පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 8වන පරිච්ඡේදය


ඊළඟ දිනය උදාවන විට හම්ෆ්‍රීස් උදම් අනමින් සිටියේය. කණ්ඩායමේ සියළු දෙනාම පාහේ උදෑසන කෑම මේසයට වාඩි වී සිටියේ මුවර් විසින් පිළියෙළ කළ කෝපි හා පෑන් කේක් බුදිමින්ය.

ආ ස්පිනී, හම්ෆ්‍රීස් ඔහුව ඇවිස්සුවේය. කෝ අර මහසෝනා හරි රීරි යකා හරි මාව කන්ඩ එනවා කියපු? අඩුම තරමේ මෝහිණි වත් දැක්කේ නෑනෙ. මොකද දන්නේ නෑ හේතුව.

මේ අහනවා හම්ෆ්‍රීස්, ස්පිනී පිළිකුළෙන් යුතුව කීවේය. මම ඔය වගේ කයිවාරු කාරයෝ දැකලා තියෙනවා වියට්නාම් යුද්ධයෙදී. රෑට කල්ලි ගැහිලා කැළෑවට යනවා. ඊට පස්සේ හිනා වෙවී එනවා වීරයෝ වගේ. එක රාත්‍රියක ඒ අය ආවේ නෑ. අපිට තමයි වුණේ ඒ අය හොයන්නයි ඒ අයගේ මිනී එකතු කරලා මළුවල දාලා මෙහෙට එවන්නයි.

ඔහේ වියට්නාමයේ හිටියද? මුවර් ඇසුවේය. වනාන්තර සේවා නිළධාරියා පුදුමයට පත්වූ සෙයක් දක්නට ලැබිණ. මම දැනන් හිටියේ නෑනෙ.

ඔව් මම හිටියා, ස්පිනී කීවේය. මම මහ කාළකණ්නියෙක්. එහේ කැළේට වස දාද්දි මාත් ඒකට හවුල් වුණා. ඔහේට මතකද ඒජන්ත ඔරේන්ජ්ව? ඊට පස්සේ මම දැක්කා ඒකෙන් කැළේ ගස් වලට වෙච්ච දේ. ඒ වගේම මිනිස්සුන්ට. මට වාවන්නේ නැති වුනා. මම දිවුරුවා මම ඒකට හරි යන්න දෙයක් කරනවා කියලා. මම මේ මිහිතලය විනාශ වෙන ඕනෑම දෙයකට එරෙහිව සටන් කරනවා ඒක මට තවත් ආකාරයක යුද්ධයක් වුණත් මම ඒක කරනවා.

මමත් වියට්නාම් වල හිටියා, මුවර් කීවේය. මම නම් ආඩම්බරයි ඒ ගැන. මම මගේ සේවය රටට ඉටු කරා. මගේ රටේ ජීවය ආරක්ෂා කරන්න. ඒකේ නීතිය ආරක්ෂා කරන්න. හරියට දැන් කරනවා වගේ.

ඔහේ ඔහේගෙ රටට සේවය කරන්න, ස්පිනී කීවේය. මම මගේ රටට සේවය කරන්නම්

රටවල් දෙකක් නෑ. එක රටයි තියෙන්නේ, මුවර් කීවේය.

එහෙම හිතාගන්නකෝ, ස්පිනී අවඥාවෙන් කීවේය.

හිතාගන්න දෙයක් නෑ, ඒක එහෙම තමයි, මුවර් පිළිතුරු දුන්නේය.

මිනිසුන් දෙදෙනා වාද කරන අයුරු දෙස ස්කලී බලා සිටියාය. වියට්නාම් යුද්ධය අවසන් වී තිබුණේ ඇය කුඩා දැරියක්ව සිටියදීය. නමුත් මේ දෙදෙනාට අනුව නම් එය තවමත් සිදුවන එකක් ලෙස පෙනී යමින් තිබුණි. ඔවුන් දෙදෙනාට නම් එය කිසිදා අවසන් නොවන යුද්ධයක් වී ඇති බව ඇයට හැඟී ගියේය.

මොල්ඩර් ඇයගේ සිතුවිලි කියවමින්දෝ එයට මැදිහත් වුණේය. වියට්නාමේ අමතක කරමු. අපි දැන් ඉන්නේ වෙනම යුද්ධයක. වෙනම හතුරෙක් එක්ක. දැන් අපි හැමෝම ඒකේ කොටස් කාරයෝ වෙලා ඉන්නේ. මම හිතන්නේ අපි මේ කැළේ ඇතුළට ගිහිල්ලා නැතිවෙච්ච මිනිස්සු ගියේ කොහෙද ඒ ගොල්ලන්ට උනේ මොකක්ද කියලා හොයන එක වඩා හොඳයි කියලා. අපිට දවල් කාලය නාස්ති කරන්න බෑ.

මම නම් කියන්නේ අපිට තව මොන කාලයක් වත් නාස්ති කරන්න බෑ, හම්ෆ්‍රීස් කීවේය. මේ අවට ගස් කොළන් ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ පිස්සා, මින්ස්සුන්ටත් වඩා වටිනවා කියන ගස් තමයි මේ අවට තියෙන්නේ. මේ මිනිහව මිනීමැරුම් චෝදනා එල්ල කරලා අරන් යන්නයි දැන් ඕන කරලා ති‍යෙන්නේ.

හම්ෆ්‍රීස් මුවර් දෙසට හැරුණේය. මේ අහන්න ලැරී. මොකද හිතන්නේ මේ ගස් නින්ජව ජනාවාසයට අරන් ගිහිල්ලා මිනිහට සුදුසු බලුකූඩුවට මිනිහව දාන එක ගැන?

මුවර් හම්ෆ්‍රීස් දෙස මධ්‍යස්ථ බැල්මක් හෙළුවේය. මට ඒකට තව සාක්කි ඕනි. තව දැන ගන්න ඕනි දේවල් කීපයකුත් තියනවා. මට බලන්න ඕනි අර කපලා දැම්මයි කියපු තහනම් ගස් ටික.

ඇත්තටමද? ස්පිනී ඇසුවේය. මම පෙන්නනම් එයින් එකක්. මම පොඩි අවවාදයක් දෙන්නම්. ඒ දර්ශනය නම් ටිකක් දරාගන්න බැරිවෙයි.

මම නම් කියන්නේ මේ මිනිහා කියන වචනයක් වත් විශ්වාස කරන්න එපා කියලා, හම්ෆ්‍රීස් විරුද්ධ වුණේය. මේ මිනිහා බොරු කියන්නේ නිකං හුස්ම ගන්නවා වගේ.

මගේ වචන විශ්වාස කරන්න කියලා නෙවෙයිනේ මම කිවුවේ, ස්පිනී කීවේය. ඔයගොල්ලන්ගේම ඇස් විශ්වාස කරන්නකෝ.

මේක හරියට මායාකාර නළාකාරයාගේ පස්සෙන් යනවා වගේ වැඩක්, හම්ෆ්‍රීස් නොරිස්සුම් සහගත ලෙස ගිගුරුවේය. නමුත් ස්පිනී පසුපස්සෙන් යන අන් අයද සමඟ ඔහුද කැබින් කාමරයෙන් පිටතට පැමිණියේය.

තමා යන්නේ කොහිදැයි ස්පිනී හොඳහැටි දැන සිටියේ, දෙගිඩියාවකින් තොරවම පිරිසට නායකත්වය දෙමින් කැළය තුළට ගමන් කරන්නට වූයේය.

මෙන්න මෙතනයි තැන, ඔහු හඬගෑවේය. මේ දිහා බලන්න. හොඳට බලන්න.

දෙයියනේ, ස්කලී විසල් වූ දෑසින් යුතුව කීවාය. කොච්චර වටින ගහක්ද මේ!

ගහක් නෙවෙයි දැන් නම් මැරිච්ච ලී කොට ටිකක්, ස්පිනී ඇයව නිවැරදි කළේය.

වෘක්ෂය වනාන්තර භූමිය මත නිසළව වැතිරී තිබුණේය. එය අඩු තරමේ අඩි එකසිය පනහක් වත් දිගු එකක් වූයේය. එහි ක‍ඳෙහි විශ්කම්භය අඩි දහයකට වැඩි බවක් පෙන්වූයේය.




මේ රෙඩ්වුඩ් ගහ මෙතන තිබුණේ කාලය පටන් ගත්තු දවසේ ඉඳන්, ස්පිනී කීවේය. කෑදර මිනිස්සු ටිකක් ඇවිල්ලා කපලා යනකල්ම.

ස්පිනී එහි දුක්ඛිත ලෙස සිටගෙන සිටින අතරතුර ස්කලී හා මොල්ඩර් වෘක්ෂයේ දිග අතට ඇවිද ගියහ. ඔවුන් මීට පෙර මෙවන් යෝධයෙක් දැක තිබුණේ නැත.

මුවර් එහි පාදමේ උක්කුටියෙන් හිඳගත්තේය. එහි පැත්තක සටහන් කර තිබූ තැඹිලි පැහැති සළකුණ ඔහු ප්‍රවේසමෙන් අධ්‍යයනය කළේය.

කවුද මේ ගස් සළකුණු කරන්නේ? ස්කලී ඔහුගෙන් ඇසුවාය.

එක්සත් වනාන්තර සේවය, මුවර් පිළිතුරු දුන්නේය. අවසර තියෙන්නේ නිල් පාටින් එක්ස් අකුර සළකුණු කරපු ගස් කපන්න විතරයි.

මේ වගේ ගහක් කැපුවම ගොඩක් ලී ඉරා ගන්නත් පුළුවන්නේ, ස්කලී මතක් කළාය.

ඝන අඩි දාහක් විතර, ස්පිනී කීවේය. පොඩි, අළුත් ගස් කපනවාට වඩා ඒක ලේසියි. වියදමත් අඩුයි. මේ යෝධ ගස්වලින් මේ අය කුට්ටි පිටින් වැඩිපුර සල්ලි හොයනවා.

නවත්වනවා ඔය කතාව, නැත්නම් මට ඇ‍ඬෙයි දුකට, හම්ෆ්‍රීස් ව්‍යාජෝක්තියෙන් යුතුව කීවේය. ඔහු ස්කලී වෙතට හැරුණේය. මට දෙයක් කියන්න අමතක වුනා. මේ ගස් නින්ජලා ඒ ගොල්ලන්ගේම තීන්ත වලින් ගස්වල බොරුවට සළකුණු කරනවා.

මුවර් තැඹිලි පැහැති එක්ස් අකුරෙන් දෑස ඉවතට ගෙන හිස ඔසවා බැලුවේය. ඔහුගේ දෑසේ දැඩි බවක් දක්නට ලැබුණු අතර කටහඬද ඒ ආකාරම එකක් වූයේය. මේ ගස් අවුරුදු පන්සීයක් විතර පරණයි ස්ටීව්.

මොල්ඩර් වඩාත් උනන්දුවක් දැක්වූයේ ගසේ කපා ඇති කොටසක් කෙරෙහිය. මේ දිහා පොඩ්ඩක් බලන්න, ඔහු කීවේය.

ඔහුගේ කටහ‍ඬේ තිබූ උන්නදුව නිසා සියල්ලෝම ඒ දෙසට ඇදුණෝය. ඔවුන්ගේ දෑස් මොල්ඩර්ගේ ඇඟිල්ල අනුව යමින් ක‍ඳෙහි හරස්කඩෙහි පිටත සිට අරටුවෙහි ඇතුළට වන්නට පිහිටා ඇති වෘත්තාකාර මුදු තුළින් යවමින් ඇඟිල්ල නැවතුණු එක් තැනක නතර වූයේය. ඇඟිල්ල නැවතුනේ වෘත්තාකාර මුදුවලින් එක් ඝණ මුදුවක් මධ්‍යයෙහිය. එය අන් මුදුවලට වඩා ඝණ වූවා පමණක්ම නොව පාටින්ද වෙනස් වූයේ අන් මුදු මෙන් දුඹුරු පැහැ නොගත් කොළ මිශ්‍ර කහ පැහැයක් ගත්තේය.



මේ මුද්ද මොකක්ද? මොල්ඩර් ඇසුවේ මුවර්ගෙනි.

අනේ මන්දා. ඒ වගේ එකක් මම මීට කලින් දැකලා නෑ, වනාන්තර සේවා නිළධාරියා තෙපළේය.

මේවා අභ්‍යන්තර ලී මුදු. ඇතුළට වෙන්න තියෙන්නේ පරණම ඒවා, එහෙම නේද? ස්කලී ඇසුවාය.

ඔව්, මුවර් කීවේය. හැම මුදුවකින්ම පෙන්වන්නේ ගහ හැදෙන එක සෘතුවක්. ඒවා ගණන් කරලා ගහේ වයස කියන්න පුවවන්. ඒවා මැනලා කියන්න පුළුවන් උෂ්ණත්වයයි වර්ෂාපතනයයි ගැන. ඒත් මම මේ කහ පාට මුදුව ගැන නම් දන්නේ නෑ. පොඩි සාම්පලයක් ගන්න ඕනි.

අපේ සොබාදහම් චාරිකාව ඉවරද? හම්ෆ්‍රීස් ඇසුවේය. මොකද මට දැනගන්න දෙයක් තියනවා. මගේ කම්කරුවන්ට මොකද වු‍ණේ?

ඒක තමයි අපි මේ හොයන්න යන්නේ, ස්කලී කීවාය.

මේ ලී කොටයක් දිහා බලන් ඉඳලා? හම්ෆ්‍රීස් උදක්ම ඇසුවේය. මෙන්න මේ මිනිහවයි පරීක්ෂා කරන්න ඕනි. මේ මිනිහගේ අභ්‍යන්තරය බැලුවනම් තේරෙයි කෝච්චර පවුකාරයෙක්ද කියලා. මේ මිනිහා තමයි මගේ මිනිස්සුන්ව මැරුවේ.

මම හිතන්නේ නෑ මෙයා ඒක කරා කියලා, මොල්ඩර් ශාන්තව පැවසීය.

එහෙමද? ඒත් මම නම් හිතනවා, හම්ෆ්‍රීස් කියද්දී ඔහුගේ දෑතින් තුවක්කුව මිරිකා ගත්තේය. ඔහුගේ කටහඬ තර්ජනාත්මක එකක් වූයේය. මට ඕනි මේ මිනිහා අත්අඩංගුවට ගන්න. ඒ කියන්නේ මේ දැන්ම.

හදිස්සියක් නෑ, මොල්ඩර් කීවේය. මෙයා කොහෙවත් යන්නේ නෑනෙ.

මේක තියෙන තාක් කල් කොහේ යන්නද? ස්පිනී වෙත තුවක්කුව එල්ල කරමින් හම්‍ෆ්‍රීස් කීවේය. ඒත් මෙයාගේ යාළුවෝ දෙන්නා එකපාරටම මතුවුනා නම් කොහොමද? මතකද ඔයගොල්ලන්ගේ වනාන්තර සේවා නිළධාරියෝ අතුරුදහන් වුන විදිහ? ඔහු මුවර්ගෙන් ඇසුවේය. හිතාගන්න පුළුවන්නේ ගස් නින්ජලා ඒ අයට මොනවද කරේ කියලා?

මට මේ ගහෙන් සාම්පලයක් ගන්න ඕනි ස්ටීව්, මුවර් පිළිතුරු දුන්නේය.

මට තියනවා පවුල් සෑහෙන ප්‍රමාණයකට පිළිතුරු දෙන්න ඒ අයගේ ස්වාම් පුරුෂයෝ ගැන, හම්ෆ්‍රීස් තරයේ කියා සිටියේය. ඔයාටත් එහෙමයි ලැරී. මේ ගහෙන් ඒවට උත්තර ලැබෙන්නේ නෑ. අපිට තියනවා අපරාධයක් විසඳන්න. ඉක්මන් කළ තරමට තමයි හොඳ.

මේ ගස්වල මරණය ගැන තමයි සොයන්න තියන එකම අපරාධය, ස්පිනී කීවේය.

හම්ෆ්‍රීස් මුවර් දෙස බැලුවේය. ඉන්පසු මොල්ඩර් දෙස බැලුවේය. ඉන්පසු ස්කලී දෙස බැලුවේය.

ඔවුන් දිනීමෙහි තව එක් උත්සාහයක් ඔහු දැරුවේය. ‍මේ අහන්න, මේ මිනීමරුවට ඔයගොල්ලන්ව අන්දන්න දෙන්න එපා.

කිසිවෙක් කිසිවක් කීවේත් කළේත් නැත.

තමුසෙලා වගේ බයගුල්ලෝ හිතන්නේ එහෙම නම්, හම්ෆ්‍රීස් කෝපයෙන් කීවේය. ඔහු අනෙක් පස හැරී ඔවුන්ට පිටුපා වේගයෙන් ඇවිද යන්නට පටන් ගත්තේය.

ස්ටීව්, ඔය කොහෙද යන්නේ? මුවර් හඬගා ඇසුවේය.

මම යනවා ඔහේගේ ට්‍රක් එකට පයින්ම, හම්ෆ්‍රීස් තම උරහිසට උඩින් කීවේය. ගිහිල්ලා අවශ්‍ය අයට පණිවිඩේ කියලා යමක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් මෙහෙ ගේනවා.

ස්ටීව්! මුවර් හඬගා ඔහුට කතා කළේය.

නමුත් ඔහු ඒවනවිට තුරු අතරින් අන්තර්ධාන වී ගොස් තිබිණි.

එයාට යන්න දෙන්න, ස්පිනී කීවේය. එයාම හොයාගනියි ඇත්ත නැත්ත. ඔහු සිනාසුනේය. ඉර බැහැලා ගියාම අනිවාර්යයෙන්ම එයා හොයාගනියි.



Leave a Reply