පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 5වන පරිච්ඡේදය


මොල්ඩර් කඳවුර අවට සිසාරා බැල්මක් හෙළුවේය. ඔව්, ඇත්තටම මෙතන මොකක් වෙලාද කියලවත් හරියටම විශ්වාස නෑ, ඔහු කීවේය. කවුරු කළාද කියන එකට වඩා.

ඇත්ත. ඒක හරියට මිනී නැති සොහොනක ඉන්නවා වගේ තමයි, ස්කලී කීවාය. අන්න මුවර් එනවා. සමහරවිට එයා මොනවා හරි හොයාගෙන ඇති.

ඔක්කොම හබක්, වනාන්තර සේවා ඒජන්තවරයා තෙපළේය. කිසිදෙයක් වැඩ කරන්නේ නෑ. මේ ගස් නින්ජලා ටික හොඳ සුද්ධයක් දාලා.

අපිට තාම ඔප්පු කරන්න බෑනේ ඒ අයද මේක කළේ කියලා, මොල්ඩර් කීයේය.

පැහැදිලි සාක්ෂියක් ඕන වෙනවා එහෙම කියන්න නම්, ස්කලීද එකඟ වූවාය.

තව පැයක් එළිය තියනවා ඉර බහින කල්, මුවර් කීවේය. මේ අවට කැළේ සෝදිසියක් දාන්න ඒ වෙලාවේ පුළුවන්. මොකක් හරි හෝඩුවාවක් ලැබෙයි.

හොඳ අදහස, ස්කලී කීවාය. පුළුවන් තරම් ඉක්මනින් මේක හොයාගෙන මෙතනින් පිටවෙන එක ඇඟට ගුණයි. ඇත්තම කිවුවොත් මෙතන හරිම භයානක පාටයි.

භයානක පාටයි? මොල්ඩර් මඳ සිනහවක් සමඟ ඇසුවේය. ශක්තිමත් මිනිස්සු ටිකක් කෑම ටිකත් හරියට කන්නේ නැතුව නිකම්ම අතුරුදහන් වෙච්ච නිසාද? පිස්සු කියවන්න එපා ස්කලී. ඇත්තටම මේකට යම් විද්‍යාත්මක පැහැදිලිකිරීමක් තියෙන්න ඕනි. නේද? ආ මට සමාවෙන්න. ඔයා නේද හරි නම් එහෙම මගෙන් අහන්න ඕනි?

ස්කලී මුහුණ පුළුටු කර ගත්තාය. වරක් ඇය තමන්ට කී දෑ නැවත ඇයට මතක් කිරීමෙන් මොල්ඩර් ආශ්වාදයක් ලැබුවේය. සියළු දෙයටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත. ඇයත් ඔහුත් හමුවූ පළමු හමුවේදීම දෙදෙනා එකට කිසිදු පරීක්ෂණයක් කිරීමට පෙරම ඇයගේ අදහස වූයේ එයයි. ඒ දිගු කාලයකට පෙර වූවක් වුවත් ඇය තවමත් විද්‍යාව නැමැති විශ්වාසයේ එල්ලී සිටියත් ටිකෙන් ටික ඇයගේ ග්‍රහණය, පාරහෞතික කම්පනයන් නිසා ලිහිල් වී යනු ඇයටම තේරුම් යමින් තිබුණි.

අපි බලමු මොල්ඩර්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇයට කිවහැකි වූයේ එවැන්නක් පමණකි. ඇය මාතෘකාව වෙනස් කළාය. මම හිතන්නේ හම්ෆ්‍රීස් අපිව හොයනවා ඇති.

එයා මෙලහකට විදුලිජනක යන්ත්‍රය එක්ක ඔට්ටු වෙනවා ඇති, මුවර් කීවේය. බලමු එයාට ඒක ගොඩගන්න පුළුවන් වෙයිද කියලා. ඔහු කැළය දෙසට හැරුණේය. අපි යං.

ස්කලී හා ‍මොල්ඩර්, මුවර් පසුපස යමින් කැළයට ඇතුළු වූවෝය. එය මන්දගාමී ගමනක් වූයේය. ඉනික්බිති ඔවුන් එළිමහනකට පැමිණියේ සැඳැ අහසට ඔවුනට ඉහළින් පැතිරෙන්නට ඉඩහරිමිනි.

එළිමහන පුරා වූයේ ලී කොටන්ය. ඒවා අළුත් වූ අතර දිගු පයින් ගස් කිහිපයක් ඒවා වැටුණු තැන්වලම තිබෙණු දක්නට ලැබිණ.

මේ මිනිස්සු වැඩට දක්ෂයෝ, මුවර් කීවේය.

මී මැස්සෝ වගේ නේ? මොල්ඩර්ද එකඟ වූයේය. ඉන්පසු ඔහු මඳක් නැවතුනේ එළිමහනේ කෙළවරකට වෙන්නට තිබූ ඉතා උසැති පයින් ගසක් දෙස බලමින් සිටියේය. මී මැස්සෝ ගැන කියද්දි හිතුණේ, මේ පැත්තේ මී මැස්සෝ සෑහෙන්න ඉන්නවා ඇති නේද?

එච්චරම නෑ, මුවර් කීවේය. ඇයි එහෙම ඇහුවේ?

මොල්ඩර් උස් පයින් ගසේ අත්තක් පෙන්නුවේය. එහි විශාල ගෝනි මල්ලක් මෙන් වූ දෙයක් එල්ලෙමින් තිබුණි. නමුත් එහි දුර්වර්ණවූ කෙඳි පටවල් නිපදවා තිබුණේ නම් රෙදි වලින් නොවන බව කිව හැකිව තිබුණේය.

මී වදයක් වෙන්න ඇති, මුවර් කීවේ හිස කසමිනි. එහෙම නැත්නම් සතෙක්ගේ කෝෂයක් වෙන්න ඇති.

මී වදයක්? මොල්ඩර් ඇසුවේය. සතෙක්ගේ කෝෂයක්? මොනවගේ සතෙක්ගේද?

මුවර් තම හිස දෙපැත්තට වැනුවේය. හරියටම කියන්න බෑ. මම මීට ඉස්සර ඔය වගේ එකක් දැකලා නෑ.

මට හිතෙනවා ඒක ඇතුළේ මොකක් හරි තියෙනවා වගේ, ස්කලී කීවාය. පේනවද අර අඳුරු ඡායාව?

මෙතන ඉඳලා කියන්න අමාරුයි, මුවර් කීවේ ඇස් කුඩා කර බලමිනි.

අපි ඒක පරීක්ෂා කරලා බලමු, මොල්ඩර් කීවේය. නැද්ද ස්කලී? ඔයාට ලොකු උනන්දුවක් ඇතිනේ? ඔයානේ විද්‍යාඥවරිය.

ස්කලීට එම අභියෝගයට දෙන්නට තිබූ පිළිතුර වූයේ එකම එකකි. මම කැමතියි, ඇය කීවාය. බලන්නකෝ එහෙනම් මම ඒක කරන විදිහ.

එච්චර අමාරු වෙන එකක් නෑ, මුවර් කීවේය. ඔහු විශාල කඹයක් තම ගමන් මල්ලෙන් පිටතට ගත්තේය. අපිට පුළුවන් පොඩි සෑදලයක හදලා දෙන්න. අර අත්තක් උඩින් කඹය දාලා ඔයාව උඩට අදින්නම්. ඊට පස්සේ අර ගුලිය කපලා බිමට දාන්න. මොල්ඩර් කියන එක හරි. ඔයා තමයි මේකට සුදුසුම කෙනා. බරෙනුත් අඩු නිසා අත්තට දරා ගන්නත් පුළුවන් වෙයි.

ඔව් හැමදාම වගේ මුලින්ම කාන්තාවන්ට නේ අවස්ථාව, ස්කලීද කීවාය. මටත් මේ දඩයම් පිහිය පාවිච්චි කරන්න ඕන වෙලා තිබුණේ. ඇය තමාගේ අළුත්ම අළුත් බඳපටියේ රඳවා තිබූ අළුත්ම අළුත් කොපුවේ වූ අළුත්ම අළුත් දඩයම් පිහියට තට්ටුවක් දමමින් කීවාය.

මුවර්ගේ කඹ ආධාරකය රළු වුවත් ප්‍රයෝජනවත් එකක් වූයේය. එය ස්කලීගේ ඉණ හා කිහිලි වටා එතී තිබුණි. මුවර්ගේ තුන් වන වර උත්සාහයේදී කඹය අත්ත උඩින් ගොස් ඔවුන් අතට පත්වුණි. ඔහු හා මොල්ඩර් එකතුව එය අදිද්දී ස්කලී අහසට එසවෙනු දක්නට ලැබුණේය.

මෙය විනෝදජනක යැයි ඉහළට එසවෙත්දී ස්කලී සිතුවාය. ඇයගේ සිනහව වියැකුණේ ටිකින් ටික කෝෂය වෙතට ඇය ළං වනු දැකීමෙනි. ළං ළං වත්දී එය වඩාත් බිහිසුණු ආකාරයෙන් පෙණෙන්නට වූයේය. එහි කුණුවැකුණු කෙඳි දිස්න දුන්නේ යම් ආකාර උකු සෙවළ වැනි දෙයක් නිසා බවද ඇයට පෙනී ගියේය. එය ඇත්තවශයෙන්ම සතෙකුගේ කෝෂයක් බව පෙනී ගියත් කුමනා ආකාරයක සත්වයෙකු විසින් මෙයාකාර කෝෂයක් නිපදවනු ඇත්දැයි ඇය පුදුමයට පත්වුණාය.

ඔයා ළං වෙලාද? මොල්ඩර් පහත සිට කෑ ගැසුවේය.

තව පොඩ්ඩයි! ස්කලී පිළිතුරු දුන්නාය.

තව එක් ඇදීමකදී ඈ වූයේ ඇයගේ දඩයම් පිහියෙන් කෝෂය ස්පර්ශ කළ හැකි මානයේය. ඇය තම අත තමාට හැකි උපරිමයෙන් දිගුකළාය. කෝෂය, අත්තට සම්බන්ධ වී ඇති තැන සොයා ගැනීමට ඇයට හැකි වුණේය.

ඇයගේ දඩයම් පිහිය රැඳුණු හස්තය එක්වරම ගල්වී ගියේය.

ඇයගේ ආමාශය සෙමෙන් නළියනු ඇයට දැණුනේය.

ඇය කැපූ තැන හිඩසින් යමක් නෙරාවිත් තිබුණේය.

එය මිනිස් අතැඟිලි සහිත අස්ථියක් වූයේය.




මොනවා හරි පේන්න තියනවද? මොල්ඩර් කෑ ගසනු ඇසුණේය.

ඔව්! ස්කලී පෙරළා පිළිතුරු දුන්නාය.

මොනවගේ දෙයක්ද? මොල්ඩර් නැවතත් හඬගා ඇසුවේය.

තව පොඩ්ඩක් ළං කරන්න, ඇය ආයාසයෙන් පිළිතුරු දුන්නාය.

කඹය මඳක් ඇදෙනු ස්කලීට දැණුනි.

ඇය කෝෂයේ විවෘත වූ හිඩැසට තවත් ළං වුණාය.

ඇය අතැඟිලි අස්ථිය හරහා කෝෂය තුළට එබී බැලුවාය.

ඇය වෙත මුහුණට මුහුණලා තිබුණේ හිස් අක්ෂි කුහර දෙකකි. ඇය බලා සිටියේ මිනිස් හිස් කබලක් දෙසය.

මොනවද පේන්නේ? මොල්ඩර් හඬ ගෑවේය.

ඔයාම බලන්න! ස්කලී හඬ ගා පිළිතුරු දුන්නාය. ඇය කෝෂය කපා දැමීම අවසන් කළාය. එය මිනිසුන් දෙදෙනාගේ දෙපා අද්දර පතිත වූයේය.

ස්කලී පහතට ගැනීමට මුවර් හා මොල්ඩර් වැඩි වේලාවක් ගත්තේ නැත. ඉන්පසු ඔවුන් යොමු වූයේ කෝෂය වෙතය. ඒ වන විට ස්කලිද කඹ ආධාරකයෙන් නිදහස් වී සිටියාය. මුවර් විසින් කෝෂය කපා විවෘත කරන ලදී.

දෙවියනේ, ස්කලි ඒ දෙස බලමින් කීවාය.

කෝෂය තුළ වූයේ සිරුරකි. එය මවකගේ කුස තුළ සිටින්නාවූ ළදරුවකුගේ ප්‍රමාණය ගත්තේ වී නමුදු එය කිසිසේත්ම ළදරුවකුගේ බවක් පෙනෙන්නට නොතිබිණ. එය ඇකිළී හැකිළී තිබුණේ මමියක් ආකාරයෙනි. යුෂ උරා හප කරන ලද දොඩම් ගෙඩියක් යම්සේද එවන් වූ ආකාරයක් මෙහි දිස්වුණේය.



නමුත් එයට පණ තිබියදී කුමක් වූයේද? එය සිදුවී කොපමණ කාලයක් ගත් වුණිද?

වැඩ පෙන්නන්න කාලය ඇවිල්ලා ස්කලී, මොල්ඩර් කීවේය. මේක නම් ඔයාට හොඳට ගැලපෙනවා.

ස්කලී දත් සපා ගත්තාය. තමා පුහුණුව ලත් විද්‍යාඥියක් බව ඇය සිහි කැඳවා ගත්තාය. ඇය වෛද්‍ය විද්‍යා උපාධිධාරිණියකි. මෙය තවත් එක් කාර්යයක් පමණි. ඇය බිමට නැමී එය අතින් ස්පර්ශ කළාය.

මේක තදයි. ඒ වගේම වේළිලා, ඈ කීවාය. ඇය තමාගේ කටහඬ මෙන්ම තමාද ශාන්ත වූයේ නම් මැනැවයි ප්‍රාර්ථනා කළාය. මේක හරියට කාලයක් තියාගන්න හදලා වගේ.

එහෙම නැත්නම් එම්බාම් කරලා වගේ, මුවර් අදහසක් දුන්නේය.

ශරීරයේ යුෂ ඔක්කොම ඉවත් වෙලා, ස්කලී ප්‍රකාශ කළාය. හරියට කරවල කරලා වගේ. ඇය තව වරක් මෘත ශරීරය දෙස සමීප බැල්මක් හෙළුවාය. මේක පිරිමි සිරුරක් මම හිතන්නේ.

ඒ අතර මුවර්, කෝෂය පරීක්ෂා කිරීමේ නිරත වූයේය. මම නම් කියන්නේ මේක මකුළුවෙක්ගේ කෝෂයක් කියලා, ඔහු කීවේය. මොකෙක් හරි කෘමියෙක්ගේ කෝෂයක් තමා කොහොම වුනත්.

මොන වගේ කෘමියෙක්ටද මිනිහෙක්ව අච්චර තරම් උස ගහකට ගන්න පුළුවන්? ස්කලීට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණි.

තිදෙනාම ඉතා උසින් පිහිටා තිබුණු අත්ත දෙස බැලුවෝය.

තිදෙනාම ඔවුනොවුන්ගේ හිස් දෙපස‍ට සළනු දක්නට ලැබිණ.



Leave a Reply