පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 11 වන පරිච්ඡේදය


ස්කලී එක් අතකින් ඉටිපන්දම අල්ලා ගෙන මුල්ඩර්ගේ  දොරට තඩිබාන්නට වූවාය.

ස්කලීගේ භීතියට පත් මුහුණ දුටු මුල්ඩර්ගේ දෑස මහත් ලෙස ඇයී ගියේය.

මොකද වුනේ ස්කලී? ඔහු ඇසුවේය. හොල්මනක් වත් දැක්කද?

ස්කලී තමාට හැකි උපරිම අයුරෙන් ශාන්ත වීමට උත්සාහ කළාය. මට පොඩ්ඩක් ඇතුළට එන්න පුළුවන්ද? ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.

මුල්ඩර් පැත්තකට වී ස්කලීට ඇතුළට ඒමට ඉඩ දුන්නේය. මුල්ඩර්ගේ කාමරයද ඉටිපන්දමකින් ආලෝකමත් වී තිබුණි.



ස්කලී ගැඹුරු හුස්මක් ගෙන තම නාන කඩය පහතට දැමුවාය. වෙනත් අවස්ථාවකදී නම් ඇය අපහසුතාවයට පත්වනු නමුත් සිදුවීමේ හැටියට ලැජ්ජාව පසෙකට දැමීමට ඇයට සිදුවී තිබුණි.

අනේක අතට මුල්ඩර් ඇය ගැන උනන්දුවක් නොතිබූ බව ඇය තේරුම් ගෙන තිබුණු අතර මුල්ඩර්ගේ උනන්දුව, සිදුවීම් කෙරෙහි පමණක් බවද ඇය වටහා ගෙන සිටියාය.

ස්කලී හැඳ ගෙන සිටියේ ඇයගේ යට ඇඳුම පමණි. ඇය තම පසුපස මුල්ඩර් දෙසට හරවා වෙව්ලන ඇඟිල්ලක් තම පශ්චාත් ප්‍රදේශයේ පහළ කොටසට දිගු කළාය. තමා ස්නානය කිරීමට යත්දී කණ්නාඩි‍යෙන්  දුටුදෙය මුල්ඩර් හට පෙන්වීම ඇයගේ අභිප්‍රාය වූයේය.

මේ මොනවද? ඇය ඔහුගෙන් ඇසුවාය.

හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා මුල්ඩර් දණ ගසා ගත්තේය.



ඔහුගේ නිශ්ශබ්දතාවය ඉක්මවමින් ඇය තම කටහඩේ තීව්රත්වය වැඩි කළාය.

මුල්ඩර්, මේ මොනවද?

මුල්ඩර් නැඟිට්ටේය. ඔයා අහන්නේ මේ රතු පාට තුවාළ කැළැල් ගැනද? ඔහු ඇසුවේය.



ස්කලී කෑගැසීමට ඔන්න මෙන්න සිටියද එය පාලනය කර ගත්තාය. ඔව් ඒ තුවාළ කැළැල් ගැන තමයි.

සුළු දෙයක් නේ, මුල්ඩර් ඇයට කීවේය. ඔය මදුරුවෝ කාපු ඒවා.

මදුරුවෝ කාලා, කෙළ ගිලිමින් ස්කලී ඇසුවාය.

ඔය වගේ විස්සක් විතර මට තියෙනවා අර කැළෑවේ ගිහින් ආවට පස්සේ. මේ බලන්න, එසේ කියමින් මුල්ඩර් තම කමිසය ගලවන්නට උත්සාහ කළේය.

නෑ කමක් නෑ. මට හිතාගන්න පුළුවන්, ස්කලී කීවාය. කලබලයෙන් මෙන් තම නාන කඩය හැඳගෙන පිටවීමට දොර දෙසට ගියත් ඇයට එය කළ නොහැකිවාක් මෙන් හැඟුණි.

ඇය තුළින් වෙව්ළීමක් දිව ගියේය. පිටතින් වර්ෂාව ඇදහැලෙමින් අකුණු පුපුරත්දී ඇතුළත ඉටිපන්දම් එළි උමතුවෙන් මෙන් නළියද්දී ඇය වෙව්ළමින් එතැනම සිටගෙන සිටියාය. බියනොවී සිටින ලෙස ඇය ඇයටම කියාගත් නමුදු ඇයට බිය වීමට කිසිවක් තිබුණේද නැත.

ඔයා හොඳින්ද? මුල්ඩර් ඇසුවේය.

ඇත්තෙන්ම ඔව්, ස්කලී බොරු කීවාය.

ඒ බව පේනවා මුල්ඩර් කීය.

ඇත්තටම මම හොඳින් තමයි, ස්කලී උදක්ම කියා, ඒත් අද මම මගේ කාමරේ නිදා ගන්නේ නෑ. යි එයට එකතු කළාය.

ඔහ් මුල්ඩර්ට කියවුනි.  මොකෝ බරපතල වැඩක් හෙම යෙදිලා තියනවද?

අපිට කතා කරන්න වෙලාව ඇවිල්ලා මුල්ඩර්, ස්කලී කීවාය. ඔයාට දැන් මට ඇත්ත කියන්න වෙලාව ඇවිල්ලා.

ඇත්ත? මුල්ඩර් ඇසුවේය. මොන ඇත්තද?

ඔයා දන්න ඇත්ත, ස්කලී කීවාය. කොහොමද ඒවා දැනගත්තේ කියන ඇත්ත.

හොඳයි හැබැයි එක කොන්දේසියක්, මුල්ඩර් කීවේය.

මොකක්ද? ස්කලී ඇසුවාය.

ඔයා ඒක අහගෙන ඉන්නවා කියන කොන්දේසිය, මුල්ඩර් පැවසීය.

අදින් පස්සේ මම ඔයා කියන ඕනෑම දෙයකට ඇහුන්කන් දෙන්න සූදානම්, ස්කලී ඔහුට පොරොන්දු වූවාය.

එහෙනම් මෙතනින් ඉඳ ගන්න, මුල්ඩර් ඇයට කීවේය. ඇ‍ෙඳ් හාන්සි වුනා නම් වඩා හොඳයි. මම පුටුවේ ඉඳ ගන්නම්. ඔයාට ගොඩක් දේවල් අහන්නත් ඉගෙන ගන්නත් තියෙනවා. ඔහු ඇයට තම අත දිගු කළේය. කනවද සූරියකාන්ත ඇට?

දෙන්න බලන්න. මුල්ඩර් කියනා දෙයට ඇහුම්කන් දෙමින් ඇය සූරියකාන්ත ඇට සපන්නට වූවාය. ඒවා හොඳ රසයකින් යුක්ත බව ඇයට දැනුණේ මින් පෙර ඒවා රස නොබැලීම පිළිබඳව කණගාටුවක් ඇති කරමිනි.



ඒක සිද්ධ වෙනකොට මට අවුරුදු දොළහයි, මුල්ඩර් කීවේය. මගේ නංගිට අවුරුදු අටයි. අපි නිදා ගත්තේ එකම නිදන කාමරයේ. අපි පුංචි කාලේ ඉඳලා එහෙමයි. ඒත් අපි ඊළඟ මාසේ ඉඳළා කාමර දෙකක ඉන්නයි සැළසුම් කරළා තිබුණේ. නමුත් ඒක කවදාවත් සිද්ධ වුනේ නෑ. මගේ නංගී අතුරුදහන් වුනා. එක රැයකදී එයා හිස් අහසට අතුරුදහන් වුනා.

කොහොමද එහෙම පුංචි දැරිවියක් අතුරුදහන් වෙන්නේ? ස්කලී ඇසුවාය.

කාටවත් ඒක හොයාගන්න පුළුවන් වුනේ නෑ. මුල්ඩර් පවසද්දී ඔහුගේ කටහඬ ඈත අතීතයෙන් නැඟී එන්නාක් මෙන් වූයේය. අතීතයේ තමා දරුවෙක්ව සිටියදී මෙන් බියපත් වූ ව්‍යාකූල ස්වරයක් එයින් ගම්‍ය වන්නට වූයේය. මගේ පවුලට සල්ලි තිබුණා. සම්බන්ධතා තිබුණා. අපි හැමපැත්තෙන්ම වගේ ලොකු පරීක්ෂණ කරා. පොලීසිය, පුද්ගලික රහස් පරීක්ෂකයින්, පත්තර, මේ හැම දෙයක්ම.

ඊට පස්සේ? - ස්කලී ඇසුවාය.

මුකුත් නෑ, මුල්ඩර් කීවේය. ඊට පස්සේ අපිට වන්දි මුදලක් ලැබුණා. අපි අපේ සේසතම වියදම් කරන්න තිබුණා. ඒත් කිසිදෙයක් ලැබුණේ නෑ.

ඇයව කවදාවත් හොයා ගත්තේ නෑ? ස්කලී ඇසුවාය.

ඒ සිද්ධිය නිසා අපේ පවුල කැඩුණා, මුල්ඩර් කීයේය. අපේ හිත් හදාගන්න අවුරුදු ගාණක් ගියා. ඒත ඒක සම්පූර්ණයෙන්ම හරි ගියේ නෑ. ඒක හරියට කවදාවත් හොඳ වෙන්නේ නැති තුවාලයක් වගේ.

ඒක තාමත් ඔයාගේ හිතේ හොල්මන් කරනවා නේද? ස්කලී ඇසුවාය.

ඔව් ඒක එහෙම තමයි, මුල්ඩර් එකඟ වූයේය. මම ඒක අමතක කරන්න උත්සාහ කළා. මම එංගලන්තෙට ගියා වෙන ඉස්කෝලෙකට යන්න. මම හිතුවා ඒකෙන් මට ඒ දේවල් අමතක කරන්න පුළුවන් වෙයි කියලා. ඒත ඒක එහෙම වුනේ නෑ. මට මගේ නංගිව අමතක කරන්න බැරි වුනා. එයාගේ අතුරුදහන් වීම නිසා මම අභිරහස් ගැන හොයන්න පුරුදු වුනා. මුලින්ම මනසේ අභිරහස් දේවල් ගැනත් ඊළඟට අපරාධ වල අභිරහස් දේවල් ගැනත් හොයන්න මම පටන් ගත්තා. මම ඊට පස්සේ එෆ් බී අයි එකට සම්බන්ධ වුනා. මම ඒ ගොල්ලන්ගේ සුපිරි ඒජන්ත වරයා වුනා. මාව ලොකු ලොකු දේවල් වලට සම්බන්ධ කර ගත්තා. මම ඉහළටම ගමන් කරමින් හිටියේ.

ඉතින් මොකද වුනේ? ස්කලී කුහුල් සහගතව ඇසුවාය.

එක දවසක් මට එක්ස් ෆයිල්ස් කියවන්න ලැබුණා, මුල්ඩර් කීවේය. මේ අද්භූත වාර්තා විකාර කියලයි හැමෝම සැළකුවේ.


ඒත් ඔයා එහෙම හිතුවේ නෑ, ස්කලී කීවාය.

මමත් මුළදී එහෙම හිතුවත් පස්සේ පස්සේ මට මේව විශ්වාස නොකර ඉන්න බැරි වුනා. මම හැම වාර්තාවක්ම කියෙවුවා. දහස් ගණන් වාර්තා කියෙවුවා. ඊට පස්සේ මට කියවන්න ලැබුණා අද්භූත සිදුවීම්, ගුප්ත දේවල්, පාරභෞතික සංසිද්ධීන්. අන්තිමේදී මට දැන ගන්න ලැබුණා ගැඹුරු අවරෝහණ මෝහන ක්‍රම පිළිබඳව.

මොකක්ද ඇත්තටම ඒ? ස්කලී හූමිටි තිබ්බාය.

ගැඹුරු අවරෝහණ මෝහන ක්‍රමය මඟින් අපේ මනසේ සැඟවුණු දේවල් නිරාවරණය කරන්න පුළුවන්, මුල්ඩර් පැහැදිලි කළේය. තමන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු අමතක කරලා තිබුණු දේවල් ඒ මඟින් මතක් කරන්න පුළුවන්. තමන් මතක තියාගන්න බය දේවල් ඒ මඟින් මතක් කරන්න පුළුවන්.

ඔයාට මතක් වුනේ මොනවද? පිළිතුර ආසන්න වශයෙන් අනුමාන කරමින්ම ස්කලී ඇසුවාය.

ස්කලී මං දිහා බලන්න, මුල්ඩර් කීයේය.

ඇදේ කෙළින් වුනු ස්කලී ඔහුගේ දෑස දෙස බැලුවාය.



මම මේක කාර්යාංශයේ කිසිම කෙනෙක්ට කියලා නෑ, මුල්ඩර් කීවේය. මේක ටිකක් පිස්සුවක් වගේ තමයි. මටත් මුලදී මේක විශ්වාස කරන්න ඕන වුනේ නෑ. මම ඔයාව විශ්වාස කරන්නේ ඔයා ටිකක් මං වගේ හිතන නිසයි. ඔයාට ඕනි පිළිතුරු නේද?

ඔව්, ස්කලී කීව‍ාය.

මම විශේෂඥයෙක්ට කියලා මෝහන නිද්‍රාවට වැටුනා, ධ්‍යානයකට සමවැදුනාක් මෙන් සෙමෙන් මුල්ඩර් තම මතකය අවදි කළේය. මම කාලයේ ආපස්සට ගියා. මම මගේ නංගී අතුරුදහන් වුනු රාත්‍රියට ගියා. මම දැක්කා ඇදේ නිදාගෙන හිටපු මං එකපාරටම ඇහැරෙනවා. මම දැක්කා කාමරයෙන් පිටත දීප්තිමත් ආලෝකයක්. මම දැක්කා අඳුරු ඡායාවක් කාමරයට ඇතුල් වෙනවා.

මුල්ඩර්ගේ අත් මිට මෙළවින. ඔහුගේ වදන් වේදනාවෙන් බර වූයේය. මම දැක්කා ළමයෙක්ව හිටි මම බයෙන් ගල්ගැහිලා ඉන්නවා. මට ඇහුණා මගේ නංගී උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ ගොල්ලෝ ඇයව අරන් ගියා ඒත් ඒක නවත්වන්න මට කිසි දෙයක් කරන්න පුළුවන් වුනේ නෑ මේ අහන්න ස්කලී. මේ දේවල් ඇත්තටම තියෙනවා. මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා ඒත් මම ඒක හොයා ගන්නවා. හොයාගෙන ඒක තවත්වනවා. මට වෙන කිසිම දෙයක් වැදගත් නෑ. මේක තමයි මම මේකට ‍මෙච්චර ළං වෙච්ච හොඳම අවස්ථාව. ඔයා මාව විශ්වාස කළත් නැතත් මට වැඩක් නෑ.

මම ඔයාව විශ්වාස කරනවා, ස්කලී කීවාය.

ඒත් මම ඔයාට අවවාදයක් දෙන්නම්, මුල්ඩර් පැවසීය. මේක හරි භයානකයි. අපි මේකට ළං වෙන්න ළං වෙන්න මේකේ භයානක කම වැඩි වෙනවා.

ඒකත් මම විශ්වාස කරනවා, ස්කලී කීවාය.

ඒක නිසා ඔයා මේකෙන් ඉවත් වුනත් ප්‍රශ්නයක් නෑ, මුල්ඩර් යෝජනා කළේය.

ඉවත් නොවුනත් ප්‍රශ්නයක් නෑ, ස්කලී කීවාය. ඔයාට අමතක වුනාද මට මේවා ගැන වාර්තා කරන්න තියෙනවා කියලා? ඔයාට විතරක් තනියම මේක ඉවර කරන්න බෑ.

දුරකතනය නාද වන්නට වූයේය.

ඔයා එහෙම කියනවනම්, දුරකතනය අමතක කරමින් මුල්ඩර් කීවේය.

ඒක ‍එහෙම තමයි, ස්කලී කීවාය.

දුරකතනය නැවතත් නාද දෙන්නට වූයේය.

මුල්ඩර් එය එසවූයේය.

එයට සවන් දෙන මුල්ඩර්ගේ තොල් තදින් යාවෙනු ස්කලී දුටුවාය.



හරි, ඔහු රිසීවරයට කීවේය. අපි එන්නම්.

ඒක ආයෙමත් සිද්ධ වෙලා. දුරකතනය තබමින් මුල්ඩර් ස්කලීට කීවේය.





පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



1 අදහස්:

  1. woow...නියමයි, ඊලග කොටසත් ඉක්මනට දාන්න..

    ReplyDelete