළත් මදි,” හම්ෆ්‍රීස් කීවේය. “ඒ ගස් ගෙම්බෝ ටික සතුටු වෙන්නේ අපිට මේ ලෝකේ තියන එක ගහක් වත් අල්ලන්න
බැරිවෙන්න කටයුතු කළ දාට තමයි. අපේ ව්‍යාපාර කඩන් වැටිලා අපේ ලී ඉරන අය හිඟා කන
කල් තමයි ඒ අය බලන් ඉන්නේ.” ඔහු හිස දෙපසට සැළුවේය. “වැඩේ කියන්නේ, මුන් හරි පිරිමි වගේ අපිත් එක්ක රණ්ඩුවට එනවනම් කමක් නෑ.
හැංඟි හැංඟී තමයි මුන්ගේ වැඩ. මුන් බයගුල්ලෝ. මුන්ගේ ක්‍රමත් ඒ වගේමයි. අනේ අම්මපා
මට මුන් අහුවුනා නම් -”
ඩෝං! ඩෝං! තියුණු හඬින් පිපිරුම් ශබ්ද දෙකක් අසුණේය.
ස්කලී ක්ෂණිකවම
අත්දෙකින් තම මුහුණ ආරක්ෂා කර ගනිමින් හිස පහත් කර ගත්තාය. නමුත් වෙඩි උණ්ඩ හෝ
බිඳුන වීදුරු කැබලි එහි වූයේ නැත. ඒ වෙනුවට ට්‍රක් රථය අශ්වයෙකු මෙන් කොර ගසන්නට
වූයේය. ඉන් පසුව එය පැත්තෙන් පැත්තට යන්නට වූයේය.
“ඒ
මොකක්ද?”
වනාන්තර සේවා නිළධාරියා තිරිංග තද කරන විට ස්කලී මුවර් ගෙන් ඇසුවාය.
“ටයර්,” මුවර් ගේ
පෙනුම, පුදුමයකට වඩා කේන්තියකට ළං වූ සෙයක් දක්නට ලැබිණ.
ට්‍රක් රථය
නැවතුන පසු හෙතෙම රියදුරු ආසනයෙන් පිටතට පැමිණියේ, අන් අයද ඔහුව අනුකරණය කරමින් ඔහු
පසුපසින් පැමිණියෝය.
“මම
වම් පැත්ත බලන්නම්,” මුවර් හම්ෆ්‍රීස්ට කීවේය. “ඔයා දකුණු පැත්ත බලන්න.”
මුවර්, වම්පස
ඉදිරි රෝදය අසළ දණ ගසා ගෙන සිටිත්දී ස්කලී හා මොල්ඩර් පිටුපසින් සිටගෙන සිටියෝය.
රෝදය තලපයක් මෙන් දිස්වූයේය.
මුවර්, ටයරයෙන්
දිගු වූත් තියුණු වූත් වානේ කැබැල්ලක් පිටතට ඇද්දේය. “ගෙදර හදපු
ඇණයක් වගේ,”
ඔහු කීවේය.
“රෝදෙ
තත්වය දරුණුයිද?”
ස්කලී ඇසුවාය.
“පැත්තක්
පසාරු කරගෙන ගිහිල්ලා,” මුවර් කීවේය. “ගොඩගන්න බෑ.”
“අමතර
ටයර් එකක් තියනවා නේද?” මොල්ඩර් ඇසුවේය.
මුවර් පිළිතුරු
දීමට පෙර හම්‍ෆ්‍රීස් පැත්තකින් පැමිණියේය. “දකුණු පැත්තේ ටයර් එකත් ඉවරයි,” ඔහු කීවේය.
ඔහු මොල්ඩර්
අතට පත් කළේ නැවී ගිය යකඩ ඇණ අල්ලා තිබූ වානේ කැබැල්ලකි. “මේක ඔහේගේ
එෆ්බීඅයි ලිපිගොනු වල ඇතුළට දාන්න පුළුවන් මගෙ හිතේ,” ඔහු කීවේය.
මොල්ඩර් එය
ස්කලී අතට යැවුවාය. “මකබාස් කෙනෙක්ගේ වැඩක් වගෙයි,” ඇය කීවාය.
“ගස්
නින්ජලා ඕවට කියන්නේ මාර්ග බාධක කියලා,” හම්ෆ්‍රීස් ඇයට කීවේය. “ඒ ගොල්ලෝ මේ පාරවල් හැම එකකම ඕවා දාලා තියෙන්නේ. කවුරු
යන එනවද කියන එක ඒ අයට වැදගත් නෑ. අන්ධ ත්‍රස්තවාදය හරිම සරළයි.”
ස්කලී එම
උපාංගය නැවතත් ඔහු අතට පත් කළාය. හම්ෆ්‍රීස් එය වේගයෙන් ගස් අතරට විසි කළේය.
“හිතන්න
කවුරුහරි වොෂිංටන් නගරයේ මහපාරක මේවා අතුරලා තියනවා කියලා,” ඔහු කීවේය. “බලන්න පුළුවන්
වෙයි නීතියෙන් ඒ අයට කොහොම සමාවක් ලැබෙයිද කියලා. කිසිම අනුකම්පාවක් ඔය
පරිසරවේදියන්ට ලැබෙන එකක් නෑ.”
හම්ෆ්‍රීස්
නැවතත් යමක් කීමට පෙර ස්කලී මාතෘකාව වෙනස් කළාය. “අපි දැන් කොහොමද ලී ඉරන කඳවුරට යන්නේ?” ඇය ඇසුවාය.
“අපිට
ආදිකාලේ ක්‍රමයට තමයි යන්න වෙන්නේ,” මුවර් කීවේය. “පයින්.”
“මේ
බූට් නම් ඇවිදින්න හදපු ඒවා තමයි,” ස්කලී කීවාය. ඇය ඉදිරියෙන් ඇති මඩ සහිත පාර දෙස
බැලුවාය. එය වනාන්තරය ඉහළට ඇදී ගොස් නොපෙනෙන ඉමකට වැටී තිබුණේය. “මේක විකුණපු
කෙනා කිවුව විදිහටම තියනවනම් හොඳයි.”
----------------------------------------------------------------------------------------------------
පැය කිහිපයකට
පසු ස්කලීගේ යටි පතුල් රිදුම් දුන්නේ ඒවා ගෙවී ගොස් ඇත්දැයි ඇයටම සැක සංකාවක් ඇති
කරමිනි. ඇයගේ ගමන් මල්ලේ බඩු භාණ්ඩ අඩුවෙන් ගෙන් ආවේ නම් මනා යැයි ඇයට සිතුණේ මේ
අවස්ථාවේදීය. ඇයව පුදුමයට පත් කරමින් මොල්ඩර් තවම ජව සම්පන්නව ගමන් කරන අයුරු ඇය
මෙනෙහි කළාය. අනාගතයේදී ඇයත් ඔහු මෙන් සැමදා හැතැප්ම හතක් ව්‍යායාම පිණිස දිව යා
යුතුය. ඇය දිව යන දෛනික හැතැප්ම තුන කිසිසේත් ප්‍රමාණවත් එකක් නොවන බව ඇයට මේ වන
විට වැටහී ගොස් තිබිණ.
මාර්ගයේ
ඉදිරියෙන් නවත්වා ඇති වාහනයක් දුටුවිට ඇයගේ ආශ්වාස ප්‍රාශ්වාසය වඩාත් පහසු එකක්
බවට නිරායාසයෙන්ම පත් වුණේය.
“ඇති
යන්තං ජීවී සළකුණක් තියෙනවා,” ඇය කීවාය.
“අඩුම
ගාණේ මොකක් හරි සළකුණක් කියමුකෝ,” මුවර් කීවේය.
“මේ
මොන වර්ගයේ වාහනයක්ද?” මොල්ඩර් ඇසුවේය.
“ලී
පටවන එකක්,”
හම්ෆ්‍රීස් කීයේය. “කපපු ලී කොටන් මේකෙන් තමයි උස්සලා ගෙනියන්නේ.”
“හැබැයි
දැන් නම් මේක කොට උඩ තමා,” මුවර් කීවේ පුපුරා ගිය එහි විසල් ටයරයක් පෙන්වමිනි. මොට්ට වූ හිසක් ඇති
යකඩ ඇණයක් ටයරයේ පැත්තකින් එළියට පැමිණ තිබුණේය. “අපි යං. කඳවුර මේ ළඟම තියෙන්න ඕනි.”
කඳවුර තිබුණේ
මිනිත්තු දහයක පමණ ඇවිදීමකින් පසු හමුවෙන ස්ථානයකය. විශාල දැව ප්‍රවාහන ට්‍රක් රථ
දෙකක් හා කුඩා බර ඔසවන රථයක් ප්‍රථමයෙන් ප්‍රාදුර්භූත වූයේ දෙවනුව එහි වූ ලී වලින්
කරන ලද කුටියක් දක්නට ලැබිණ. කුටියට ඔබ්බෙන් වූයේ මධ්‍යම ප්‍රමාණයේ ඔලිව් කොළ පැහැ
කූඩාරම් සමූහයකි.
වනාන්තරයෙන්
එන්නාවූ සුළඟට ඔහේ වැනෙන්නාවූ ට්‍රක් රථ දෙපලේ ද්වාරයන් ගෙන ආවේ භයංකර කිරි
කිරියකි.
“කවුද
මෙහේ ඉන්නේ?”
මුවර් කෑ ගසා ඇසුවේය.
එහි පිළිතුරක්
වූයේ නැත.
“බ්ර්ර්ර්,” ස්කලී
මොල්ඩර්ට කෙඳිරුවාය. “හොල්මන් පුරයක් වගේ.”
මොල්ඩර් ලී
කුටිය දෙසට යන්නට වු අතර ස්කලීද ඒ පසුපස යමින් එයට ඇතුළ් වුණාය.
“කාට
හරි පිඟාන හෝදන්න අමතක වෙලා වගෙයි,” මොල්ඩර් කීවේය. අර්ධාවසාන කරන ලද ආහාර වලින් එහි වූ
දැවමය මේසය අශෝභන වී තිබුණි.
“මම
හිතන්නේ මේ අයට ඇට වර්ගම කාලා ඇතිවෙලා වළහෙක් දඩයම් කරන්න ගිහිල්ලා වගෙයි,” ස්කලී කීවාය.
ඇය කුටිය ඇතුළත නිරීක්ෂණය කර බැලුවාය. දළ ලී පොළොවේ උඩුකුරුව වැටී තිබූ පුටු එහි
තැනින් තැන වූයේය. එක් කාමරයක ලී ඇඳවල් සම්පුර්ණයෙන්ම නිමා කර නොතිබුණි. “මේ අය හරි
හදිස්සියකින් වගේ ගිහිල්ලා තියෙන්නේ.”
“අහුරගන්නත්
අමතක වෙලා වගෙයි,”
මොල්ඩර් කීවේ එහි වූ ශීතකරණයේ පැත්තකින් සිටගනිමිනි. එහි දොර විවෘතව තිබුණේය.
මොල්ඩර් එයින් පිටතට ගත්තේ කුඩා ප්ලාස්ටික් බෑගයකි. එහි වූයේ අඩුක් කරන ලද යම්
කුඩා ගුලි මෙන් වූ ද්‍රව්‍යයකි.
ස්කලී ඒ දෙස
ඉක්මන් බැල්මක් හෙළුවාය. “තහනම් බඩුද?” ඇය ඇසුවාය.
මොල්ඩර් එක්
ගුලියක් ඉවකර හිස සැළුවේ ඒ බවක් ඔහුද අනුමාන කරන බව අඟවමිනි. “මේ ලී ඉරන අයට
රූපවාහිනී බලන්න බැරි නිසා වෙන විනෝදාංශයක් හොයාගෙන වගෙයි.”
ඔහු බෑගයේ ඉහළට
තම ඇඟිල්ලක් ගෙන ගියේය.
“මොකද
අමුත්තක්ද?”
ස්කලී ඇසුවාය.
“ග්‍රීස්
වගේ දෙයක්,”
මොල්ඩර් කීවේය.
හම්‍ෆ්‍රීස්
කුටියට පැමිණෙන තෙක්ම ඔහු එය අධ්‍යයනය කරමින් සිටියේය.
“මොනවා
හරි හොයා ගත්තද?”
හම්‍ෆ්‍රීස් ඇසුවේය.
“උත්සව
භාණ්ඩ ටිකක්,”
මොල්ඩර් කීවේය. “ඔහේ
මොනවද හොයා ගත්තේ?”
“ඔක්කොම
වාහන විනාස කරලා,”
හම්ෆ්‍රීස් කීවේය. “විදුලි ජනක යන්ත්‍ර ටිකත් ඉවරයි.”
“කවුරුහරි
ලොකු වැඩක් දීලා වගෙයි,” ස්කලී කීවාය.
“ඒ
කවුරුහරි කෙනාට ඕන වෙලා තියනවා ඒක වෙන කවුරුත් දැන ගන්න එක නවත්වන්නත්,” හම්ෆ්‍රීස්
කීවේය. ඔහු පෙන්වූයේ සුනබුන් කර දමා තිබූ ගුවන්විදුලි සංඥා වාහකයක කැඩී බිඳි ගිය
කොටස්ය.
“බලමු
මුවර් මොකද කරන්නේ කියලා,” මොල්ඩර් යෝජනා කළේය.
මුවර් වූයේ ට්‍රක්
රථයක බොනට්ටුව විවෘත කර එහි රේඩියේටරයේ පියන ගලවමිනි.
“මේ
රේඩියේටර් එක පුරෝලා හාල් වලින්,” ඔහු කීවේය. “අනික් ඒවත් එහෙමයි. ඒ ඇරෙන්න සීනියි වැලියි එන්ජින් වල. අපේ යාළුවෝ පොඩි
ඉඩක් වත් දීලා නෑ වගේ.”
“තව
මොනවට වැඩේ දීලද දන්නේ නෑ,” මොල්ඩර් කීවේය.
“අදට
වෙලාව නෑ අනික් ඒවා ගැන හොයන්න,” හම්ෆ්‍රීස් කීවේය. ඔහු තම ඔරලෝසුවේ වෙලාව බැලුවේය. “තව පැය
එකහමාරකින් ඉර බැහැලා යයි.”
“තව
කළුවර වැටෙන්න ඉස්සෙල්ලා මම තව ටිකක් සෝදිසියක් දාලා එන්නම්,” මුවර් කීවේය.
“හොඳයි,” හම්ෆ්‍රීස්
කීවේය. “මම
බලන්නම් විදුලිජනකයවත් හදා ගන්න පුළුවන් වෙයිද කියලා.”
ඔවුන් දෙදෙනා
ඉවත වුන කල්හි, ස්කලී රේඩියේටරය තුළට එබී බැලුවාය. මුවර් කීවේ සත්‍යයකි. රේඩියේටරය
පුරවමින් එහි වූයේ සහල්ය. ස්කලී එයින් ටිකක් අත්ල මතට ගත්තාය.
“ඔයා
කියපු එක දෙයක් නම් හරි,” ඇය මොල්ඩර්ට කීවාය.
“ඒ
මොකක්ද?”
මොල්ඩර් ඇසුවේය.
“මේ
නම් බිග්ෆුට්ගේ වැඩක් වෙන්න බෑ.”
නියමයි. දිගටම ලියන්න.
ReplyDelete