පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 9 වන පරිච්ඡේදය


හම්ෆ්‍රීස් කැළය තුළින් වේගයෙන් ඇවිදයන ශබ්දය කෙමෙන් වියැකී ගියේය. ඔහු යන්නටම ගොස් තිබුණි.

මුවර් නැවතත් ලී කොටය දෙසට හැරුණේය.

අපි බලමු ඉර බැහැලා යන්න ඉස්සෙල්ලා අපිට මොනවද හොයාගන්න පුළුවන් කියලා, ඔහු කීවේය.මම මේකේ මදේ හාරලා සාම්පලයක් ගන්නම්. අපිට ඒක කඳවුරේදී පරීක්ෂා කරන්න පුළුවන් වෙයි.

ඒක නම් හොඳ අදහස, මොල්ඩර් කීවේය. කහ පාට කොටස පරීක්ෂා කළොත් අපිට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි මගේ හිතේ.

මාත් එහෙම හිතනවා, ස්කලීද කීවාය. මේ දක්වා හොයාගෙන තියෙන්නේ පිළිතුරු වලට වඩා ප්‍රශ්න තමයි.

ස්පිනී හිස දෙපසට වැනුවේය. ඔයගොල්ලෝ ඉතින් මම කියන එක අහන්නේ නැද්ද? මම දැක්ක දේවල් දැක්ක නම් විශ්වාස කරන එකකුත් නෑ. මට තියෙන්නේ එක ප්‍රශ්නයයි. විදුලිජනක යන්ත්‍රයට ඇති තරම් ඉන්ධන තියනවද අපිට රෑ ගත කරන්න?

ඔවුන් නැවත කඳවුරට පැමිණි කල්හි ස්පිනී ඔවුන් ඇමතුවේය. මම යනවා විදුලිජනක යන්ත්‍රයට ඇති තරම් ඉන්ධන තියනවද කියලා බලන්න.

අන් අය මුවර් පසුපසින් කැබින් කාමරයට පැමිණියෝය. දිගු පැන්සලක ප්‍රමාණය ඇති සිලින්ඩරාකාර දැව සාම්පලය ඔහු මේසය මතින් තැබුවේය. ඉන්පසු එක් ඇසක් වසාගෙන කුඩා අණ්වීක්ෂයකින් එය පරීක්ෂා කළේය. මේක හරි අමුතුයි, ඔහු කීවේය.



මේ දවස් ටිකට අමුතු නොවන මොනවද හම්බ උනේ? ස්කලී කීවාය. ඔයා විහිළු කරනවා මම හිතන්නේ.

ඒ මොකක්ද? මොල්ඩර් ඇසුවේය.

මේ කහ පාට කොටස, මුවර් කීවේය. ඒකේ මුකුන්ද සත්තු වගයක් ඉන්නවා වගේ. පුංචි කෘමියෝ වර්ගයක්. මට නම් හිතාගන්න බෑ.

මොකද බැරි? ස්කලී ඇසුවාය. ගස්වල කොහොමත් කෘමියෝ ඉන්නවා තමයි.

ඇත්ත, මොල්ඩර්ද කීවේය. මේ කෘමියගේ මොකක්ද තියන අමුත්ත?

කෘමියෝ ගහක් ආක්‍රමණය කරන්නේ එක එක විදිහට වෙන්න පුළුවන්, මුවර් පැහැදිලි කළේය. ඒත් හැම වෙලාවෙම උන් ගහේ ජීවී කොටස් තමයි ආක්‍රමණය කරන්නේ. කොළ, මුල්, අළුත හැදෙන කඳ කොටස්.

සමහර විට මුන් කඳ විදින වර්ගයකට අයිති උන් වෙන්න ඇති, මොල්ඩර් අනුමාන කළේය.

මේච්චර ඇතුළේ මුන් ජීවත් වෙන්න විදිහක් නෑ, මුවර් කීවේය. ආ මෙන්න. ඔහේම පරීක්ෂාකරලා බලන්න. ඔහු අණ්වීක්ෂය මොල්ඩර් අතට පත් කළේය.

මොල්ඩර් එය හොඳින් පරීක්ෂා කර බැලුවේය. මුවර් කියන්නේ කුමක්දැයි ඔහුට වැටහී ගියේය. කහ පැහැති දැව කොටසේ දඟළමින් සිටියේ ගණන් කළ නොහැකි තරමේ ඉතා කුඩා ගුල්ලන් වැනි සත්ව විශේෂයකි. ඒ මයිටාවන් පියවි ඇසින් දැකිය නොහැකි තරමේ කුඩා උන් වූහ. මොල්ඩර් එවන් ආකාරයක මයිටාවන් කිසිදා දැක නොතිබුණාක් මෙන්ම උන් ඉතා ක්ෂුද්‍ර මකුළුවන් ආකාරයෙන් ඔහුට පෙනී ගියේය.







සමහරවිට මේ දැව කොටසේ වෙනසක් ඇති, මොල්ඩර් කීවේය. මුන් මේ කොටස ආහාරයට ගන්නවා වගේ. ස්කලී පොඩ්ඩක් බලන්න. සමහර විට ඔයා දන්නවා ඇති මුන් ගැන.

ඔහු අණ්වීක්ෂය ඇය අතට පත් කළේය.

ඇය එය අසීරුවෙන් මෙන් පරීක්ෂාකර බලා හිස දෙපසට වැනුවේය.

මුන් ගැන කවදාවත් මම ඉගෙනගෙන නෑ, ඇය කීවාය. ඔයාට අඳුරගන්න පුළුවන්ද? ඇය මුවර්ගෙන් ඇසුවාය.

මුන්, ලී මයිටාවෝ වර්ගයක් වෙන්න ඇති, මුවර් කීවේය. ඒත් මම මීට කලින් දැකලා නෑ. මට ඇත්තටම පැහැදිලි නිගමනයක් නෑ.

මට ඇත්තටම පැහැදිලි නිගමනයක් නෑ. එම වාක්‍යය ඇසූ මොල්ඩර්ගේ දෑස් දීප්ති‍මත් වූයේය. ඒ මන්දැයි ස්කලී දැන සිටියාය. ඔහු තම ක්ෂේම භූමියට අවතීර්ණ වී සිටියේය. එය ඔහුගේ ප්‍රියතම දඩබිම වූයේය. එය එක්ස් ෆයිල්ස් අඩවිය වූයේය.

උන්ට පුළුවන්ද ඒ ගහේ අවුරුදු සිය ගණන් ජීවත් වෙන්න? ඔහු ඇසුවේය. සමහරවිට ඊටත් වැඩි කාලයක්?

මම දන්නෑ කොහොමද කියලා, මුවර් කීවේය. කහපාට කොටස තිබුණේ මදයට ළඟින්. ගහක් ජලය සපයන්නේ ඒකේ බාහිර මුදු වලට විතරයි. කෘමීන්ට ජලය නැතුව ජීවත් වෙන්න බෑ.

ඒ අපි දන්න කෘමීන්ටනේ, මොල්ඩර් කීවේය.

‍ඒ අතර ස්කලී තවදුරටත් අණ්වීක්ෂයෙන් දැව කොටස පරීක්ෂාවෙහි නිමග්න වූවාය.

පේන විදිහට නම් මුන් මේකේ පැටවු ගහලා වගේ, ඇය කීවාය. සමහරවිට මේ සාම්පලය ගත්ත එකෙන් උන්ට බාධාවක් වුනා වෙන්න පුළුවන්.

උන්ට කෝෂයක් හදන්න පුළුවන්ද? දොර දෙසින් කටහඬක් ඇසුණේය. ඒ ස්පිනී විය.

හොඳයි දැන් මේ අහන්න නීතිගරුක මහත්වරුණි, ඔහු ඔවුනට කීවේය. මම මේ කැළේ ඉන්නේ සෑහෙන කාළෙක ඉඳන්. මේ ගස් මම අඳුනන්නේ මගේ යාළුවෝ වගේ. මෙහේ වෙන්නේ මොකක්ද කියලා මම දන්නවා.

හරි, මොකක් වෙනවා කියලද ඔහේ කියන්නේ එහෙනම්? මුවර් ඇසුවේය.

මම කියන්නම් මේ ගස් නින්ජා කියන දේ අහනවානම් විතරක්, ස්පිනී කීවේය.

මේ අහනවා ස්පිනී, මුවර් කීවේය. දැන් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් අපිට ඉතුරු වෙලා නෑ.

ඔහේ කියන එක් ඇත්ත තමයි, අපිට වැඩි කාලයක් ඉතුරුවෙලා නෑ තමයි, ස්පිනී කීවේය. ඔහුගේ කතාවේ සරදම් ස්වරයක් ගැබ්ව තිබුණේ නැත. රාත්‍රිය එළඹීම ඔහු කිසිලෙසකත් සරදමට ගත්තේ නැත. අර ගහ කැපුවට පස්සේ මගේ යාළුවා ටීග් මැරුණා, ඔහු ඔවුනට කීවේය. ඊට පස්සේ ලී කපන අයත් අතුරුදහන් වුනා.

ඔයා හිතන්නේ මේ මයිටාවෝ ඒ අයව මැරුවා කියලද? ස්කලී ඇසුවාය.

සමහරවිට මුන් අවුරුදු සියගණන් තිස්සේ නිද්‍රාවකට වැටිලා ඉන්න ඇති, ස්පිනී කීවේය. සමහරවිට අවුරුදු දහස් ගණනක් තිස්සේ. උන් ඇහැරුණ ගමන් බඩගිනි වෙන්න ඇති.

ස්පිනී මඳකට නැවතුණේය. කිසිවෙක් කිසිවක් නොකීවේ ඔවුන් සියල්ලෝම ඔහු කියූ දේ පිළිබඳව කල්පනා කරමින් සිටි බැවිනි.

ස්පිනී මුවගින් සිනාසුණේය. ඇත්තටම මට හම්ෆ්‍රීස් නැතුව නිකං පාළුයි වගේ. මිනිහා කොටළුවෙක් වගේ හිනාවෙන සද්දේ ඇහෙන්නේ නැතුව මගේ කණ අඬනවා වගේ. මම කල්පනා කරන්නේ මිනිහා තාමත් හිනා වෙවී ඉන්නවද කියලා.



සැතැපුම් කිහිපයක් දුරින් සිටි ස්ටීව් හම්ෆ්‍රීස් සිනහසෙනවා වෙනුවට සාප කරමින් සිටියේය..

ඔහු මාර්ගයට අවතීර්ණ වූ වේලේ ඉර එළිය තිබුණත් එය වේගයෙක් වියැකී යන බවක් දක්නට ලැබුණේය.

ට්‍රක් රථය, ඔවුන් අත්හැරිය තැනම තිබෙණු දක්නට ලැබුණේය. ඔහු පුපුරා ගොස් ඇති ටයර් දෙක දෙස බැල්මක් හෙළුවේය. ටයර් වළල්ලෙන් ගමන් කිරීමෙන් එය තවත් විනාශ වනු සත්‍යයක් වුවත් අඩුම තරමේ ඒ මඟින් හෝ ඔහුට කැළයෙන් පිටතට යා හැකි වනු ඇත.

ඔහු රියදුරු අසුනට ඇති දොර විවෘත කළේය. ඔහු තම තුවක්කුව අනෙක් ඉදිරි අසුනට විසිකළේය. සුක්කානම ඉදිරියෙන් නැඟ රථය පණ ගැන්වීමට යතුර කරකවන්නට අතදැම්මේය.

ඔහුගේ අතට කිසිවක් හසුවූයේ නැත.

මඟුලක්ද, ඔහු මිමිණුවේය. කෝ මේක?

ඔහු උඩින් ඇති හිරුකිරණ ආවරණය තුළ එය ඇත්දැයි බැලුවේය. එහිද නැත. ඉදිරියෙන් ඇති රාක්ක වල බැලුවේය. එහි තිබුණේද නැත.

ඔහු ජනේලයෙන් පිටත බැලුවේය. අවසන් හිරුකිරණත් ගිලිහී යමින් තිබුණි.

ඇති යන්තන් මේක හරි තියනවා, ඔහු තමාටම කියා ගත්තේය. ඔහු ඉදිරි රාක්කයෙන් විදුලි පන්දමක් පිටතට ගත්තේය.

ඔහු එය පත්තු කළේ අඳුර වැටෙත්දීමය.

ඔහු එය ජනේලයෙන් පිටතට එල්ල කළේය. රාත්‍රිය කෙතරම් දැඩි වූයේද යත් විදුලිපන්දමේ එළියෙන් වූයේ අල්ප සහායකි.

නමුත් එය ප්‍රමාණවත් වනු ඇත. එය තමා කරන කර්තව්‍යයේ තරමට හෝ ප්‍රමාණවත් වනු ඇත. ඔහු එන්ජිම අතින් ක්‍රියාත්මක කරනු ඇත. ඉන්පසු ඔහු මේ සාපලත් වනයෙන් පිටතට යනු ඇත.

ඔහු ඩෑෂ්බෝඩයේ යටින් යමක් කිරීමට පටන් ගත්තේය. තමන් ගැන බලා ගැනීමේ ප්‍රවීණයෙක් වීම පිළිබඳ ඔහු තෘප්තිමත් වූයේය. ඔහු වියට්නාම යුධ වීරයෙක් නොවේ. ඔහු එයට නොතේරීම ඔහුගේ අඩුපාඩුවක්ද නොවේ. තම බිරිඳ දරුවෙකු අපේක්ෂාවෙන් සිටීම එයට හේතුව වූයේය. නමුත් ඒ ඕනැම යුධ වීරයකුගේ, පණ බේරාගැනීමේ ශිල්පීය ක්‍රම සංසන්දනය කිරීමේදී තමන් සමඟ ළඟින් වත් යන අයුරු කෙසේදැයි දැකීමට ඔහු සතුටින් පසු වූයේය. ඔහු ලෝකය යන අත මනාව දැන සිටි අයෙක් වූයේය. මෙහි කැළෑ නීතිය වූයේය. සුනඛයා තම පැටවුන්ම ආහාරයට ගනී. ශක්තිමත්ම කෙනා ඉතිරි වෙයි. දුර්වලයෝ කා දමනු ලැබෙති.

ඔහු පණගැන්වීමේ වයරයන් අල්ලා ගෙන සිටියේය. දැන් හරි ය, කිසිදු අපහසුතාවක් නැත. ඔහු සිනාසුනේය, ඉන්පසුව වයර් දෙක එකට ගැටුවේය. එය ගිනි පුළිඟු විසි කරත්දී ඔහුගේ සිනහව පුළුල් වී ගියේය. එන්ජිම පණ ගසනු ඔහුට ඇසුණේය. එය වරක් දෙවරක් පණ ගැන්වුණේය.

ඉන්පසු එය නැතිවී ගියේය.

මොන මඟුලක්ද, ඔහුට සිතුණි. තෙතමනය නිසා එය සිදුවනු ඇතැයි ඔහු සිතුවේය. ඔහු නැවත වරක් උත්සාහ කළේය. නැවතත් වයර් තුළින් ගිණි පුළිඟු පැන්නේය. එන්ජිම නැවතත් හඬ නැඟුවේය. වරක් දෙවරක් තෙවරක් හඬ නැඟුවේය.

නැවතත් එය නිසළ වුණේය.

ඔහු ට්‍රක් රථයෙන් පිටතට පැමිණියේය. ඔහු එන්ජිම ‍පරීක්ෂා කිරීමට බොනට්ටුව විවෘත කළේය. ඔහු විදුලි පන්දම එල්ල කරමින් එන්ජිම පරීක්ෂා කළේය. ඔහු දෝෂය සොයා ගත්තේය. එය සැකසුවේය. ඉන්පසු-

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.

ගුම් නාදයක් කැළය දෙසින් පැමිණියේය. එය වැඩිවෙමින් පැමිණ නැතිවී ගියේය.

ඔහු කෙළින් වුණේය. ඔහු ශබ්දය ආ දෙසට විදුලි පන්දම එල්ල කළේය.

ඔහු කිසිදෙයක් දැක්කේ නැත. එහි වූයේ වෘක්ෂයන් පමණි. හුදෙක් නිමක් නැති තරම් වෘක්ෂලතා පමණි.

ඔහු ට්‍රක් රථයේ වූ තුවක්කුව අතට ගත්තේය. එය ගස් දෙසට එල්ල කළේය.

ගුම් නාදය නැවතත් ඇසෙන්නට වූයේය. නමුත් මෙවර එය ඇසුණේ වෙනත් දිශාවකිනි.

තුවක්කුව අතකින්ද, විදුලි පන්දම අතකින්ද ගෙන ඔහු වටේටම කැරකුණේය.

ගස් ගෙම්බෝ ටික වරෙල්ලා එළියට, ඔහු කෑ ගසා කීවේය. උඹලා මාව බය කරන්න හිතුවා මදි. උඹලා කරන කියන දේවල් මම හොඳට දන්නවා.

එහි වූ එකම පිළිතුර ලෙසින් ගුම් නාදය වඩාත් උස්ව ඇසෙන්නට වූයේය.

ඉන්පසු හම්ෆ්‍රීස්ගේ මුව එල්ලා වැටිණ. විදුලි පන්දම ඔහු අතින් ගිලිහී ගියේය.




ඔහු එය අහුලා ගැනීමට ඉක්මන් වූයේ නැත. ඔහුට අවශ්‍ය ආලෝකය ඕනෑවටත් වඩා එහි තිබුණේය. වනයේ කොණක් ආලෝකයෙන් පිරී ගොස් තිබුණි. එය කොළ පැහැති එකක් වූයේය. එය අධික දීප්තිකර එකක් වූයේය. එය තුරු හිස් ඉහළ අහසේ රැඳී තිබුණේය.

විවර වූ මුවින් ඔහු බලා සිටියදීම ඒ දීප්තිමත් වළාව දිදුළන ඉඳිකටුතුඩු මෙන් වෙන්වී ඔහු දෙසට ඇදී එන්නට වූයේය.

හම්ෆ්‍රීස් තම කාණු දෙකේ තුවක්කුවෙන් ඒ දෙසට වෙඩි තබන්නට පටන් ගත්තේය.

වෙඩි හ‍‍ඬේ නින්නාදයෙහි ගුම්නාදය ගිලී ගියේය.

ඔහු තුවක්කුව පසෙකට විසි කරමින් ට්‍රක්රථයට වැදී දොර වසා ගත්තේය. ඔහු ජනේලද වසා දැම්මේය. ඔහු නැවත වරක් පණගැන්වුම් වයර එකට හා කරන්නට උත්සාහ කළේය.

එන්ජිම වරක් දෙවරක් ගැස්සී එක්වරම ක්‍රියාත්මක වුණේය.

යං පුතා යං, හනු තද කරගනිමින් ඔහු බලවත් සේ කීවේය. ට්‍රක් රථය බේබද්දෙකු මෙන් පැද්දෙමින් එහි බුන්වූ ටයරයන්ගෙන් ගමන් කිරීම ආරම්භ කළේය.

ජනේලයෙන් පිටත බලද්දී ඔහු දුටුවේ ළං ළං වෙමින් එන කුඩා කොළ පැහැති ආලෝක ධාරාය. ඒවා පැමිණ ජනෙල් වීදුරුවේ ගැටෙන අයුරු ඔහුට දක්නට ලැබිණ.

යම් ආකාරයක කෘමියෙකි, ඔහුට සිතුණේය. අඳුරෙහි කොළ පැහැයෙන් දිදුළන්නාවූ කෘමීන් විශේෂයකි.

නමුත් ඔහු ඉක්මනින්ම උන්ගෙන් ගැලවෙනු ඇත. ඔහු ඉතා ඉක්මනින්ම මෙයින් මිදී-

ආහ්හ්හ්හ්හ්හ්!

තම අත යමෙක් සපාකනවා දැණුනු කල්හි ඔහුට කෑ ගැසුණේය.

ඉන්පසුව ඔහු දුටුවේ රථයේ වායු කුටීර තුළින් රිංගා පිරෙන කෘමීන්වය.




ඔහු බලාසිටිත්දීම රථය ඇතුළත උන්ගෙන් පිරුණේය. උන් ඔහුව වසා ගත්තේ නිරාවරණය වී ඇති සමෙහි සෑම කොටසක්ම වැසී යන පරිද්දෙනි. ඔහුගේ අත්, මුහුණ, බෙල්ල, ඔහු එය වැළැක්වීමට නිරර්ථක උත්සාහයක් දරද්දීත්, උන් සපමින්, තුවාල කරමින් රත්වූ තුඩු අනින්නාක් මෙන් ඔහුව ග්‍රහණයට ගත්තේය.

බේරියන්! ඔහුගේ සිත කෑගැසුවේය. ඔහු දොරෙහි අඬුව කැරකුවේය. එය සිරවී තිබුණේය.

එයින් පිටවීමේ වෙන යම් මගක් තිබුණේ නැත.

තිබුණේම නැත.

නැත-

ආහ්හ්හ්හ්හ්හ්හ්! දෙවියනේ!... අම්මෝ!...
ඔහුගේ අවසන් සජීවී හඬ, අන්ධකාරය තුළ රජ කරන ගුමු නාදය සමඟ මුසුවී ගියේය.



10 අදහස්:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඉතිරි කොටස් ටික දාන්නෙ නැද්ද...

    ReplyDelete
    Replies
    1. Ithuru tika danne ne online. potha print kalama thamai balanna puluwan wenne.

      Delete
  3. ඒ කියන්නෙ ඔයා අය මේ blog එකට කතා දාන්නෙ නැද්ද???,අපරාදෙ අපි ගොඩක් ආසාවෙන් කියෙව්ව..

    ReplyDelete
    Replies
    1. හැම කතාවෙම පොඩ්ඩයි දාන්නේ... නැත්නම් මම පොත මුද්‍රණය කරන එක වැඩක් නැති වෙනවනේ.... ඔක්කොම කතා 11ක් තියනවා... ඒවගේ දාන්නෙත් මේ විදිහට තමයි. තරහා නෑ නේද?

      Delete