පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!


පාර අයිනේ තිබුණු පුවරුව බෙලෙෆ්ලුයර් මිත්‍රත්වයේ නගරයට සාදරයෙන් පිළිගනිමු. ලොකු අකුරෙන් කියා පෑ නමුදු එහි ධ්වනිත වන අදහස මුළුමනින්ම අමතක කර දැමුවාක් මෙන් වූ ප්‍රාදේශිකයෝ පිරිසක් එහි රැස්කකා සිටියෝය.

සැබැවින්ම නගරයේ ප්‍රජාශාලා‍ව ඉදිරිපිට හුන් ජනතාවගේ බැල්ම, කිසිසේත්ම මිත්‍රශීලී එකක් වූයේ නම් නැත.

එන පොට හොඳ නෑ වගේ, මුල්ඩර් පැවසීය.

මොකක්ද මේ සිද්ධ වෙන්නේ?ස්කලී ඇසුවාය.

මම ‍ෆැක්ස් එකකුත් යැව්වා මරණ පරීක්ෂකයාට, මුල්ඩර් කීවේය. මම කිව්වා අපි එනවා කියලා.

එහෙනම්? ස්කලී කීවාය. මේ ගොල්ලන්ට කාර්යාංශය එක්ක මොකක් හරි ප්‍රශ්නයක් වගෙයි?

නෑ මම කිව්වා අපි අනික් මැරිච්ච අයටත් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරමුයි කියලා, මුල්ඩර් පැහැදිලි කළේය.

තවත් කියන්නට දෙයක් තිබුණේ නැත. රැස්ව සිටි ජනකාය එය හඬගා කියන් ලද්දේ මුල්ඩර් හා ස්කලී කුලී රථයෙන් පිටතට පැමිණෙන විටමය.

මේ හලෝ එ‍ෆ්බීඅයි? මැදිවයසේ මිනිසෙක් හඬගෑය. අපේ වැඩ අපි බලාගන්නං!

කවුද ඕගොල්ලන්ට එන්ඩ කිව්වේ? කාන්තාවක් තමන්ට හැකි උපරිම අයුරෙන් හඬ නගා කීවාය. මේ අපේ දරුවෝ, අන්න ඒක මතක තියා ගන්ඩ!

මේ අය ගොඩාක් දුක් විඳලා තියනවා, තවත් කරදර කරන්න එපා, පූජකවරයෙක් කීවේය.


අපරාධ කාරයව උසාවි ගෙන්නලා දඬුවම් දීලයි තියෙන්නේ, ආයෙමත් මේ වළවල් හාරලා පව් දෙන්න එපා! නිළධාරියෙකු මෙන් හොඳින් හැඳ පැළඳ ගත් මිනිසෙක් අවධාරණය කළේය.

මේ කිසිම දෙයකින් වත් මුල්ඩර්ගේ මුවෙහි ඇඳි සිනහව වියුක්ත වූයේ නැත. ඒ සිනහව නම් ස්කලීට ඇතිවී තිබුණි. එය තමා නොදන්නා දෙයක් අ‍ෙනකා දන්නා බව පෙන්වන වර්ගයේ සිනහවක් වූයේය. ස්කලීට අනුව ඒ සිනහව වනාහී ඉල්ලන් කන වර්ගයේ සිනහවක් විය.

පොළිස් නිළධාරියෙකු විසින් තම මඟ අවහිර කරත්දී පවා මුල්ඩර්ගේ මුවෙහි එම සිනහව වූයේය.

ඒජන්ට් මුල්ඩර්, නිළධාරියා කීවේය. මේ ලියකියවිලි ඔබට. බෙ‍ෙලෆ්ලුයර් ජනතාව ඔබගේ පියවරට විරුද්ධව ගත්ත උසාවි නියෝගය.

ලියකියවිලි අතට ගත් මුල්ඩර්, ඒවා උඩින් පල්ලෙන් බලා දෙවුර ගැස්සීය.

පොඩ්ඩක් ඉන්න මම මරණ පරීක්ෂක වරයා හමුවෙලා එන්නම්, ඔහු ස්කලීට කීවේය.

බොහොම ස්තූතියි, පිටුපා ගොඩනැඟිල්ල තුළට යන මුල්ඩර්ට ඇය කීවාය. ජනකායට සවන් දීම සඳහා ස්කලීව නතර කර තිබිණ. සත්කාරක කණ්ඩායමක ක්‍රීඩකයකුට රතු කාඩ්පත් එසවූ විනිසුරුවරයකුගේ තත්වයට ස්කලී පත්ව තිබුණි.

මරණ පරීක්ෂක වරයා හා මුල්ඩර්ගේ හමුව එතරම් ප්‍රතිඑලදායක එකක් වූයේ නැත. ආවේගාත්මක නොවූ නමුදු එය කිසිසේත්ම මිත්‍රශීලී එකක් වූයේ නම් නැත.

ටෘයිට් මහතා? මුල්ඩර් විමසුවේය.

ඔව් මහත්මයා. ඒ මම තමයි, මරණ පරීක්ෂක වරයා කීවේය. ඔහුගේ කටහඬ උදාසීන බවක් පළකළ අතර, ඔහුගේ දෑසද ඊට නොදෙවෙනි වූයේය. එය එසේම ඔහු දෙපසින් සිටි සහායකයෝ ‍දෙදෙනද ඔහු අනුව යමින් උදාසීන අයුරින් මුල්ඩර් දෙස බැලුවෝය.

මම එෆ්බීඅයි විශේෂ නියෝජිත මුල්ඩර්, මුල්ඩර් පැවසුවේය. මතකද මම දුරකථනයෙන් කතා කළා? කොච්චර ඉක්මනට අපිට මේ වැඩේ පටන් ගන්න පුළුවන්ද?

ආ ඔව්, ඒත් මේ උසාවි නියෝග නිසා ඇත්තටම අපිට කිසිම දෙයක් කරන්න බෑ, මොල් ගසක් ගිලූ පිඹුරෙකුගේ නියාව පළකරමින් ටෘයිට් කීවේය.

මරු, මුල්ඩර්ට කියවුනි. කමක් නෑ මට යන්න ඕනි කාය විච්ඡේදන කාමරයට. කවුරුහරි ඉන්නවද විද්‍යාගාරයේ වැඩකරන?

මහත්මයාට මේක තේරිලා නෑ වගෙයි, ටෘයිට් කීය. මේක පුංචි නගරයක් වෙන්න පුළුවන්. ඒත් අපී නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. ඔබතුමාට උදව්වක් කරන්න තිබුණා නම් හොඳයි. ඒත් බැරි එකයි මෙතන ප්‍රශ්නෙ.

ඒක නම් හොඳ ප්‍රවෘත්තියක්. මුල්ඩර් උපහාසය මුසුව කීවේය. මට පොඩි දෙයක් කියනවද? අපි ආවේ නඩු තුනක පරීක්ෂණ කරන්න. ඒත් මෙතන උසාවි නියෝග තියෙන්නේ දෙකකට විතරයි. එකකට නෑ එහෙම නේද?

ටෘයිට් පිළිතුරක් දුන්නේ නැත.

මම එ‍ෆ්බීඅයි. මුල්ඩර් මතක් කළේය. මම පෙනීසිටින්නේ නීතිය වෙනුවෙන්.

ආ ඒ ඇවිල්ලා රේ සෝමෙස්, නොරිස්සුම් ස්වරයකින් ටෘයිට් කීවේය.

හොඳයි, මොකද එයාගෙ පවුලේ අය උසාවි නියෝගයක් ගත්තේ නැත්තේ එයාගේ මළසිරුරේ පශ්චාත් පරීක්ෂණයට විරුද්ධව? මුල්ඩර් ඇසුවේය.

අවුරුදු තුනකට ඉස්සෙල්ලා රේ සෝමෙස්ගේ පවුලේ අය අතුරුදහන් වුනා, ටෘයිට් කීවේය.

අතුරුදහන් වුනා? නිකම්ම? මුල්ඩර් ඇසූ නමුත් තමාට දැනගැනීමට අවශ්‍ය කරන සියල්ලම වාගේ ටෘයිට්ගේ මුවින් පිටතට ගැනීමට මුල්ඩර් සමත් වී තිබුණි. කාර්යය ආරම්භ කිරීමට හෝඩුවාවක් ලෙස නමක් ඔහුට ලැබී තිබුණි. රේ සෝමෙස්. ඔවුනට සුභපතමින් සමුදුන් නමුදු ටෘයිට් වත් ඔහුගේ සහායකයින් වත් එයට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මේ මිනිස්සුන්ගෙන් කරදරයක් වුනාද? ස්කලී වෙත පැමිණි මුල්ඩර් ඇසුවේය.

අපෝ නෑ පෙනහ‍ලු පුරවලා ලොකු සද්දෙන් ආගන්තුක සත්කාර කළා, ස්කලී උපහාසාත්මකව කීවාය. මෙහෙම එකපාරටම නගරයකට කඩාවදින එක හොඳද මං අහන්නේ?

මගේ ශෛලිය ඔයාට කරදරයක්ද? කාරය වෙත පියනඟමින් මුල්ඩර් ශාන්තව ඇසුවේය.

අපි මෙහෙ ආවේ මිනීමැරුමක් විය හැකි යමක් ගැන පර්යේෂණ කරන්න, ස්කලී කීවාය. මේ විදිහට කොහොමද මෙහෙ මිනිස්සුන්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ?

මුල්ඩර්ගේ ඒකාකාරී සිනහව නැවතත් ඔහුගේ මුහුණේ ඇඳී ගියේය. ස්කලී ඔයා මොනවද බලාපොරොත්තු වුනේ? ඔහු ඇසුවේය. තොරණ් ගහලා අපිව පිළිගනී කියලද? එෆ්බීඅයි එක ඔයා අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරලා මේ ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරි වුනා. ඔයා මගේ ක්‍රම වලට කැමති නැත්නම් ඔයාගේ වාර්තා ඔයාට ඕනි විදිහට මට බැනලා ලිව්වට කමක් නෑ. ඔයා ඇවිල්ලා තියෙන්නෙත් ඒකටනේ?

මම ආවේ ඔයාගේ කරන වැඩේට උදව් කරන්න, ස්කලී කියා දැමුවාය.

ඇත්තට? තම ඇහිබැම ඉහළ යවමින් මුල්ඩර් ඇසුවේය. අවංකවම?

එයට හොඳ පිළිතුරක් දීමට පෙර විශාල සිරුරක් ඇති රතු පැහැති මුහුණක් සහිත මිනිසෙක් ඔවුන් අතරට කඩා වැදුනේය.

තමුසෙලා මෙහේ කාත් එක්ක හැප්පෙනවා කියලද හිතාගෙන ඉන්නේ? ඔහු කෝපයෙන් ඇසුවේය.

ඒක හරියටම කියන්න බෑ, මුල්ඩර් කීය. ඔය මහත්තයා කවුද?

දොස්තර ජේ නෙම්මන්, මිනිසා කීවේය.

ආ... මෙහෙ වෛද්‍ය පරීක්ෂක තුමා, මුල්ඩර් පැවසුවේය. මුල්ඩර් මෙම සිදුවීම් වලට අදාල සියළුම දේ පාහේ මැනැවින් අධ්‍යයනය කර ඇති බව නම් ස්කලීට පිළිගත යුතුව තිබිණ.

අන්න හරි, නෙම්මන් කෝපයෙන් සුස්මීය. තමුසෙලා කියන්න යන්නේ මම මේ මරණ පරීක්ෂණ වල මොනවා හරි අතපසු කළා කියලා?

නෑ මහත්මයා, මුල්ඩර් ස්ථිර ලෙස පැවසුවේය. අපි කරන්න යන්නේ වෙනම විභාගයක්. කාගෙවත් පරීක්ෂණ වලට රිංගන්න බලාපොරොත්තුවක් නෑ.

හොඳයි, නෙම්මන් සැක සහිතව පැවසීය. මතක තියාගන්න, ඔය මළ සිරුරු වල කරන මොන පරීක්ෂණයක් වුණත් කරන්නේ මමයි. මේක මට අයිති ප්‍රදේශය.

මොකද ඔබතුමා අන්තිම පරීක්ෂණය කළේ නැත්තේ? කේරන් ස්වෙන්සන්? මුල්ඩර් ඇසුවේය.

මම නිවාඩු ගිහිල්ලා හිටියේ- නෙම්මන් විස්තර කරන්නට පටන් ගත්තේය.

මට කණගාටුයි, මුල්ඩර් ස්ථිර ස්වරයකින් කීවේය. එත් මේක දැන් ‍කාර්යාංශයේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දොස්තර ස්කලී මේ සම්බන්ධ සියළුම පශ්චාත් මරණ පරීක්ෂණ කරයි.

මේ අහනවා, නෙම්මන් ගෙරෙව්වේය. තමුසෙලා මේ ළමයින්ගේ දෙමවුපියන්ට ආයෙමත් දුකක් දුන්නොත්- මුල්ඩර්ව කුලී රථයට තදින් තල්ලුකරමින් හරක් ගාතයක් මෙන් විශාල ඔහුගේ අත මිට මෙළවූයේය.

මුල්ඩර් කරාටේ වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම දන්නේ දැයි ස්කලී දැන නොසිටි නමුත් ඇය නම් කරාටේ මැනැවින් දැන සිටියාය. වහා පියවරක් ගැනීමට ඇය සිතූ නමුදු.

තාත්තේ ඔය ඇති! තරුණියකගේ කටහඬක් ආයාචනය කළේය. අනේ! දැන් ගෙදර යමු!

කටහඬ පැමිණියේ මාර්ගයේ පහළින් තවතා තිබුණු මෝටර් රථයකිනි. අවුල් වුනු හිසකෙස් සහිත සුදුමැළි මුහුණක් ඇති යෞවනියක් එහි ඉදිරි ආසනයේ සිටියාය. ඇයගේ කටහ‍ෙඩෙහි ගැබ්ව තිබූ භීතිය ඇයගේ දෑසෙහිද අරක්ගත්තාක් මෙන් ඒවා අඳුරු වී තිබිණි.

මුල්ඩර් හට ඔරවමින්ම දොස්තර නෙම්මන් තම මෝටර් රථය වෙතට ගියේ එය පණ ගන්වා පිඹගෙනම ගියේය.

හොඳ මනුස්සයා, මුල්ඩර් කීවේය. ලස්සන පාට දූ සිඟිත්ත නේද?

මුල්ඩර් කුලී රථයේ දොර හැර එනවද සුසාන භූමියට යන්න? ස්කලී ගෙන් ඇසුවේය.

අනිවාර්යයෙන්ම, ස්කලී කීවාය. නැත්නම් අපිට අපේ මිනී වළවල් තමයි හාරන්න වෙන්නේ.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)





පසුදින උදෑසන ස්කලී සිටියේ ඔරිගන් බලා පියාසර කරන බෝයිං 747 යානයක් තුළය. ඇය සිටියේ යානය මැදට වන්නට පිහිටි ආසනයකය. ඇයට පසෙකින් මුල්ඩර් ආසන සතරක් මත සුව නින්දේ පසුවිය.

ස්කලීගේ වෝකමනය තුළින් ගැමි සංගීතයක් වාදනය වෙමින් තිබුණි. බර ලිපිගොනුවක් ඇයගේ උකුළ මත්තෙහි විය.  නමුත් ඇය සංගීතය ශ්‍රවණය හෝ ලිපි ගොනුව කියවීම කළේ නැත. සංගීතය ඇය නිතර අසා ඇත. ලිපිගොනුව ඇය කළින්ම කියවා ධාරණය කරගෙන තිබුණි. ඒවායෙහි තිබුණේ බෙලෙෆ්ලුයර් උසස් පාසලේ 89 වසරේ කණ්ඩායමේ අධ්‍යාපනය ලැබූ හතර දෙනෙකුගේ අභිරහස් මරණයන් පිළිබඳවය. ඇය ඒවා ගැන පසුව කල්පනා කරනු ඇත. දැනට ඇය කල්පනා කරමින් සිටියේ පෙරදින රාත්‍රියේ හමුවීමට අපේක්ෂා කළ ඇයගේ පෙම්වතා වන ඊතන් මිනෙට් ගැනය.

ඔවුන් දෙදෙනාගේ හමුවීම ඇය විසින් බිඳ දැමීම ගැන ඊතන් එතරම් සැළකුවේ නැත. ඔහු එසේ සළකන්නේ නැති බව ඇය කළින්ම දැන සිටියාය. ඇයට කළ යුතුව තිබුණේ තමාට හදිසි වැඩක් යෙදී ඇති බව ඔහුට දැනුම් දීම පමණි. ඔහුත් එවැනිම ආකාරයෙන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔහු බොහෙ‍ාමයක් එසේ කර ඇත. දෙදෙනාටම රාජකාරිය හරස් වූ අවස්ථාවන්-විශේෂයෙන්ම ඊතන්ට එමට ඇත.

තමා මුල්ඩර් ගැන කළින් අසා ඇත්තාක් මෙන් මතක බව ඔහු පවසා තිබුණි. වසරකට පෙරාතුව අයෝවාහි කොන්ග්‍රස් සභිකයකුට භූත මුල්ඩර් විසින් යෝජනා කර තිබුණේ පිටසක්වළ ජීවීන් ගැන කරන පර්යේෂණ සඳහා අරමුදල් ලබාදෙන ලෙසය. එය රාජ්‍ය මට්ටමේ විහිළුවක් බවට පත්විය. එවැනි තොරතුරු ගැන ඊතන් හොඳින් දැන සිටියේය. ඔහුගේ රැකියාව වූයේ ‍තමාගේ ලොක්කාට අවශ්‍ය ආකාරයෙන් ඡන්දය ලබාගැනීම සඳහා කොන්ග්‍රස් සභිකයන් නම්මා ගැනීම වූයේය. රැකියාවට හොඳ වැටුපක් ගෙවීය. ඊතන් එනිසා දිවා රෑ වැඩ කළේය. නිදහසක් ලැබුණු විටෙක ස්කලීද නිදහස් නම් ඔහු ස්කලී හා එක් වූයේය. ඔවුහු අර්ධකාලීන පෙම්වතුන් වූහ. පූර්ණකාලීන වෘත්තිකයන් වූහ. ස්කලීට නම්, මුකුත්ම නැතිවාට වඩා, යන විදිහ හොඳ එකක් විය.

ඊතන් ගැන සිතීම නතර කිරීම, ඔහුගේ දර්ශනය හිතින් ඈත් කිරීම අමාරු වූවක් නොවීය. නමුත් ඒජන්ට් ජෝනස් සමඟ අවසන් වරට කළ සාකච්ඡාව මතක් නොකර සිටීම ඇයට කළ නොහැක්කක් විය.

මුල්ඩර්ගේ කාර්යාලයෙන් පිටවූ පසු, ස්කලී, ජෝන්ස්ගෙන් මෙසේ ඇසුවාය, මොකද ඒ ගොල්ලන්ට මුල්ඩර්ව ඔච්චර වටින්නේ?

ඒ ගොල්ලන්ගේ එක එක හේතු, ජෝන්ස් පැවසුවේය.

එහෙනම් ඇයි ඒගෙ‍ාල්ලො මාවම තේරුවේ? ස්කලී ඇසුවාය.

ඇත්තටම මමයි ඔබව තේරුවේ, ජෝන්ස් පැවසුවේය.

හොඳයි, ඇයි ඔබ මාව තේරුවේ? ස්කලී ඇසුවාය.

මම දැනගෙන හිටියා ඔයා සාධාරණ විදිහට හිතන කෙනෙක් බව, ජෝන්ස් පැවසුවේය.

ඊට වැඩි යමක් ජෝන්ස් පැවසුවේ නැත. නමුත් ඇය ස්කළී දෙස බැලූ ආකාරයෙන් ඇයට බොහෝ දේ තේරුම් කර ගැනීමට හැකි විය. කාර්යාංශයට ඇය විසින් ළඟඳීම සුභ ආරංචියක් ලබාදෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බව ඒ බැල්මෙහි ලියවී තිබුණේය. එසේම කාර්යාංශයේ ඉහළ නිළධාරීන්ට වඩා වෙනස් ආකාරයෙන් මුල්ඩර් ගැන තක්සේරු කරන බවද එහි ලියැවී තිබුණේය.

ස්කලී, මුල්ඩර් දෙස පැත්තකින් බැලුවාය. නිදාසිටින විට නම් ඔහු අහිංසක දරුවෙකුගේ ස්වාභාවය ගත්තේය. ඔහු, ප්‍රශ්න ඇතිකරගැනීමට සමතෙක්ද? නැතිනම් ප්‍රශ්නකාරී පිස්සෙක්ද? ඇ‍යට ඒවා තේරුම් ගැනීමට නම් මඳක් ඉවසා සිටීමට සිදුවනු ඇත. 

එක්වරම ආසන පටි ආලෝක සංඥා පත්තු වන්නට වූයේය.

යානයේ නියමුවාගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නැඟී ආවේය. කරුණාකරලා මගීන් සියළු දෙනා ආසන පටි පැළඳගන්න. අපි යානය ගොඩබස්සන්න යනවා -

ඔහුට කියන්නට හැකි වුනේ එපමණකි. යානයේ ඇතිවූ ගැස්සීමත් සමඟ ඔහුගේ හඬ මඟ නැවතුනි. දැවැන්ත අයෝමය හස්තයකින් පහර‍දුන්නාක් මෙන් යානය දෙදරන්නට වූයේය. ඉහළ රඳවා තිබුණු ගමන් මලු, ඝට්ටණය නිසා බිම වැටී විවෘත විය. එක්වරම සියළුම ආලොක බුබුළු නිවී ගියේ යානයේ එන්ජිනයේ ශබ්දය නතර වන්න‍ාත් සමඟය. මඟීන්ගේ කැගැසීම් හා විලාපයන් තවත් වැඩිවන්නට වූයේ යානය බිමට ඇල වන්නාත් සමඟය.

ධෛර්යය ගන්න, ස්කලී තමාටම කියා ගත්තාය. පහළ බැලූ ඇයට තම දෑත් විසින් ආසන ඇන්ද අයෝමය ‍ෙලස ග්‍රහණය කරගෙන ඇති අයුරු පෙණුනි.

එක්වරම ආලෝක බුබුළු දැල්වුනේය. එන්ජිනයද පුරුදු ගෙරවීම ආරම්භ කළේය. සතුටු සිනහවක් මු‍ෙවහි රඳවාගෙන දෑස් නිදිගැට කඩමින් ඇහැරෙන මුල්ඩර්ව ස්කලී දුටුවේ එවේලෙහිය.

මේක වෙන්න ඇති තැන, ඔහු කීවේය.     


කුලී රථයේ යතුර, ස්කලී අතට දෙමින් මුල්ඩර් නැවත ඔහුගේ සිනහව පෑවේය.

ප්ලේන් එකේ ආව වගේ තමා මම එ‍ෙලව්වොත්, ඔහු ඇයට කීවේය, ඔයා මොන විදිහෙන් වත් කැමති වෙන එකක් නෑ මම එළවන විදිහට.

ස්කලී මුවින් නොබැන සුක්කානම අතට ගෙන රිය පණගැන්වූවාය. ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය දිගේ පිටතට පැමිණි රථය බ්ලැක්පොට් අධිවේගී මාර්ගයට අවතීර්ණ වූයේය.

ඇයට පැත්තකින් සිටි මුල්ඩර් තරමක් විශාල අව්කණ්නාඩි යුගයලක් පැළඳ ගත්තේය. මෝටර් රථයේ ගුවන්විදුලි සංඥා එහා මෙහා කරමින් තමා ප්‍රිය කරන වර්ගයේ නාලිකාවක් හසු කරගත් ඔහු සුදුපාට පාර්සලයක් ඇයට පෑවේය.

සූර්කාන්ත ඇට... කනවද? ඔහු ඇසුවේය.

එපා, ස්කලී කීවාය. එලවන කොට මම ඕවා කන්නේ නෑ.

මේවා මාර ගති. මුල්ඩර් විරිත්තමින් කීවේය. ගණන් ගන්ඩ එපා.

මම අර ලිපිගොනු කියෙව්වා, මාර්ගය වෙත දෑස යොමා ගෙනම ස්කලී කීවාය. එ‍ෆ් බී අයි මේ ගැන කලින් පරීක්ෂණ කරලා තියෙන බවක් ඔබ මට කිව්වේ නැහැනේ.

එෆ් බී අයි පළවෙනි මරණ තුන ගැන නම් පරීක්ෂණ කළා, මුල්ඩර් ඇයව දැනුවත් කළේය. අන්තිමට සාක්ෂි නැති බව කියලා ඔවුන් පර්යේෂණය අත්හිටෙව්වා.

අව්කණ්නාඩි නිසා මුල්ඩර්ගේ දෑස ස්කලීට නොපෙනුනත් ඒවා රැළිගැන්වුනු බව නම් ඇයට මොනවට හැඟී ගියේය.

ඔබ ඇත්තටම විශ්වාස කරනවා මේ තරුණියගේ මරණයත් ඇයගේ පන්ති සගයින්ගේ මරණයත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා, ස්කලී පැවසුවාය.

ඒක හේතු සහගත අනුමාන කිරීමක්, මුල්ඩර් කීවේය.  එකම වෙනසකට තියෙන්නේ මේ ගෑණු ළමයාට තමයි අර අමුතු සළකුණුයි අනික් හඳුනා නොගත් ද්‍රව්‍යයයි දෙකම තිබූණේ.

ගුවන් යානයේදී ඇය කියවූ ලිපිගොනු මතක් කරමින් ස්කලී හිස සැලුවාය. ඒ වගේමයි මේ ළමයව කායවිච්ඡේදනය කරලා තිබුණේ වෙනත් පරීක්ෂකයකු විසින්.

මුල්ඩර්ගේ දෑස් දීප්තියෙන් පිරී ගියේය. නියමයි ස්කලී. මම හිතුවට වඩා ඔයා හොඳයි වගේ.

බලාපොරොත්තු උනාට වඩා හොඳයි. එහෙමද?

විද්‍යාවේ සීමාසහිත භාවය විසින් නිතරම වාගේ සීමාසහිත විද්‍යාඥයින් නිර්මාණය කරනු ලබයි. මුල්ඩර් පිළිතුරු දුන්නේය.

මම හිතනවා ඒ වචන ඔයා කන සූර්යකාන්ත ඇට වගේ රසවත් ඇති නේද? ස්කලී ක්ෂණිකව පැවසුවාය.

නමුත් මුල්ඩර් සිටියේ වෙන සිහියකිනි. ඔහු රේඩියෝව වෙතට නැමෙමින් යමක් ශ්‍රවණය කිරීමෙහි උත්සුක වූයේය.

එල්විස්ගේ ගීත ගායනය නැවතී තිබුණි. පහත් ගුම්නාදයක් ඒ වෙනුවට ‍ෙර්ඩියෝවෙන් ඇසෙමින් පැවතින. දෙකන් කීරි ගස්සන එවැනි ශබ්දයක් ස්කලී මින් පෙර අසා තිබුණේ නැත.

කාර් එක නවත්වන්න! මුල්ඩර් කීය. නවත්වන්න!

ස්කලී කෙතරම් තදින් තිරිංග පෑගුවේද යත් ට්‍රන්ක පෙට්ටි පවා ඇරී විවෘත වුණි.

ක්ෂණයකින් පිටතට පැමිණි මුල්ඩර්, ට්‍රන්ක පෙට්ටිය අවුස්සා යමක් ඉන් ඇද ගත් අතර, ස්කලීට කළ හැකිවූයේ සියල්ල ‍ෙදස මුව අයා බලා සිටීම පමණි.

මුල්ඩර්ගේ අතෙහි තීන්ත විදිනයක් වූයේය.

තැඹිලි පැහැති තීන්ත විදිනයක් වූයේය.

මහාමාර්ගයේ යාර දහයක් පමණ පසුපසට ඇවිදගෙන ගිය මුල්ඩර්, තාර මතුයෙහි විශාල එක්ස් අකුරක් තැඹිලි පැහැයෙන් ඇන්දේය.


මොන විකාරයක්ද ඔයා මේ කරන්නේ? කාරය තුළට මුල්ඩර් පැමිණි පසු ස්කලී ඇසුවාය.

මුකුත් නෑ, දෙවුර ගස්සමින් මුල්ඩර් පැවසුවේය. ඉන් පසුව ස්කලී දෙස බැලූ ඔහු කිව්වත් ඔයාට තේරෙන්නෙ නෑ, නැද්ද? පැවසීය.

ස්කලී එයට නම් එකඟ වූවාය.

ඒකාන්තයෙන්ම ඇය වටා සිදුවන දේ වල තේරුම ඇය දැනගෙන සිටියේ නැත. මුල්ඩර්ගේ හිස් ගෙඩිය තුළ ඇත්තේ කුමන අදහස් දැයි ඇයට නිනව්වක් නොම වීය. ඒ එසේම මේ යන ගමනේ අවසන කුමනාකාර දෙයකට මුහුණ දීමට ඔවුනට සිදුවේදැයි ඇයට කිසියම් හෝ ඉඟියක් නොම වීය.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)