පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 6වන පරිච්ඡේදය


කඳවුරේ තනිවම උන් හම්ෆ්‍රීස් උරුවන් බාමින් තම කර්තව්‍යයෙහි නිරත වෙමින් සිටියේය. ඔහු ක්‍රියාවිරහිතව තිබු විදුලි ජනක යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ අවසන් අදියරට පැමිණ තිබුණේය. ශි‍ෆ් ඉමැගූට් දැව සමාගමට තමාගේ උපරිමය කැපකිරීමට හැකිවීම පිළිබඳ සිහිපත් කිරීමේදී ඔහුට තෘප්තිමත් හැඟීමක් ඇතිවුණේය.

ශි‍ෆ් ඉමැගූට් දැව සමාගම හම්ෆ්‍රීස්ට හොඳින් සළකා තිබුණි. ඔහු උසස් පාසල් අධ්‍යාපනය අවසන් කළ විගසම වාගේ ඔහුගේ පළමු රැකියාව ලෙස එහි රැකියාව ඔහුට හිමි වී තිබුණි. වසරින් වසර උසස්වීම්ද ඔහුට හිමි වුණේය. ඔහුගේ වැගන් රථයටද නිවහනටද දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයටද මුදල් ගෙවන ලද්දේ සමාගම විසිනි. එපමණක්ද නොව ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර වලටද විශ්‍රාමික රක්ෂණයන්ටද මුදල් ගෙවන ලද්දේ ඔවුන් විසිනි. ඔහු, සියළුම දේ සඳහා දැව සමාගමට ණයගැති වූයේ යම් සේද, එසේම දැව සමාගම වෙනුවෙන් තමාට හැකි සියළුම දේ කිරීමට සැදී පැහැදී සිටියේය.

පිටතින් එක්වරම ශබ්දයක් ඇසෙද්දී ඔහු සිටියේ විදුලි පේනුවක් සවි කිරීමේ නියැළෙමිනි. එය එතරම් විසල් ශබ්දයක් නොවුවද හම්ෆ්‍රීස් ආරක්ෂක ප්‍රධානියකු වූයේ අහම්බයකින් නොවූයේය. ඔහුට තිබුණේ බිළාලයකුගේ මෙන් ශ්‍රව‍ණේන්ද්‍රියයන්ය.

බිළාලයකු මෙන්ම වේගයෙන් ඔහු තම රයිෆල් තුවක්කුව අතට ගත්තේය. ඉන්පසු හෙතෙම විදුලි ජනක යන්ත්‍රය ඇති කුටියෙන් ඉවත්ව ආක්‍රමණිකයා කවුදැයි සෙවීමට පිටතට පැමිණියේය.

ආක්‍රමණිකයා වළසෙක්ද මිනිසෙක්ද කියා ඔහුට නිනව්වක් නොතිබුණත් ඔහු එය අදාළ නොකරගනිමින් තුවක්කුව එල්ල කරගෙන සිටියේය. එහි කාණු දෙකම පුරවා තිබුණි.

කැබින් කාමරයේ දොර යම් කෙනෙකු විසින් වසා දමන අයුර දැක ගැනීමට තරම් ඔහු කඩිනම් වූයේය. ඔහු තුවක්කුවේ පතොරම් ඇද එය මානාගෙන දොරට පයින් ගසා එය විවෘත කළේය.

දොර දෙසට පසුපස හරවා ගෙන දිගු අඟපසඟ ඇති මිනිසෙක් මේසය අද්දර සිටගෙන සිටියේය. හම්‍ෆ්‍රීස්ගේ පා පහරින් නැඟුණු ශබ්දයට කිසිදු අවධානයක් යොමු නොකළ හෙතෙම පිළුණු වී ගිය ආහාර ගිජු ලෙස බුදිමින් සිටියේය.

ඔහොම නැවතියන්! හම්ෆ්‍රීස් කෑ ගැසුවේය. අත් දෙක උස්සගෙන ඔහොම්මම හැරියන්.

මිනිසා තවත් එක් කෑම කටක් පුරවාගෙන හදිස්සියක් නැතිවම එම අණට කීකරු වූයේය. අපිරිසිදු දුඹුරු පැහැති හැඩපළු ගෙතුණ දිගු කොණ්ඩයෙන් ඔහුගේ රැවුළු මුහුණ රාමු කර ඇතිවාක් මෙන් පෙණුනේය.

ඩග් ස්පිනී, හම්ෆ්‍රීස් ගෙරෙවුවේය. මට හිතෙනවා උඹට ඔතනම වෙඩි තියලා දාන්න.

ස්පිනී, කුසීත ලෙස ඇස් කොණෙන් හමුෆ්‍රීස් හා ඔහුගේ තුවක්කුව දෙස බැලුවේය.

එහෙනම් ඔහොම්මම උඹටත් වෙඩිතියාගනින් මගේ පරණ මිත්‍රයා, ඔහු කීවේය. ඔහුගේ කටහ‍ඬ, ඔහුගේ දෑස මෙන්ම බියෙන් තොර එකක් වූයේය.

උඹ මාව සෙල්ලමකට ගන්න හිතන්න එපා, හම්ෆ්‍රීස් ඔහුට අවවාද කළේය. හොඳයි දැන් කියපන් මගේ මිනිස්සුන්ට මොකක්ද වුනේ කියලා?

මොන මිනිස්සුද? ස්පිනී ඇසුවේය.

මේ කඳවුරේ වැඩ කරපු මිනිස්සු, හම්ෆ්‍රීස් ඇසුවේ කොකා ගස්සාගෙනමය.

ස්පිනී දෙවුර ගැස්සුවේය. මම නම් දන්නේ නෑ ඒ අයට මොකක් වුනාද කියලා. ඒත් මට හිතා ගන්න නම් පුළුවන්.

ඒ මොකක්ද? හම්ෆ්‍රීස් සැරෙන් ඇසුවේය. ඔහු තුවක්කුව මානාගෙන සිටියේ ස්පිනීගේ දෙඇස් මැද්දටය.

ස්පිනී තුවක්කුවේ කාණු දෙස ඇසිපිල්ලන් නොගසා බලාගෙන සිටියේය. ඉර බැහැලා ගියාම අපි හැමෝටම මෙහෙදි වෙන දේ තමයි, ඔහු කීවේය.

මෙහෙ මොකක්ද වෙන්නේ? කටහඬක් මැදින් ඇසුණේය.

ඒ මොල්ඩර් වූයේය. ඔහු විවෘත කරන ලද කැබින් කාමර දොරටුව අභියස සිටියේය. ඔහුගේ පසුපසින් ස්කලී හා මුවර් සිටියේය.




හම්ෆ්‍රීස් තම තුවක්කුව අකැමැත්තෙන් වුවත් පහත දැම්මේය. මේ යකා තමයි ඩග් ස්පිනී. ඔහු කීවේය. මේ මිනිහා තමයි මේ හැම එකක්ම කාබාසිනියා කරේ. මිනීමැරුවේ. මම කැමතියි දැන්මම ඒවගේ වාඩුව ගන්න.

ස්කලී උන්නදුවෙන් ස්පිනී දෙස බලා ඔහු අඳුනාගැනීමෙහි උත්සුක වූවාය. ඔහු මොල්ඩර් පෙන්වූ ගස් නින්ජා ඡායාරූප වල සිටි එක් පුද්ගලයෙක් වූයේය. ස්පිනීගේ දකුණු අත වන් ටීග් කොහි හැංගී සිටීදැයි ස්කලී කල්පනා කළාය.

මම මිනී මරලා නෑ, ස්පීනී විරුද්ධ වූයේය.

උඹ බොරු කාරයෙක්, තුවක්කුව මානමින් හම්ෆ්‍රීස් ගුගුළේය.

මොල්ඩර් තුවක්කු කාණුවට අත තබා එය සෙමින් පහතට දැමුවේය.

අපි ඇවිල්ලා පරීක්ෂකයෝ- නැතුව අළුගෝසුවෝ නෙවෙයි, හෙතෙම හම්ෆ්‍රීස්ට පහදා දුන්නේය. බලමු ස්පිනී මහත්මයාට මොකක්ද කියන්න තියෙන්නේ කියලා.

අපි මෙහෙට වෙලා තව කතා කර කර හිටියොත් නම් ආයේ කතා කරන්න අපි ඉතුරු වෙන එකක් නෑ, ස්පිනී කීවේය. අපි මුලින්ම විදුලි ජනක යන්ත්‍රය හදලා ඉමු. අපේ එකම හතුරා තමයි බිහිසුණු රාත්‍රිය.

මොනවද තමුසේ ඔය කියවන්නේ? හම්ෆ්‍රීස් නැවතත් ගුගුළේය. නවත්වනවා ඔය බහුභූත.

ස්පිනී ඔහුව ගණනකට ගත්තේ නැත.

එය කාට හරි පුළුවන්ද මට සහයෝගයක් දෙන්න? ඔහු ඇසුවේය. පිළිතුරක් ලැබෙනකල් නොසිට හම්ෆ්‍රීස් ගේ තුවක්කුව අතින් පැත්තකට හැරවූ ඔහු දොරින් පිටතට පියමං කළේය.

හම්ෆ්‍රීස් මුව විවෘත කරගෙනම ඔහු යන දෙස බලාගෙන සිටියේය. ප්‍රකෘති සිහියට පත්වීමට ඔහුට මොහොතක් ගතවිය. ඉන්පසු තුවක්කුව අතින් තද කරගෙන ඔහුද දොර දෙසට ඇවිදගෙන ගියේය.

මොල්ඩර් අත දිගු කර ඔහුව වැළැක්වීය. හදිස්සියක් නෑ හම්ෆ්‍රීස්, ඔහු කීවේය. මට හිතෙනවා, මිනිහා කරන්න ඕනි මොකක්ද කියලා දන්නවා කියලා.

මිනිහට කියලා විදුලි ජනකය හදවන්න? හම්ෆ්‍රීස් අවඥා සහගත ලෙස සිනාසුනේය. මිනිහා දන්නේ හැම දෙයක්ම කාබාසිනියා කරන්න විතරයි. ඒවා හදන්න නෙවෙයි.මම තමයි මේකේ කෑලි එකතු කරලා හද හදා හිටියේ.

ඒත් මම හිතන්නේ මිනිහා තමයි ඕකේ කොතනද හදන්න ඕනි කියලා හරියටම දන්න කෙනා, මොල්ඩර් කීවේය. අපි මිනිහට සහයෝගයක් දීලා බලමු.

ඔහු පිටතට පැමිණ ස්පිනී පසුපස ගියේය.

ඒජන්ත මොල්ඩර් සමහර විට හරිම අමුතුයි. එයා ගොඩක් වෙලාවට මේ වගේ දේවල් විශ්වාස කරන්න හරි කැමතියි, එසේ කියා ස්කලීද ඔහු පසුපස ගියාය.

හම්ෆ්‍රීස්, මුවර් හා බැල්මක් හුවමාරු කර ගත්තේය.

අපිත් යන එක හොඳයි, ඔහු වනාන්තර සේවා නිළධාරියාට කීයේය. ස්පිනීව මේ දෙන්නා එක්ක තියන එක ඇඟට ගුණ නෑ. මිනිහා දක්ෂයා මිනිස්සු අන්දන්න. මේ පැත්තේ කිසිම දෙයක් නොදන්න ගෙන්දගම් පොළවේ මිනිස්සුන්ව අන්දන්න තවත් ලේසියි.

ඔවුන් සතරදෙනා‍ට ස්පිනී  හමු වන විට ඔහු සිටියේ ගැලුම් පහක ඉන්ධන භාජනයක් අතැතිවය.

ඕකට සීනි දාන්නද කල්පනාව? හම්ෆ්‍රීස් ඇසුවේය. එහෙම නැත්නම් මේ කඳවුර ගිනිතියන්නද හිතන් ඉන්නේ?

පුංචි අවවාදයක් දෙන්නම් හම්ෆ්‍රීස්. කට පොඩ්ඩක් වහගෙන ඇස්දෙකයි කන්දෙකයි ඇරගෙන ඉන්න, ස්පිනී කීවේය.

ඔහු විදුලිජනක යන්ත්‍රය උඩින් ඉන්ධන භාජනය තැබුවේය. අන් සියළුදෙනාම ඔහුගේ සෑම ඉරියවුවක්ම නිරීක්ෂණයෙහි පසුවූවෝය.

මොකක්ද අර, අපේ එකම හතුරා තමයි බිහිසුණු රාත්‍රිය කියපු එකේ තේරුම? මොල්ඩර් ඔහුගෙන් ඇසුවේය.

ස්පිනී විදුලිජනක යන්ත්‍රයට ඉන්ධන පිරවීමට පටන් ගත්තේය. ඒ වෙලාවට තමයි උන් එන්නේ, ඔහු ඉවත නොබලාම පැවසුවේය.

මොන වෙලාවට මුකුන්ද එන්නේ? මොල්ඩර් ඇසුවේය.

ස්පිනී ඉන්ධන පිරවීම අවසන් කර තිබුණි. ඔහු භාජනය බිමින් තබා ඉන්ධන ටැංකියේ පියන තදකර වසා දැම්මේය. උන් එන්නේ අහසේ ඉඳන්, ඔහු කීවේය. මිනිහෙක්ව උස්සගෙන යන්න උනත් උන්ට පුළුවන්. ඊට පස්සේ පණපිටින්ම කාලා දානවා. මම එහෙම වෙනවා දැකලා තියනවා.

කාට වෙනවාද දැකලා තියෙන්නේ? මොල්ඩර් ඇසුවේය.

ස්පිනී ප්‍රශ්නය මඟ හැරියේය. දෙයියනේ මේක වැඩ කරනවනම් හොඳයි, ඔහු කීවේ විදුලිජනක යන්ත්‍රයේ පණගැන්වුම් නූල අල්ලා ගනිමිනි. ඔහු වැරෙන් නූලෙන් ඇද්දේය.

ස්කලීද එදෙස බලාගෙන සිටියේ බලාපොරොත්තු රහිතවය. ඇයද ප්‍රාර්ථනා කළේ එය පණ ගැන්වෙනවානම් කියාය.

ස්කලීට නොතේරුණද ඇයට හැඟී ගියේ ඉදිරියේදී ඇයට තේරුම් යනු ඇත කියාය. මේ වනාන්තරයේදී මේ මොහොතේ මෙලොව ඇති වටිනාම වස්තුව ආලෝකය වන්නේ ඇයිද යන්න ඇයට නුදුරේදීම තේරුම් යනු ඇත.



Leave a Reply