පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 3වන පරිච්ඡේදය


මම හරියට එල් එල් බීන් වෙළඳ දැන්වීමකට ඉන්නවා වගේ, ස්කලී මොල්ඩර්ට කීවාය. ඇය ජීන්ස් කළිසමකින් හා කපුවලින් තැනූ කමිසයක් හැඳගෙන බූට් සපත්තු යුගලයක් පැළඳ සිටියාය. ඒ සියල්ලම අළුත්ම ඒවා වූයේය.

දේසේ හැටියට බාසේ, මොල්ඩර් කීවේය. ඔහු හැඳ සිටියේත් එවැනිම ඇඳුම් වුවත් ඒවා හම්පඩ ගැසූ ස්වරූපයක් දිස්වුයේය.

දේසේ කෙසේ වුනත් මේ පැත්ත නම් විදේසේ වගේ, ස්කලී කීවාය. ඇය ඔවුන්ගේ කුළි රියේ ජනේලයෙන් පිටත බැලුවාය. මාර්ගයේ දෙපසම දක්නට ලැබුණේ ඝණ වනාන්තරය විය. මම හිතනවා අපි යන්නේ හරි පාරේ කියලා. මේ පැත්තේ කිසිම සංඥා සළකුණක්වත් නෑනේ.

ස්කලී රිය පැදවීම කරමින් සිටියාය. ඇය එයට වඩාත් කැමති වූයේ මොල්ඩර් දන්නේ වේග සීමා දෙකක් පමණක් බැවිණි. ඒ වනාහී වේගවත් සහ ඉතා වේගවත් යන සීමා දෙක පමණි.

මේ අවස්ථාව වන විට නම් ඇයටද වේගයෙන් යාම මැනැවැයි සිතුණි. පටු තාරපාරේ ඔවුන්ට ඉදිරියෙන් වූයේ ගාටමින් යන්නාවූ ලී කොටන් පටවා ගත් ට්‍රක් රථයකි.

අපි හරි පාරේ තමයි යන්නේ, මොල්ඩර් කීවේය. අර ට්‍රක් එකත් යන්නේ අපි යන දිහාවටමයි. මේ පැත්තේ තියෙන්නේ එක ලී මෝලයි. මම හිතන්නේ ඔය ට්‍රක් එකේ එක්සත් වනාන්තර සේවයේ නිළධාරියාත් ඇති. එයා කිවුවා අපි එනකල් එයා බලාගෙන ඉන්නවා කියලා.

එයා දැව සමාගම එක්ක ඇයි හොඳැයි කම් පවත්වනවද? ස්කලී ඇසුවාය.

ඇයි හොඳැයිකම් පවත්වනවද කියලා නම් මම දන්නේ නෑ, මොල්ඩර් දෙවුර ගස්සමින් කීවේය. හැබැයි දෙගොල්ල එකිනෙකා අඳුනනවා. මේක ආණ්ඩුවේ කැළැව. වනාන්තර සේවය තමයි දැව සමාගමට කියන්නේ කොතනින්ද ගස් කපන්න පුළුවන් කොච්චරක්ද කපන්න පුළුවන් කියලා.

ට්‍රක් රථය වඩාත් පටු පාරකට හරවත්දී ඔවුන්ද ඒ පසුපස යමින් ඔවුන්ගේ රථය එම මාර්ගයට හරවන ලදී. ඉතා ඉක්මනින් ඔවුනට ලී මෝල දර්ශනය වූයේ එහි පුසුඹද ඔවුන්ගේ නාසා පුට වලට දනවමිනි.

අපොයි - ගඳ, ස්කලී ජනේලය වසමින් කීවාය. මම හිතුවේ ලී කුඩු මීට වඩා සුවඳයි කියලා.

ඒ ගොල්ලෝ ගොඩක් රසායනික ද්‍රව්‍ය දානවා ලී වලට, මොල්ඩර් කීයේය. මෙහේ කාලයක් හිටියනම් ඔය ගඳ පුරුදු වෙනවා.

ඔයාට නම් ඕන දෙයක් ඔට්ටුයි මගෙ හිතේ, ස්කලී කීව‍ාය. හරියට මිනී කපන අය වගේ. මම දැකලා තියනවා මිනී කපන අය මිනී උඩ කාඩ් සෙල්ලම් කරනවා. මේ පැත්තේ මිනිස්සු දන්නේ නැතුව ඇති පිරිසිදු වාතාශ්‍රය කියන්නේ මොකක්ද කියලා වත්.

මෙහෙ එච්චර මිනිස්සු නෑ, මොල්ඩර් කීවේය. ඒක තමයි ඒ ගොල්ලෝ කැළයෙන් එපිට ලී මෝලක් දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ගේට්ටු ඉස්සරහ විරෝධතාකාරයෝ එක් රැස්වෙලා කෑ කෝ ගහනවනේ නීතිය ක්‍රියාත්මක කරන්න.

ඒ වගේ විරෝධතාවයක් නම් මට තේරුම් ගන්න පුළුවන්, ලී මෝලේ රථ ගාලේ කොටසකට රථය පදවමින් ස්කලී කීවාය. ඒක පරිසර ත්‍රස්තවාදය නෙමේ - පරිසර ආරක්ෂණය.

ඇය ඔවුන්ගේ රථය සිවුරෝද ධාවක ට්‍රක් රථයක් පැත්තකින් ගාල් කළාය. එම ට්‍රක් රථය වනාන්තරයටම ඔබින එකක් වූයේය. මඩට ඔබින ටයර්ද, ඇකුළුම් කමිබි යන්ත්‍රයද, වානේ ආරක්ෂණ වලින්ද එය සමන්විත වූයේ එහි ඉදිරි ද්වාරයේ එක්සත් වනාන්තර සේවයේ ලාංඡනය සටහන් කර තිබෙණු දක්නට ලැබිණ.

එළිමහන් ඇඳුම් හැඳගත් උස් හීන්දෑරි මිනිසෙක් ට්‍රක් රථය මත සිටගෙන එහි වහළ මත සිතියමක් දිගහැරගෙන සිටියේය.

අපේ යාළුවා වගෙයි, ස්කලී කීවාය.



හලෝ, ට්‍රක් රථයේ සිටගෙන සිටි මිනිසාට මොල්ඩර් ආමන්ත්‍රණය කළේය. මම ඒජන්ත මොල්ඩර්. මේ ඉන්නේ ඒජන්ත ස්කලී. අපි එෆ් බී අයි එකෙන්.

මිනිසා, මොල්ඩර් හා ස්කලී දෙස හිසේ සිට පාදාන්තය දක්වා විමර්ෂණය කරමින් සිටියේය.

අඳුනාගැනීමේ මොකක් හරි තියනවද? ඔහු ඇසුවේය.

මොල්ඩර් තම පසුම්බියේ වූ ඡායාරූපමය හැඳුනුම්පත දිගු කළේය. ස්කලීද එය අනුගමනය කළාය.

මිනිසා එම හැඳුනුම්පත්වල ඡායාරූප‍ දෙස බලා නැවනන් ඒජන්ත වරුන් දෙදෙනා සෙමින් අධ්‍යයනය කළේය. ඉන්පසු නැවත එම හැඳුනුම්පත් ඔවුන්ට ලබාදුන් ඔහු මොල්ඩර් හා ස්කලී සමඟ අතට අත දුන්නේය. ඔහුගේ අතේ ග්‍රහණය වානේ මෙන් සවිමත් එකක් වූයේය.

ලැරී මුවර්, එක්සත් වනාන්තර සේවය, ඔහු කීවේය. ඔය ගොල්ලන්ගේ බඩු භාණ්ඩ ඔය ට්‍රක් එක පිටිපස්සේ දාන්න පුළුවන්.

මොකක්ද අර ඉස්සරහ වීදුරුවේ තියෙන්නේ? මොල්ඩර් ඇසුවේය. වෙඩි පාරක සිදුරක් නේද?

රයිෆල් උණ්ඩයක, මුවර් කෙටියෙන් කීවේය. ඔහු, තමා දිහැරගෙන සිටි සිතියම අකුළන්නට වූයේය.

කවුරුහරි ඔහේට වෙඩි තිබ්බද? මොල්ඩර් ඇසුවේය.

ඒ වගේ තමයි පේන්නේ, මුවර් කීවේය. දඩයක්කාරයකුගේ වැඩක් නම් නෙවෙයි. ඒ වගේ උණ්ඩ වලින් දඩයම් කරන්න මෙහේ සත්තු නෑ. වස්සෝ ඇරුණම.

වස්සෝ? ස්කලී ඇසුවාය.

එක්සත් වනාන්තර සේවයේ නිළධාරීන්, මුවර් කීවේය. පරිසර ත්‍රස්තවාදියෝ අපිට එහෙමයි කතා කරන්නේ.

ඔහේට වෙඩි තිබ්බේ ඒ ගොල්ලන්ද? මොල්ඩර් ඇසුවේය. ඔහේට ඒ අයත් එක්ක ප්‍රශ්නයක් තිබුණද?

මුවර්, මොල්ඩර් දෙස එක එල්ලේ බලාගෙන සිටියේය.

හොඳයි මම කෙළින්ම කියන්නම්, ඔහු කීවේය. මට ඔය මිනිස්සුන්ගේ අදහස් එක්ක කිසි අවුලක් නෑ. මටත් ඕනි වනාන්තරය ආරක්ෂා කරන්න. මට සමාව දෙන්න බැරි ඒ ගොල්ලන්ගේ ක්‍රම සහ විධි වලට. කිසිම විදිහකින් බෑ නීතිවිරෝධී ආකාරයෙන් හානි කරන්න මිනිස් ජීවිත වලට හානි වෙන විදිහට.

පොඩ්ඩක් ඉන්න, ස්කලී කීව‍ාය. ඔබ ඇත්තටම හිතනවද ඒ අය මනුෂ්‍ය ඝාතන දක්වා දුර ගිහිල්ලා කියලා?

මිනිස්සු තිහකට වඩා කැළේදී අතුරුදහන් වෙලා, මුවර් කීවේය. ඒ හැමෝම හොඳට කැළේ හුරුපුරුදු අය. මොකක් හරි දෙයක් මේ අයට වෙලා තියනවා.

වැගන් රථයක් ඔවුන්‍ සිටිනා ට්‍රක් රථය පැත්තකින් පැමිණ නැවතුණේය. විසල් පාංශු දේහධාරී මිනිසෙක් එයින් පිටතට පැමිණියේය.

ඔහු පහසුවෙන්ම බරැති ගමන් මළු දෙකක් වැගන් රථයෙන් ඔසවා ට්‍රක් රථය පසුපසට විසි කළේය. ඉන්පසු ඔහු විශාල බහළුම් දෙකක් රථයේ ඉදිරි අසුනෙන් පිටතට ගත්තේ ස්කලීට යාන්තමට ඒවා මොනවාදැයි දැක ගැනීමට හැකිවුණේය. ඒවා රයිෆල් තුවක්කු පතොරම් වූයේය.

ඇති යන්තං, මුවර් කීවේය. දැන් අපිට පුළුවන් වැඩේට බහින්න.

පරක්කු වුනා ලැරී, සමාවෙන්න ඕනි, මිනිසා කීවේය. මම බොබ් පර්කින්සගේ බිරිඳ එක්ක කතා කර කර හිටියේ. ඔහු මොල්ඩර් හා ස්කලී දෙස හැරුණේය. පර්කින්ස් කියන්නේ අපේ අතුරුදහන් වෙච්ච දැව කම්කරුවන්ගෙන් එක්කෙනෙක්. ඔහු පැහැදිලි කළේය.

ඉන්පසු ඔහු තමාව හඳුන්වා දුන්නේය. ස්ටීව් හම්‍ෆ්‍රීස්. ශි‍ෆ් ඉමැගූට් දැව සමාගමේ ආරක්ෂක ප්‍රධානියා. මම හිතන්නේ ඔයගොල්ලෝ එ‍ෆ් බී අයි වෙන්න ඕනි.

මම මොල්ඩර්, මොල්ඩර් කීවේය. මේ ඉන්නේ ස්කලී.

හම්‍ෆ්‍රීස් ඔවුන් වෙත හිස සළා ආචාර කළේය. ඉන්පසු ඔහු තුවක්කු පතොරම් බහාළුම් මුවර් අතට පත් කළේය. මේව හොඳට පරිස්සම් කරගන්න, ඔහු කීවේය. මට ඉවෙන් වගේ තේරෙනවා මේවා අපිට ඕන වෙයි කියලා.

සමහරවිට, මුවර් කීවේය. ඔහු පතොරම් ට්‍රක් රථයේ පැත්තක ඇහිරුවේය.

එහෙනං අපි යං, හම්ෆ්‍රීස් කීවේය. පැය හතරක් විතර යන ගමනක් තියෙන්නේ. ඔහු මුවර් අනුව යමින් ට්‍රක් රථයට නැග්ගේය.

ස්කලී මොල්ඩර් වෙත හැරුණාය. මට හිතෙන්නේ අපි නිකං යුද්ධෙකට යනවා වගේ, ඇය ඔහුට කීවාය. ඇවිළෙන යුද්ධෙකට.



1 අදහස්:

  1. නියමයි. ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න.

    ReplyDelete