පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!


ස්කලී, මේක තමයි කතන්දර හෝරාව, එෆ්බීඅයි නියෝජිත ෆොක්ස් මොල්ඩර් කීවේය. එන්න මගේ කාර්යාලයට.

අන්න එහෙමලු මකුළුවා තම ගොදුරට කියන්නෙත්, එෆ්බී අයි නියෝජිත ඩානා ස්කලී පිළිතුරු දුන්නාය. ඇය තමා අනුභව කරමින් සිටි ඩෝනටයේ අවසන් කැබැල්ලට ආයුබෝවන් කියමින් තම කෝපි කෝප්පයේ අවසන් බිඳුව පානය කළාය. ඉන්පසුව ඇය එෆ්බීඅයි මූලස්ථාන පාදමේ වූ ආපන ශාලාවෙන් ඉවතට පැමිණ මොල්ඩර් ගේ කාර්යාලය වෙත වූ දිගු කොරිඩෝරය හරහා ඔහු සමඟ ඒ වෙතට පියමැන්නාය.

ස්කලී සූදානම් ශරීරයකින් සිටියාය. මොල්ඩර්ගේ දෑසෙහිවූ දීප්තිය ඇය හඳුනා ගෙන තිබුණි. ඔහු කැමති වර්ගයේ පරීක්ෂණයක් නිසැකවම ඔහු ඇස ගැටී ඇත. එක්ස් නාම මාත්‍රයෙන් හඳුන්වන අභිරහස් ලිපිගොනු අතරට වැටෙන, මොල්ඩර් හැර, කාර්යාංශයේ වෙන කිසිවෙකු ස්පර්ශ කිරීමට අකැමැති වෙන වර්ගයේ පරීක්ෂණයක් ඔහු ඇස ගැටී ඇත.

එක්ස් ලිපිගොනු වල ඇත්තේ එෆ්බීඅයි මුළාදෑනීන් විසින් අමුතු, අද්භූත, ගුප්ත, කෙටියෙන්ම කිවහොත් පිස්සු විකාර යනුවෙන් හඳුන්වන වර්ගයට අයත් පරීක්ෂණ වාර්තාය. ඔවුන් වඩාත් කැමති මෙම ලිපිගොනු සියල්ල අගුළු දමා යතුර පවා වීසි කිරීමට වුවත්, මොල්ඩර් එයට ඉඩ නොදී මේවා අධ්‍යයනය කරමින් සිටී.

නමුත් එෆ්බීඅයි ප්‍රධානීන්ට මෙය හිසරදයක් වී තිබුණි. වඩාත්ම එය කරදර දෙන්නක් වූයේ මොල්ඩර් වැනි අතිදක්ෂයෙකු නැතිකර ගැනීමට ඔවුනට කොහෙත්ම වුවමනා නොවූ නිසාය. ඔවුන් එයට කදිම විසඳුමක් සොයා ගත්තේ ස්කලී ඔහුගේ සහායිකාව කිරීමෙනි.

ස්කලී ඒ සඳහා මනාව සුදුසුකම් සපුරා තිබුණි. ඇය වෛද්‍යවරියක් පමණකුදු නොව විද්‍යාඥියක්ද වූවාය. ඇයට මොල්ඩර්ගේ මතිමත්‍රාන්ත්‍රයන් වන පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ ආදිය ගැන කරුණු විශ්ලේෂණය කිරීමට තරම් මනා දැනුමක් හා දක්ෂතාවයක් පිහිටා තිබුණි. එසේම, පොළවේ පය ගසා ගෙන සිතන්නාවූ ඇයට මොල්ඩර් පීළි පනින සෑම අවස්ථාවකදීම හානි පූර්ණය කරමින් නියම මාර්ගයට මොල්ඩර්ව ගැනීමට හැකියාව ඇතැයි මුළාදෑනීහු විශ්වාස කළහ. ඔවුන් ඇයට කීවේ, මොල්ඩර් තමා ප්‍රිය කරන වර්ගයේ පර්යේෂණයක ගිලී කිමිදී විකාර කරන අවස්ථාවකදී ඔහුව එයින් ඉවතට ගැනීමට කියාය. මේ වනතුරා එම අණ පරිදි ක්‍රියා කිරීමට ඇයට නොහැකි වුනේ මොල්ඩර්ගේ දෘෂ්ටි කෝණයෙන් පරිබාහිරව ඒවා විශ්ලේෂණය කිරීම ඇයට අපහසු කර්තව්‍යයක් වූ නිසාවෙනි.

මේ මොහොතේ ස්කලී සිටියේ මොල්ඩර්ගේ කඩිනම් පියවර හා සමගාමීව ගමන් කරන්නට අපහසු උත්සාහයක් දරමිනි. ඔවුන් ගමන් කරත්දී ඇයගේ ඇස් කොණෙන් ඇයට පෙණුනේ ඔවුන් දෙස හැරි හැරී බලන්නාවූ හිස්ය. මොල්ඩර් හා තමන් මෙවර කුමක් කරන්නට යන්නේද ගැන ඔවුන් අනුමාන කරමින් කතා බහ කරනු ඇති බව ඇය සිතුවාය. ඇය‍ටද එය අනුමාන කිරීම උගහට වූයේ මොල්ඩර් හා වැඩ කරත්දී කුමන ආකාරයේ පරීක්ෂණයක් ඉදිරියට පැමිණේදැයි කිව නොහැකි නිසාවෙනි. කළ හැකි එකම දෙය වනුයේ වෙන දෙයක් බලාගෙන සිටීම පමණක් වූයේය. 

මේක නම් බලන්නම වටින දෙයක්, කාර්යාලයට ඇතුළ් වද්දීම මොල්ඩර් කීවේය. ස්කලී, ඔයත් පුදුම වෙයි මේක දැක්කම.

මොල්ඩර්ගේ කාර්යාලයට ස්කලී කොපමණ වතාවක් පැමිණ සිටියද තවමත් එයට ඇතුල්වද්දී ඇඟ කිළිපොළායන ආකාරය ඇය මෙනෙහි කළාය.

පොළවේ සිට සිවිළිම දක්වා වූ පොත් රාක්කද, ඒවායෙහි අඩුක් කර තිබෙන ලිපිගොනු වලින් නෙරා ආ කහ පැහැ ගැසුණු පුවත්පත් වාර්තාද, සඟරාද, නොයෙකුත් නාමගෝත්‍ර සටහන් කර ඇති මෘදු තැටිද, සෑම වර්ගයකටම අයත් විද්‍යාත්මක කෘති සිට විද්‍යා ප්‍රබන්ධ කතාද එහි වූයේය. තවත් නොයෙකුත් වාර්තා හා ලියවිලි පොළවේ අඩුක් කර තිබුණේය.

ස්කලි වනාහී පිළිවෙලකට වැඩ කරන්නියක් වූව‍ාය. මෙම කාර්යාලය ඇයට දුඃස්වප්නයක ඡායා මාත්‍රයක් ගෙන දුන්නේය. මොල්ඩර් තමාට අවශ්‍ය දෙයක් මෙහි පහසුවෙන් සොයාගන්නේ කෙසේද යන්න ඇයට ප්‍රශ්නයක් වූ නමුත් මොල්ඩර්ට නම් අතැඹුලක් සේ මේ වංකගිරිය හුරුපුරුදු එකක් වූයේය.

මේ මොහොතේ නම් ඔහු තම ඡායාරූප වික්ෂේපණය ක්‍රියාත්මක කර, ප්‍රතිබිම්භ තිරය පහතට අදිමින් සිටියේය.

හොඳට බලන්න මේක දිහා, ඡායාරූපයක් තිරය මත වැටෙන විටම මොල්ඩර් කීවේය. ඡායාරූපය පැත්තක සිට ගන්නා ලද එකක් වූයේය. මඳක් බොඳවී තිබුණද තිස් දෙනෙකුගෙන් පමණ යුත් මිනිසුන් කණ්ඩායමක් එහි දක්නට ලැබුණේය. එළිමහනට සුදුසු ඇඳුම් හැඳගෙන සිටි ඔවුන් බොහෝ දෙනෙකු රැවුල් වවා ගෙන සිටියෝය. බොහෝ දෙනෙකුන් අත පොරෝ තිබුණේය. ඔවුන් ඉදිරියෙන් වූයේ කපා බිම හෙළන ලද දැවැන්ත වෘක්ෂයකි. පසුපසින් ඝන වනාන්තරය දක්නට ලැබිණ.

දැව කම්කරුවෝ, නේද? ස්කලි ඇසුවාය.

ඔව්, ඔබ මේ මොහොතේ සැනසිලි ත්‍යාගයක් ජයග්‍රහණය කරනවා, මොල්ඩර් කීවේය. පළමු තෑග්ගට උත්සාහ කරනවාද?

පිස්සු නැතුව කියන්න මොල්ඩර්, මේ අය කවුද? ස්කලී කීවාය.

වොෂිංටන් වල ගස් කපන කල්ලියක්, මොල්ඩර් කීවේය.

වොෂිංටන්? ස්කලී ඇසුවාය. මම දැනන් හිටියේ නෑනේ වොෂිංටන් වල ගස් තියනවා කියලා කපන්න.

වොෂිංටන් නගරයේ නෙවෙයි ස්කලී, මොල්ඩර් පිළිතුරු දුන්නේය. වොෂිංටන් ජනපදයේ. හොඳයි දැන් කියන්න ඔයා මේකේ ‍වෙන මොනවද දැක්කේ කියලා?

මේ අය හරිම තද පාටයි, ස්කලී කීවාය. මිනිස්සුන්ගෙත් මිනිස්සු, මම හිතන්නේ එහෙම කිවුවොත් තමයි ගැලපෙන්නේ.

බොහොම හොඳයි, මොල්ඩර් කීවේය. ඒකට අමතරව මොනවද දකින්නේ? අමුතු දෙයක්, සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්? තේරුම් කරගන්න බැරි දෙයක්?

ස්කලී එය තුළට ගැඹුරු බැල්මක් හෙළුවාය. මට හිතා ගන්න බෑ, හිස සොළවමින් ඇය කීවාය.

ඔයාට හිතාගන්න බෑ, මොල්ඩර් හිස සළමින් කීවේය. පුදුමේ කියන්නේ එක්සත් වනාන්තර සේවයත් කියන්නේ ඕකම තමයි.

ඒ කියන්නේ? ස්කලී ඇසුවාය. මේ අයට මොනවා හරි වෙලාද?

මොල්ඩර් බොත්තමක් එබුවේය. ඡායාරූපය අතුරුදහන් විය. ඒ අය අතුරුදහන් වෙලා, ඔහු ‍කීවේය.

ඔහු තවත් ඡායාරූපයක් දිස් කළේය. එහි වූයේ මිනිසුන් දෙදෙනෙක් පමණි. ඔවුහු මල් මල් වැටුණු කමීස හැඳ වැරැහැලි වූ නිල් පැහැති කළිසම් හැඳ උස් බූට් සපත්තු පැළඳ සිටියෝය. නොපීරූ කොණ්ඩා හා රැවුල් වලින් යතු වූ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු අශ්වවල්ගාකාර අයුරින් කොණ්ඩය වවා තිබුණු අතර අනෙකා නළල් පටයක් හිසෙහි බැඳගෙන සිටියේය.

මේ ගොල්ලෝ හරියට 1960 විකට ඇඳුම් තරඟයකට යන්න වගේනේ ලෑස්ති වෙලා ඉන්නේ, ස්කලී කීවාය. බෙල් බොටම් විතරයි අඩු.

අඳුනාගන්න ඩග්ලස් ස්පිනී සහ ස්ටීවන් ටීග්, මොල්ඩර් පැවසුවේය. ඒ ගොල්ලෝ ඒ අයව හඳුන්වාගන්නේ ගස් නින්ජා කියලා. කොහොම උනත් ඒ ගොල්ලන් කරන වැඩේට ඒ අය හරි දක්ෂයි.

මොනවද ඒ ගොල්ලෝ කරන්නේ? ස්කලී ඇසුවාය.

දැව කම්කරුවන්ට, ලී මෝල් වලට හානි කරන්න පුළුවන් කියලා ඔවුන්ට හිතෙන හැම දේම. ඒ ගොල්ලන්ගේ ප්‍රියතම වැඩේ තමයි ලී ඉරන කියත් කැඩෙන විදිහට ගස් වල ඇතුළට යකඩ ඇණ බස්සන එක. මොල්ඩර් කීවේය.

පරිසර ත්‍රස්තවාදියෝ, ස්කලී අපහාසාත්මකව කීවාය. එෆ්බීඅයි ඒජන්තවරියක ලෙස ඈ ඔවුන් පිළිබඳව දැන සිටියාය. ඔවුන් වනාහී සොබාදහමට ආදරය කරන්නවුන් ලෙස හඳුන්වාගනිමින් පරිසරය වෙනුවෙන් සටන් වදින්නට ඕනෑම කෙනෙක් සහ ඕනෑම දෙයක් යකාට ගියත් කමක් නැතැයි පරිසරයේ නාමයෙන් ක්‍රියාත්මක වන්නාවූ පිරිසකි. යහපත් දෙයක් කරනවායි කිය කියා කරන්නේම නරක දේවල්මයි. වැඩකට නැති අය!

ටීග් සහ ස්පිනී කියන්නේ ඊටත් අන්ත දෙන්නෙක්, මොල්ඩර් පැවසුවේය. සතිදෙකකට ඉස්සෙල්ලයි ඒ ගොල්ලෝ ගැන අළුත්ම ආරංචියක් අහන්න ලැබුණේ. අර මුලින්ම පෙන්නපු දැව කපන්නෝ කණ්ඩායම ජාතික ඔලිම්පික් වනාන්තරයේ මැද ඉඳන් ගුවන්විදුලි සංඥා වලින් කියලා තියනවා, ටීගුයි ස්පිනීයි දෙන්නා ගස් වලට යකඩ ඇණ බස්සන වගේම ඒ ‍ෙගාල්ලන්නේ ආම්පන්න කඩලා දාන විස්තර වගයක්. සතියකට පස්සේ ගුවන්විදුලි සන්නිවේදන සංඥා අක්‍රීය වෙලා.

හේතුව? ස්කලී ඇසුවාය.

දන්නෑ, මොල්ඩර් කීය. ඒ ලී ඉරන්නන්ව කුළියට ගත්ත සමාගම එක්සත් වනාන්තර සේවයෙන් ඉල්ලා සිටියා මේ ගැන හොයන්න කියලා. වනාන්තර සේවය සතියකට ඉස්සෙල්ලා නිළධාරීන් දෙන්නෙක්ව යැවුවා මේ වෙනකල් ඒ අය ගැනත් ආරංචියක් නෑ.

පේන විදිහට ගස් නින්ජලා ටික සෙල්ලමට නෙවෙයි වගේ මේවා කරන්නේ, ස්කලී කීවාය. ලෙල්‍ලම් වෙන වැඩ වගෙයි මේ අය කරන්නේ.

ඒකම තමයි දැව සමාගමත් වනාන්තර සේවයත් කියන්නේ, මොල්ඩර් කීවේය. ඒ අය ඉල්ලුවා කාර්යාංශයට මැදිහත් වෙන්න කියලා. මම සෑහෙන අමාරුවෙන් මේ පරීක්ෂණය අපිට කරන්න ඉල්ලගත්තේ.

සෑහෙන අමාරුවෙන්? පරිසර විනාශ පරීක්ෂණයක් ඉල්ල ගන්න? ස්කලී ප්‍රශ්නාර්ථයක් සහිතව කීවාය.

ඉන්පසු ඇය මොල්ඩර් විරිත්තනු දුටුවාය. ඇය සූදානම් ශරීරයෙන් සිටියාය.

ඇත්තටම ඔයාට මොකද මේ පරීක්ෂණය ඉල්ල ගන්න හිතුණේ? ඇය ඇසුවාය.

මේ ඡායාරූපය දිහා බලන්න, ඔහු පිළිතුරු දුන්නේය.

අළුත් රූපරාමුවක් තිරයට පැමිණියේය. එහි වූයේ තවත් දැව කපන්නන් පිරිසකි. ඔවුන්ද දැඩි ස්වාභාවයක් පෙන්නුම් කරන්නන් වුවත් ඔවුන් හැඳ සිටියේ පරණ තාලයේ ඇඳුම්ය.




මේක අරගෙන තියෙන්නේ 1934, මොල්ඩර් කීවේය. පරිසර ත්‍රස්තවාදය කියන වචනය හැදෙන්නත් ඉස්සර කාලේ මේ අය WPA කියන රාජ්‍ය ආයතනය වෙනුවෙන් වැඩ කර කර ඉන්දෙද්දී මේ කැළේදීම කිසිම සළකුණක් නැතුව අතුරුදහන් වුණා. එයින් එක්කෙනෙක් වත් ආයේ හම්බ වුනෙත් නෑ අහන්න ලැබුණෙත් නෑ.

ඔයා අනුමාන කරන්නේ එතකොට මේක කාගේ වැඩක් කියලද? ස්කලී ඇසුවාය. සමහරවිට බිග්ෆුට්?

වෙන්න බෑ, මොල්ඩර් හැඟීමකින් තොරව කීවේය. බිග්ෆුට්ට වුනත් මෙච්චර ගොඩක් අතුරුදහන් කරන්න බැරිවෙයි.

ස්කලී සුසුමක් හෙළුවාය. ඇයගේ විහිළුව සඳහා බිග්ෆුට් හැර වෙනත් දෙයක් ආදේශ කිරීමට ඇය දැන සිටිය යුතුව තිබුණි. ඔහුට බිග්ෆුට් යනු විහිළුවක් නොවන බව ඇය දැන සිටියේ නැත.

ස්කලී මේ අහන්න, ඔහු ප්‍රමෝදයෙන් කීවේය. අපි කැළේට පොඩි චාරිකාවක් දැම්මොත් කොහොමද? මම හිතනවා ඔයා පොඩිකාලේ බාලදක්ෂිකාවක් විදිහට ඉන්න ඇති කියලා.

මොල්ඩර්ගේ අනුමානය නිවැරදි එකක් වූයේය. ස්කලී බාලදක්ෂිකාවක් වී සිටියාය. එමෙන්ම ඇය ලබා ගත හැකි සෑම පදක්කමක්ම ලබාගෙන සිටියාය.

නමුත් ඒවා දැන් ඇයට ප්‍රයෝජනවත් නොවනු ඇත. මොල්ඩර්ගේ ප්‍රියතම, එක්ස් ලිපිගොනු  නම් සිතියම් ගත නොකරන ලද දේශ දේශාන්තර වල  කළහැකි දේවල් ඇයගේ බාලදක්ෂිකා පුහුණුවේ වපසරියට අයත් වූයේ නැත...




උදෑසන ඝන මීදුම විසින් වනාන්තරය වසා ගන්නා ලදී.

අළු පැහැති දුමක් තුරු විටප වෙළාගත් සෙයක් දක්වමින් සදාහරිත දැවැන්ත වෘක්ෂයන් අතරේ එය පැතිරී තිබුණි.

පහත් කටු පඳුරු වටා එය සුළියක් ලෙසින් එතෙමින් තිබුණි.

වනයේ පොළව වසා ඇතිරිල්ලක් සේ වූ පයින් ගස් රොඩු කැබැලි මත්තෙහි එය සෙමෙන් පතිත වෙමින් තිබුණි.

නිසල වනය, මරණය සේ ශාන්ත වූයේ එහි වූ එකම ශබ්දය ලෙසින් හුදකළා වූ වෘක්ෂ මණ්ඩකයකුගේ නාදයක් පමණක් ඇසෙන්නට වූයේය.

එය අති පෞරාණික කාලයකට හිමිකම් කියන දර්ශනයක් මවා පෑවේය. විසල් තුරු හිස් ළපටි පැළෑටි සේ පවතින අවධියක, පැසිෆික් වෙරළාසන්න ප්‍රදේශවල ස්වදේශික රතු ඉන්දියානුවන් පමණක් ජීවත් වන කාලයක දර්ශන මාත්‍රයක් හුවා දැක්වීමට එය සමත් වූයේය.

එය වනාහී සුදුපැහැ සම ඇත්තන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වීමට පෙර වූවක් විය. ඔවුහු එය එක්සත් ජනපදයේ කොටසක් බවට පත් කළහ. තම පළමු ජනපතිවරයාගෙන් පසුව ඔහු නමින් නම් කරන ලදහ. එය වොෂිංටන් ජනපදය වූයේය.

1990 වන වර්තමානය වන විට අළුත් අමුත්තන් මේ වනාන්තරයට සංක්‍රමණය වී තිබුණි. වනාන්තරයෙන් බඩවියත පුරවා ගන්නා දැව කම්කරුවන් එහි අරක්ගෙන තිබුණි. ඔවුන් විසින් කපන ලද ගස් නිසා එළි පෙහෙළි වුන තැනක ඔවුහු සිටගෙන සිටියෝය. කපන ලද දැවැන්ත ගස් වල ලී කොටන් ඔවුන් අවට වූයේය.

ඔවුහු තිස් දෙනෙක් එහි සිටියෝය. ඔවුහු සියළු දෙනාම තමන් සතුව ඇති වානේ පොරෝ හා බලගන්වන කියත් මෙන් දැඩි සිත් ඇති යකඩ මිනිසුන් වූහ. ඔවුහු සියළු දෙනාම වනයේ ඇති ඕනෑම අන්තරායකට මුහුණ දීමට හැකි වන සේ පදම් වී සිටියහ.



නමුත් මේ මොහොත වන විට ඔවුහු යම් භීතියකින් සැළෙමින් සිටිනා අයුරක් දක්නට ලැබිණ.

නායකයා යැයි කිව හැකි ජැක් ඩයර් නම් අයෙක් තම ගාම්භීර හඬින් මීදුම පසාරු කරමින් හඬ දුන්නේය. මේක අපි ඔක්කොම මරාවි!

විසල් සිරුරකින් හෙබි බොබ් පර්කින්ස් නම් අයෙක් ඊට පිළිතුරු බැන්දේය. මම කිවුවා අපි මේක දවස් දෙකකට ඉස්සෙල්ලා කපලා ඉවර කරමු කියලා. කෝ ඇහුවද? ඩයර් තමුසේ මට එතකොට මොකක්ද කිව්වේ? මම කිකිළියෙක් වගේ බයයි කියලා. දැන් කවුද එහෙනං කෙකර ගාන්නේ?

ඩයර්, පර්කින්ස් ඉදිරියට පිය මැන්නේය. උහු දෙදෙනා තර්ජනාත්මකව මුහුණට මුහුණ බලාගෙන සිටියහ. ඔවුන්ගේ කැළැල් සහිත අත් මිට මෙළවෙමින් කුළල් කා ගන්නා සංඥාවක් නිකුත් කරමින් තිබිණ.

ඩයර් එක්වරම පසුබැස්සේය. අපි කෙළ ගන්න එකේ තේරුමක් නෑ, ඔහු කීවේය. අපිට හැප්පෙන්න වෙන්නේ වෙන දෙයක් එක්ක. මට පුළුවන් නම් ඒක මගේ මෙන්න මේ අත් දෙකට අහු කර ගන්න, මම- ඔහු තම දෑතින් හිස් අවකාශය බදන්නට උත්සාහ කළේය.

පර්කින්ස් නම් තම කේන්තිය අඩු කරගෙන සිටියේ නැත. වීරයා මැරිලා නෑ එහෙනම්? දවස් දෙකකට ඉස්සෙල්ලා හිටියා වගේමයි.

මේක මොන වගේ දෙයක්ද කියලා දවස් දෙකකට කලින් දැනගෙන හිටියේ නෑනේ පර්කින්ස්, ඩයර් එකෙණෙහිම කීවේය. ඉන්පසුව ඔහු තම හිස දෙපසට වැනුවේය. දැන් වුනත් කවුරුත් දන්නේ නෑනේ.

කවුරු හරි ගිහින් උදව් ඉල්ලගෙන එන්න ඕනි, පර්කින්ස් කීවේය.

ඔහුගේ එම අදහස අනෙක් දැව කපන්නන් අතර කසුකුසුවක් හා එය හෙළා දකින ආකාරයේ සිනහවන්ට ලක් වූයේය.

ඩයර් ඔවුන් වෙනුවෙන් කතා කළේය. එතකොට අපි මොකද කරන්නේ? ඔහු ඇසුවේය. අපි මෙතනට වෙලා උදව් එනකල් බලන් ඉන්න ඕනද?

අපි උත්සාහයක් කරලා බලමු, පර්කින්ස් කියා සිටියේය. අපි කවුරුහරි කෙනෙක් මෙතනින් පිටවෙන්න ඕනි.

ඒ කෙනාට වෙලාවට යන්න බැරි වුනොත්? රෑ වෙන්න ඉස්සෙල්ලා ඒ කෙනාට පාරට වැටෙන්න බැරි වුනොත්? ඊට පස්සේ? ඩයර් ඇසුවේය.

පර්කින්ස් පිළිතුරු දුන්නේ නැත. පිළිතුරු දීමට අවශ්‍යතාවයක්ද නොතිබුණේ රාත්‍රිය උදා වීමෙන් පසුව වනාන්තරයේ නතර වීමෙන් සිදුවන්නා වූ දෙය ඔවුන් සියළු දෙනාම දැන සිටි බැවිනි.

ඩයර් අනෙකුන් දෙසට හැරුණේය. මම කියන්නේ අපි ඔක්කොම මෙතනින් පිටවෙමු. කට්ටි කට්ටි හැදිලා උත්සාහයක් දීලා බලමු.

වාද කිරීමට පර්කින්ස් මුව විවෘත කළේය.

ඔහු යමක් කීමට පෙර, පිරිසේ අයෙක් හඬ දුන්නේය. මේක අපේ අන්තිම අවස්ථාව!

ආයේ නම් මේකේ රෑ නවතින්න බෑ! තවෙකෙක් ගුගුළේය.

තමා හිසට තම අතමය සෙවනැල්ල! මැරියල්ලා නැත්නම් දුවපල්ලා. තුන් වැන්නෙක්ද එකතු වුනේය.

පර්කින්ස් අවසන් වරටත් උත්සාහ කළේය. මේක සියදිවි හානි කර ගැනීමක්! තමුසෙත් ඒක හොඳටම දන්නවනේ ඩයර්!

ඩයර් ඒ වනවිටත් සිටියේ ගස් නැඟීම සඳහා බ‍ඳෙහි පටලවා තිබූ බරැති පටිය මුදා හරිමිනි.

ඔහු වටා උන් අන් අයද එසේ කරමින් සිටියෝය.

තම තමන් මන්දගාමී කරවන කිසිම දෙයක් ඔවුනට අවශ්‍යව තිබුණේ නැත. ඔවුන් සියළු දෙනාම සිටියේ තරඟයකය. වනාන්තරයේ තුරු හිස් වලට උඩින් සෙළවෙන්නාවූ සූර්යයා සමඟ ඔවුහු තරඟයක ‍ෙයදී සිටියෝය. එය, රාත්‍රියට ඉස්සර වීම සඳහා තරඟයක් වූයේය.

...............................................................................................................

 එම දිනයේ සන්ධ්‍යාව වන විට ඩයර් තවමත් දුවමින් සිටියේය. එසේත් නැතහොත් එයට උත්සාහ කරමින් හෝ සිටියේය. ඔහුගේ සිරුරේ පැත්තක් රිදුම් දුන්නේ, කටුවක් තම සිරුරට කිඳා බැස ඇති ආකාරයේ වේදනාවක් දෙමිනි. තම දෙපා මහත් බරක් ලෙස ඔහුට දැනුණි. කටේ කෙළ හිඳී සෑම සුස්මක්ම ආයාසකර එක්ක බවට පත් වූයේ නමුදු අතුපතර තුළින් පෙනී නොපෙනී යන්නාවූ සූර්යාලෝකය ඔහුට උත්තේජනයක් ලබ‍ා දෙන දිරිගැන්වීමක් බවට පත් වී තිබුණි.

අන් අය කොහේ සිටිත්දැයි කියා ඩයර් කල්පනා කළේය. ඔවුන් ඔහුට වඩා බොහෝ දුර ගොස් ඇති බව වටහා ගැනීමට ඔහු ප්‍රමාද වැඩිය. ඔවුන් සියල්ල එකට ගමන් කළා නම් මැනැවයි ඔහුට සිතුණේය. යමෙක් තනිව ගමන් කරත්දී වේගවත් විය හැකි නමුදු ඔහු වඩාත් බියපත් හා අසරණ තත්වයකට පත් වන බව ඩයර්ට තේරුම් ගියේය. ඔහු ජීවිතයේ කවරදාකටත් වඩා මේ මොහොතේ බියපත්ව සිටියේය.

ඕහ්... ඔහුගේ කෑගැසීම නිසල වනය සිසාරා ගියේය.

ඔහු අත්තක පැටළී බිම වැටී සිටියේය. ඔහු මුනින් අතට වැටී සිටි අතර ඔහුගේ පාදය අත්තේ තවමත් පැටළී තිබුණේය. තම වළලුකර බි‍ඳෙන ශබ්දය ඔහුටම ඇසෙන්නාක් මෙන් වූයේය.

දැඩි වේදනාව සඟවා ගන්නට ඔහු උත්සාහ කළේය. තම පාදය අත්තෙන් නිදහස් කරගෙන ඔහු එතනම කෙළින් වී හිඳ ගත්තේය. ඉන්පසු ඔහු තම සපත්තුවේ පටි ලිහා දමා සෙමින් එය ගැලවූයේය.

තත්වය දරුණුයිද? හඬක් ඇසුණේය.

හති අරිමින් පර්කින්ස් ඔහු දෙස බලාගෙන සිටිනවා ඔහු දුටුවේය.

මම හිතන්නේ කැඩිලා, ඩයර් කීවේය.

කමක් නෑ යං, පර්කින්ස් ඔහුට කීවේය. ඔහොමම නැගිට්න්න.

ඩයර් තම වළලුකර අතින් ඇල්ලුවේය. ඔහු වේදනාවෙන් ඇකුළුණි. මම හිතන්නේ නෑ මට පුළුවන් වෙයි කියලා, හෙතෙම කීවේය.

කමක් නෑ යං, මං කිවුවනේ, පර්කින්ස් කීයේය.

ඔහු ඩයර්ගේ උරහිස් යටින් තම දෑත පටලවා වෙර ගෙන ඔහුව එසවූයේය.

අතක් මගේ කරට දාන්න, පර්කින්ස් කීවේය. අපි දෙන්නම එකට යන්න බලමු.

ස්තූතියි, ඩයර් කීවේය. ඒත් ඇයි මෙහෙම කරන්නේ? ඔ‍ෙහ්ට මාව කොහෙත්ම අල්ලන්නේ නෑනේ?

අමතක කරලා දාන්න, පර්කින්ස් කීවේය. අපි දෙන්නා එකිනෙකාට අකමැති වෙන්න ඇති. ඒත් අපි ඔක්කොම මිනිස්සුනේ. මේ වෙලාවේ හැටියට මිනිස්සු එකට ඉන්න ඕනි. 

ඔව්, ඩයර් කීවේය. මට මතකයි මම පොඩි කාලෙදි අහපු බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කිවුව එක දෙයක්. අපි එකිනෙකා එකට සිටිමු. නැත්නම් වෙන වෙනම එල්ලෙමු. අපි එකට හිටියේ නැත්නම් ඉස්සරහට එන දේ සුභදායක වෙන එකක් නෑ.

කතා ඇති අපි දැන් යං, පර්කින්ස් කීවේය. දැනටමත් කළුවර වැටිලා.

ඔවුහු නැවතත් ගමන් ආරම්භ කළහ. නමුත් ඔවුනට වේගයෙන් ගමන් කිරීම අපහසු කාර්යයක්ව තිබිණ. මිනිසුන් දෙදෙනෙකුට පාද තුනක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අංගයක් අහිමි වූ යාන්ත්‍රික උපකරණයක් ගමන් කරන්නේ යම් සේද ඔවුහුද එසේ ගමන් කරන්නට වූහ.

තව හැතැප්ම කීයක් යන්න තියනවද? ඩයර් හති දමමින් ඇසුවේය.

අනේ මන්දා, පර්කින්ස් අමාරුවෙන් පිළිතුරු දුන්නේය. මේ හරියේ හැතැප්ම කණු වත් තිබුණා නම් කියන්න තිබුණා.

ඇහුණද ඒ සද්දේ? ඩයර් ඇසුවේය. ඔහු ගමන් කිරීම නවතා දැම්මේය.

ඈතින් එන කුරුමිණියන්ගේ මෙන් ශබ්දයකට ඔහු ඇහුන්කන් දෙමින් සිටියේය.

කුරුමිණියෝ..., ඔය කුරුමිණියන්ගේ සද්දේ, පර්කින්ස් කීවේය. උන් රෑ වෙන කොට තමයි එළියට එන්නේ.

ඒ කියන්නේ දැන් රෑ වෙලා, නේද? ඩයර් ඇසුවේය. ඔහු ගල් ගැසී සිටියේය. අපිට බේරෙන්න බැරිවෙයි වගේ

කුරුමිණි ශබ්දය තීව්ර වෙමින් ළං ළංව ඇසෙන්නට ගත්තේය.

බෙන්ජමින් කිව්ව දේ බොරු වුනා එහෙනම්, ඩයර් කීවේය. එකට සිටිමු එකට මැරෙමු.

නෑ! පර්කින්ස් හඬගෑවේය. අපි උත්සාහය අත් අරින්න නරකයි!

ඔහු බලෙන්ම වාගේ ඩයර්ව ඉදිරියට ඇදගෙන ගියේය.

කුරුමිණි ශබ්දය ඒ වන විටත් ඔවුන් වට කරමින් ඇසෙමින් තිබුණි. ඔවුන් වටා වූ කැළය දීප්තිමත්ව ආලෝකමත් වෙමින් තිබුණි.

පර්කින්ස් ඉහළ බැලුවේය. තුරුහිස් ඉහළින් වූ අන්ධකාරය පහවී  දීප්තිමත් කොළ පැහැති සුළියක් ආකාර වූ වළාකුළක් දක්නට ලැබිණ. පර්කින්ස් ගේ උරහිස් පහත වැටුණේය. ඔහු ඩයර්ව අත හැරියේය.

ඩයර් එතැනම දණින් වැටී සිටියේය. පහත් වන්නාවූ දීප්තිකර ආලෝකයෙන් ඩයර්ව ආරාක්ෂා කිරීමට ‍මෙන් පර්කින්ස් ඔහු මුවා කරමින් සිටගෙන සිටියේය.



කුරුමිණි ශබ්දය කන් බිහිරි කරවන ආකාරයෙන් වර්ධනය වූයේය.

එය විසින් කැළයේ අවසාන මනුෂ්‍යයාගේ ශබ්දයත් ගිලගත්තේ, ඒ වනාහී පර්කින්ස්ගේ වේදනාත්මක විලාපය වූ‍යේය.  









පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=
(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)





ස්කලී එක් අතකින් ඉටිපන්දම අල්ලා ගෙන මුල්ඩර්ගේ  දොරට තඩිබාන්නට වූවාය.

ස්කලීගේ භීතියට පත් මුහුණ දුටු මුල්ඩර්ගේ දෑස මහත් ලෙස ඇයී ගියේය.

මොකද වුනේ ස්කලී? ඔහු ඇසුවේය. හොල්මනක් වත් දැක්කද?

ස්කලී තමාට හැකි උපරිම අයුරෙන් ශාන්ත වීමට උත්සාහ කළාය. මට පොඩ්ඩක් ඇතුළට එන්න පුළුවන්ද? ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.

මුල්ඩර් පැත්තකට වී ස්කලීට ඇතුළට ඒමට ඉඩ දුන්නේය. මුල්ඩර්ගේ කාමරයද ඉටිපන්දමකින් ආලෝකමත් වී තිබුණි.



ස්කලී ගැඹුරු හුස්මක් ගෙන තම නාන කඩය පහතට දැමුවාය. වෙනත් අවස්ථාවකදී නම් ඇය අපහසුතාවයට පත්වනු නමුත් සිදුවීමේ හැටියට ලැජ්ජාව පසෙකට දැමීමට ඇයට සිදුවී තිබුණි.

අනේක අතට මුල්ඩර් ඇය ගැන උනන්දුවක් නොතිබූ බව ඇය තේරුම් ගෙන තිබුණු අතර මුල්ඩර්ගේ උනන්දුව, සිදුවීම් කෙරෙහි පමණක් බවද ඇය වටහා ගෙන සිටියාය.

ස්කලී හැඳ ගෙන සිටියේ ඇයගේ යට ඇඳුම පමණි. ඇය තම පසුපස මුල්ඩර් දෙසට හරවා වෙව්ලන ඇඟිල්ලක් තම පශ්චාත් ප්‍රදේශයේ පහළ කොටසට දිගු කළාය. තමා ස්නානය කිරීමට යත්දී කණ්නාඩි‍යෙන්  දුටුදෙය මුල්ඩර් හට පෙන්වීම ඇයගේ අභිප්‍රාය වූයේය.

මේ මොනවද? ඇය ඔහුගෙන් ඇසුවාය.

හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා මුල්ඩර් දණ ගසා ගත්තේය.



ඔහුගේ නිශ්ශබ්දතාවය ඉක්මවමින් ඇය තම කටහඩේ තීව්රත්වය වැඩි කළාය.

මුල්ඩර්, මේ මොනවද?

මුල්ඩර් නැඟිට්ටේය. ඔයා අහන්නේ මේ රතු පාට තුවාළ කැළැල් ගැනද? ඔහු ඇසුවේය.



ස්කලී කෑගැසීමට ඔන්න මෙන්න සිටියද එය පාලනය කර ගත්තාය. ඔව් ඒ තුවාළ කැළැල් ගැන තමයි.

සුළු දෙයක් නේ, මුල්ඩර් ඇයට කීවේය. ඔය මදුරුවෝ කාපු ඒවා.

මදුරුවෝ කාලා, කෙළ ගිලිමින් ස්කලී ඇසුවාය.

ඔය වගේ විස්සක් විතර මට තියෙනවා අර කැළෑවේ ගිහින් ආවට පස්සේ. මේ බලන්න, එසේ කියමින් මුල්ඩර් තම කමිසය ගලවන්නට උත්සාහ කළේය.

නෑ කමක් නෑ. මට හිතාගන්න පුළුවන්, ස්කලී කීවාය. කලබලයෙන් මෙන් තම නාන කඩය හැඳගෙන පිටවීමට දොර දෙසට ගියත් ඇයට එය කළ නොහැකිවාක් මෙන් හැඟුණි.

ඇය තුළින් වෙව්ළීමක් දිව ගියේය. පිටතින් වර්ෂාව ඇදහැලෙමින් අකුණු පුපුරත්දී ඇතුළත ඉටිපන්දම් එළි උමතුවෙන් මෙන් නළියද්දී ඇය වෙව්ළමින් එතැනම සිටගෙන සිටියාය. බියනොවී සිටින ලෙස ඇය ඇයටම කියාගත් නමුදු ඇයට බිය වීමට කිසිවක් තිබුණේද නැත.

ඔයා හොඳින්ද? මුල්ඩර් ඇසුවේය.

ඇත්තෙන්ම ඔව්, ස්කලී බොරු කීවාය.

ඒ බව පේනවා මුල්ඩර් කීය.

ඇත්තටම මම හොඳින් තමයි, ස්කලී උදක්ම කියා, ඒත් අද මම මගේ කාමරේ නිදා ගන්නේ නෑ. යි එයට එකතු කළාය.

ඔහ් මුල්ඩර්ට කියවුනි.  මොකෝ බරපතල වැඩක් හෙම යෙදිලා තියනවද?

අපිට කතා කරන්න වෙලාව ඇවිල්ලා මුල්ඩර්, ස්කලී කීවාය. ඔයාට දැන් මට ඇත්ත කියන්න වෙලාව ඇවිල්ලා.

ඇත්ත? මුල්ඩර් ඇසුවේය. මොන ඇත්තද?

ඔයා දන්න ඇත්ත, ස්කලී කීවාය. කොහොමද ඒවා දැනගත්තේ කියන ඇත්ත.

හොඳයි හැබැයි එක කොන්දේසියක්, මුල්ඩර් කීවේය.

මොකක්ද? ස්කලී ඇසුවාය.

ඔයා ඒක අහගෙන ඉන්නවා කියන කොන්දේසිය, මුල්ඩර් පැවසීය.

අදින් පස්සේ මම ඔයා කියන ඕනෑම දෙයකට ඇහුන්කන් දෙන්න සූදානම්, ස්කලී ඔහුට පොරොන්දු වූවාය.

එහෙනම් මෙතනින් ඉඳ ගන්න, මුල්ඩර් ඇයට කීවේය. ඇ‍ෙඳ් හාන්සි වුනා නම් වඩා හොඳයි. මම පුටුවේ ඉඳ ගන්නම්. ඔයාට ගොඩක් දේවල් අහන්නත් ඉගෙන ගන්නත් තියෙනවා. ඔහු ඇයට තම අත දිගු කළේය. කනවද සූරියකාන්ත ඇට?

දෙන්න බලන්න. මුල්ඩර් කියනා දෙයට ඇහුම්කන් දෙමින් ඇය සූරියකාන්ත ඇට සපන්නට වූවාය. ඒවා හොඳ රසයකින් යුක්ත බව ඇයට දැනුණේ මින් පෙර ඒවා රස නොබැලීම පිළිබඳව කණගාටුවක් ඇති කරමිනි.



ඒක සිද්ධ වෙනකොට මට අවුරුදු දොළහයි, මුල්ඩර් කීවේය. මගේ නංගිට අවුරුදු අටයි. අපි නිදා ගත්තේ එකම නිදන කාමරයේ. අපි පුංචි කාලේ ඉඳලා එහෙමයි. ඒත් අපි ඊළඟ මාසේ ඉඳළා කාමර දෙකක ඉන්නයි සැළසුම් කරළා තිබුණේ. නමුත් ඒක කවදාවත් සිද්ධ වුනේ නෑ. මගේ නංගී අතුරුදහන් වුනා. එක රැයකදී එයා හිස් අහසට අතුරුදහන් වුනා.

කොහොමද එහෙම පුංචි දැරිවියක් අතුරුදහන් වෙන්නේ? ස්කලී ඇසුවාය.

කාටවත් ඒක හොයාගන්න පුළුවන් වුනේ නෑ. මුල්ඩර් පවසද්දී ඔහුගේ කටහඬ ඈත අතීතයෙන් නැඟී එන්නාක් මෙන් වූයේය. අතීතයේ තමා දරුවෙක්ව සිටියදී මෙන් බියපත් වූ ව්‍යාකූල ස්වරයක් එයින් ගම්‍ය වන්නට වූයේය. මගේ පවුලට සල්ලි තිබුණා. සම්බන්ධතා තිබුණා. අපි හැමපැත්තෙන්ම වගේ ලොකු පරීක්ෂණ කරා. පොලීසිය, පුද්ගලික රහස් පරීක්ෂකයින්, පත්තර, මේ හැම දෙයක්ම.

ඊට පස්සේ? - ස්කලී ඇසුවාය.

මුකුත් නෑ, මුල්ඩර් කීවේය. ඊට පස්සේ අපිට වන්දි මුදලක් ලැබුණා. අපි අපේ සේසතම වියදම් කරන්න තිබුණා. ඒත් කිසිදෙයක් ලැබුණේ නෑ.

ඇයව කවදාවත් හොයා ගත්තේ නෑ? ස්කලී ඇසුවාය.

ඒ සිද්ධිය නිසා අපේ පවුල කැඩුණා, මුල්ඩර් කීයේය. අපේ හිත් හදාගන්න අවුරුදු ගාණක් ගියා. ඒත ඒක සම්පූර්ණයෙන්ම හරි ගියේ නෑ. ඒක හරියට කවදාවත් හොඳ වෙන්නේ නැති තුවාලයක් වගේ.

ඒක තාමත් ඔයාගේ හිතේ හොල්මන් කරනවා නේද? ස්කලී ඇසුවාය.

ඔව් ඒක එහෙම තමයි, මුල්ඩර් එකඟ වූයේය. මම ඒක අමතක කරන්න උත්සාහ කළා. මම එංගලන්තෙට ගියා වෙන ඉස්කෝලෙකට යන්න. මම හිතුවා ඒකෙන් මට ඒ දේවල් අමතක කරන්න පුළුවන් වෙයි කියලා. ඒත ඒක එහෙම වුනේ නෑ. මට මගේ නංගිව අමතක කරන්න බැරි වුනා. එයාගේ අතුරුදහන් වීම නිසා මම අභිරහස් ගැන හොයන්න පුරුදු වුනා. මුලින්ම මනසේ අභිරහස් දේවල් ගැනත් ඊළඟට අපරාධ වල අභිරහස් දේවල් ගැනත් හොයන්න මම පටන් ගත්තා. මම ඊට පස්සේ එෆ් බී අයි එකට සම්බන්ධ වුනා. මම ඒ ගොල්ලන්ගේ සුපිරි ඒජන්ත වරයා වුනා. මාව ලොකු ලොකු දේවල් වලට සම්බන්ධ කර ගත්තා. මම ඉහළටම ගමන් කරමින් හිටියේ.

ඉතින් මොකද වුනේ? ස්කලී කුහුල් සහගතව ඇසුවාය.

එක දවසක් මට එක්ස් ෆයිල්ස් කියවන්න ලැබුණා, මුල්ඩර් කීවේය. මේ අද්භූත වාර්තා විකාර කියලයි හැමෝම සැළකුවේ.


ඒත් ඔයා එහෙම හිතුවේ නෑ, ස්කලී කීවාය.

මමත් මුළදී එහෙම හිතුවත් පස්සේ පස්සේ මට මේව විශ්වාස නොකර ඉන්න බැරි වුනා. මම හැම වාර්තාවක්ම කියෙවුවා. දහස් ගණන් වාර්තා කියෙවුවා. ඊට පස්සේ මට කියවන්න ලැබුණා අද්භූත සිදුවීම්, ගුප්ත දේවල්, පාරභෞතික සංසිද්ධීන්. අන්තිමේදී මට දැන ගන්න ලැබුණා ගැඹුරු අවරෝහණ මෝහන ක්‍රම පිළිබඳව.

මොකක්ද ඇත්තටම ඒ? ස්කලී හූමිටි තිබ්බාය.

ගැඹුරු අවරෝහණ මෝහන ක්‍රමය මඟින් අපේ මනසේ සැඟවුණු දේවල් නිරාවරණය කරන්න පුළුවන්, මුල්ඩර් පැහැදිලි කළේය. තමන්ට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණු අමතක කරලා තිබුණු දේවල් ඒ මඟින් මතක් කරන්න පුළුවන්. තමන් මතක තියාගන්න බය දේවල් ඒ මඟින් මතක් කරන්න පුළුවන්.

ඔයාට මතක් වුනේ මොනවද? පිළිතුර ආසන්න වශයෙන් අනුමාන කරමින්ම ස්කලී ඇසුවාය.

ස්කලී මං දිහා බලන්න, මුල්ඩර් කීයේය.

ඇදේ කෙළින් වුනු ස්කලී ඔහුගේ දෑස දෙස බැලුවාය.



මම මේක කාර්යාංශයේ කිසිම කෙනෙක්ට කියලා නෑ, මුල්ඩර් කීවේය. මේක ටිකක් පිස්සුවක් වගේ තමයි. මටත් මුලදී මේක විශ්වාස කරන්න ඕන වුනේ නෑ. මම ඔයාව විශ්වාස කරන්නේ ඔයා ටිකක් මං වගේ හිතන නිසයි. ඔයාට ඕනි පිළිතුරු නේද?

ඔව්, ස්කලී කීව‍ාය.

මම විශේෂඥයෙක්ට කියලා මෝහන නිද්‍රාවට වැටුනා, ධ්‍යානයකට සමවැදුනාක් මෙන් සෙමෙන් මුල්ඩර් තම මතකය අවදි කළේය. මම කාලයේ ආපස්සට ගියා. මම මගේ නංගී අතුරුදහන් වුනු රාත්‍රියට ගියා. මම දැක්කා ඇදේ නිදාගෙන හිටපු මං එකපාරටම ඇහැරෙනවා. මම දැක්කා කාමරයෙන් පිටත දීප්තිමත් ආලෝකයක්. මම දැක්කා අඳුරු ඡායාවක් කාමරයට ඇතුල් වෙනවා.

මුල්ඩර්ගේ අත් මිට මෙළවින. ඔහුගේ වදන් වේදනාවෙන් බර වූයේය. මම දැක්කා ළමයෙක්ව හිටි මම බයෙන් ගල්ගැහිලා ඉන්නවා. මට ඇහුණා මගේ නංගී උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒ ගොල්ලෝ ඇයව අරන් ගියා ඒත් ඒක නවත්වන්න මට කිසි දෙයක් කරන්න පුළුවන් වුනේ නෑ මේ අහන්න ස්කලී. මේ දේවල් ඇත්තටම තියෙනවා. මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා ඒත් මම ඒක හොයා ගන්නවා. හොයාගෙන ඒක තවත්වනවා. මට වෙන කිසිම දෙයක් වැදගත් නෑ. මේක තමයි මම මේකට ‍මෙච්චර ළං වෙච්ච හොඳම අවස්ථාව. ඔයා මාව විශ්වාස කළත් නැතත් මට වැඩක් නෑ.

මම ඔයාව විශ්වාස කරනවා, ස්කලී කීවාය.

ඒත් මම ඔයාට අවවාදයක් දෙන්නම්, මුල්ඩර් පැවසීය. මේක හරි භයානකයි. අපි මේකට ළං වෙන්න ළං වෙන්න මේකේ භයානක කම වැඩි වෙනවා.

ඒකත් මම විශ්වාස කරනවා, ස්කලී කීවාය.

ඒක නිසා ඔයා මේකෙන් ඉවත් වුනත් ප්‍රශ්නයක් නෑ, මුල්ඩර් යෝජනා කළේය.

ඉවත් නොවුනත් ප්‍රශ්නයක් නෑ, ස්කලී කීවාය. ඔයාට අමතක වුනාද මට මේවා ගැන වාර්තා කරන්න තියෙනවා කියලා? ඔයාට විතරක් තනියම මේක ඉවර කරන්න බෑ.

දුරකතනය නාද වන්නට වූයේය.

ඔයා එහෙම කියනවනම්, දුරකතනය අමතක කරමින් මුල්ඩර් කීවේය.

ඒක ‍එහෙම තමයි, ස්කලී කීවාය.

දුරකතනය නැවතත් නාද දෙන්නට වූයේය.

මුල්ඩර් එය එසවූයේය.

එයට සවන් දෙන මුල්ඩර්ගේ තොල් තදින් යාවෙනු ස්කලී දුටුවාය.



හරි, ඔහු රිසීවරයට කීවේය. අපි එන්නම්.

ඒක ආයෙමත් සිද්ධ වෙලා. දුරකතනය තබමින් මුල්ඩර් ස්කලීට කීවේය.





පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)