පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 8 වන පරිච්ඡේදය


ඩැනී ඩෝටි වනාහී කෘශ තරුණයෙක් වුවද, බන්ධනාගාර නිළධාරීන් විසින් කිසිදු අවස්ථාවක් නොදීමට මෙන් ඔහුගේ දෑත විලංගු දමා තිබුණි. දෑතේ යකඩ විලංගු තවත් දම්වැලකින් ඔහුගේ විළුඹේ දම්වැල් වලට සම්බන්ධ කර තිබුණු නිසා අර්ධාකාරව ඇවිදිමින් ආරක්ෂකයින් සමඟ හෙතෙම සාකච්ඡා කුටියට පැමිණියේය.

මෙයා විතරක් හිටපුදෙන්, ඔයගොල්ලෝ යන්න, මුල්ඩර් ආරක්ෂකයින්ට කීවේය.

බලාගෙන, එක් තැනැත්තෙක් කීය. මෙයා හරි භයානක පොරක්.

හිමිජ්ජා වගේ තමයි ඉන්නේ, අනෙකා කීවේය, ඒත් මිනීමරුවෙක්.

මොනවා උනත් දැන්නම් මිනිහට ඒතරම් සෙල්ලන් දාන්න බැරිවෙයි, පළමුවැන්නා කීවේය. අතපය බැඳලනේ ඉන්නේ.

ඒකට කමක් නෑ, මුල්ඩර් කිවේය. අපිට පුළුවන් මෙයා ආම්බාන් කරන්න. අපි එෆ්බීඅයිනේ.

පළමුවෙනි ආරක්ෂකයා ස්කලී දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් සහිතවය.

එයා ගැන බය වෙන්න එපා, මුල්ඩර් ඔවුන්ට කීවේය. එයා කරාටි කළුපටි.

දෙවැනි ආරක්ෂකයා දෙවුර ගැස්සීය. හොඳයි. සමහර විට මේක ඔයගොල්ලන්ගේ මළගම වෙන්න පුළුවන්. කිව්වට තරහා වෙන්න එපා.

ආරක්ෂකයෝ ඉන්පසු සාකච්ඡා කාමරයෙන් ඉවතට ගියෝය.

මට තියන්නේ දූඹුරු පටි. ස්කලී, මුල්ඩර්ට කීවාය.

මොකක් තිබුණම මොකද, මුල්ඩර් කීවේය. මොකද, ඩැනී අපිත් එක්ක ගහගන්න යනවයැ? නේද ඩැනී?

ඩැනී පිළිතුරක් නොදුන් නමුදු, ඔහුගේ දෑසෙහි ඇතිවූ ක්ෂණික දීප්තිය දුටු ස්කලීගේ මාංශ පේශීන්, සූදානම් ශරීරය පළ කරමින් දැඩි වුනි. ආරක්ෂකයින් නිවැරදිය. මේ පුද්ගලයා නම් ඒකාන්තයෙන්ම පිස්සෙකු වැනිය.

එනමුදු, මුල්ඩර් ඔහු දෙස බලා සිටින ආකාරය දුටු කල්හි ස්කලීට සිතුණේ ඔහුගේ නැතිවූ සහෝදරයෙක් දෙස මුල්ඩර් බලා සිටිනවාද කියාය. හලෝ ඩැනී, මුල්ඩර් තමාට හැකි උපරිම මිත්‍රශීලී අයුරෙන් ආමන්ත්‍රණය කළේය.

හ්ම් ඉතින්, ලේනෙකුගේ මෙන් කටහඬක් ඇති ඩැනී කීවේය. මාව බලන්ඩ ආවද? සාමාන්‍යයෙන් කවුරුවත් එහෙම එන්නේ නෑ. මෙහේ මාව එච්චර කවුරුවත් දන්නේ නැ. මෙතන දාලා හිරකරලා හරියට නැතිවෙච්ච පොතක් වගේ. අවුලක් නෑ මොකද මේ කූඩුව ඇතුළේ ආරක්ෂාව තියෙනවා. හිතට බයක් නෑ.

ශ්වේත පැහැති කාමරය තුළ ආසන තුනක් තබා තිබුණේය. මුල්ඩර් හා ස්කලී දෙපසින් ආසන දෙකක හිඳගත් අතර ඩැනී ඔවුනට මුහුණලා හිඳ ගත්තේය.

ඩැනී මම එෆ්බීඅයි එකෙන් මුල්ඩර්, මේ තමයි - මුල්ඩර් කියන්නට පටන් ගත්තේය.

මේ හලෝ, මම දන්නවා ඇයි ඔයගොල්ලෝ ආවේ කියලා, ඩැනී කීවේය. ඒ ගොල්ලෝ කේරන් ස්වෙන්සන්වත් ඉවර කරා.

ඔයා කේරන්ව දන්නවද? මුල්ඩර් ඇසුවේය.

මොකද නැත්තේ? ඩැනී කීය. ඒකි හොඳ කෙල්ලක්, එත් මනුස්සයෝ වෙන්න තියෙන දේ වෙනවා. ටිකක් කල් ගියාට වැඩේ නියමෙට කරලා තිබුණා. ඔහු සිනාසුනේය. අමුතුම ක්‍රමේට කරපු වැඩක්.

කවුද ඒ ගොල්ලෝ කියන්නේ? ඉදිරියට නැමෙමින් මුල්ඩර් ඇසුවේය.

මඳක් වේලා ඇස් කරකවමින් සිටි ඩැනී ඉන්පසුව කෙළින්ම මුල්ඩර් දෙස බැලුවේය.

මම කිවුවද ඒ ගොල්ලෝ කියලා? ඩැනී ඇසුවේය. මට වැරදෙන්න ඇති. මමයි ඒක කළේ මෙහේ ඉඳලා. මම ඒක මනෝමයෙන් කළේ. කිසි ගින්නක් නැතුව මම හිතුවා කේරන් බබා ඔයා දැන් මැරිලා කියලා. බලන කොට ‍ෆුඃ එයා මැරිලා. ඒත් ප්‍රශ්නයක් නෑ. මම මගේ අපරාධයට වන්දි ගෙවන්න සූදානම්. තවත් ජීවිතානතය දක්වා සිර දඬුවමක්. ඉන්පසුව හෙතෙම පිස්සෙකු මෙන් මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තේය.

ඇසිපිල්ලමක් වත් නොගසා අසා සිටි මුල්ඩර්, ඔය‍ාට මොනවද කියන්න පුළුවන් මේ සළකුණු ගැන? මේවා කේරන් ස්වෙන්සන්ගේ පිටේ තිබුණේ. එසේ කියමින් ඔහු ඡායාරූපයක් දිගු කළේය.

ක්ලියෝ පැට්රාගේ දළ පහර, ඩැනී එය දුටු වහාම කීවේය. ඕක තියෙන්න ඕනි සංගමයට එන්න නම්.

ඇත්තට? මුල්ඩර් ඇසුවේය. මොකක්ද ඔය සංගමය?

මොකක් කියලද හිතන්නේ එෆ්බීඅයි මහත්තයෝ? ඩැනී ඇසුවේය.

ඔය සංගමයේ රේ සෝමෙස් හිටියද? මුල්ඩර් ඇසීය.

රේ සෝමෙස්? ඩැනී තම ඇහිබැම වකුටු කරගනිමින් මඳක් කල්පනාකාරී වූයේය. ඉන්පසුව ඔහුගේ මුහුණ දීප්තිමත් වූයේය. ආ අපේ රේ කොල්ලා. ඔව් ඔව්. එයාට නම් තිබුණේ පවුලේ සාමාජිකත්වයක්.

නැවතත් ඔහු උන්මාදයෙන් මෙන් කොක් හැඬලීය.

මුල්ඩර් ස්කලී වෙතට හැරුණේය. ඔයාට මොනවා හරි අහන්න තියෙනවාද? ඔහු ඇසුවේය.

නෑ ඔයා කරගෙන යන්න, ස්කලී කීවාය. මට පේන්නේ ඔය දෙන්න නම් නියමෙට ගැලපෙනවා.

මුල්ඩර් නැවතත් සිරකරුවා වෙත හැරුණේය.

මේ බලන්න ඩැනී, අපිට ඕනේ ඔයාට උදව් කරන්න. ඔහු කීවේය.

මනුස්සයෝ මට උදව් වලින් වැඩක් නෑ. ඩැනී පවසන කල්හි, පෙර පැවතියාක් මෙන් උන්මාද ස්වරූපයක් ඔහු කෙරෙන් දිස් වූයේ නැත. මම මිනීමරුවෙක්, ඇහුණද? මිනීමරුවෙක්, මිනීමරුවෙක්, මිනීමරුවෙක්. මට මෙහෙන් එලියට යන්න ඕනි නෑ. මෙහෙ උස බිත්ති වලට මම කැමතියි. මට එළියට යන්නත් බෑ කාටවත් ඇතුළට එන්නත් බෑ. බිලී මයිල්ස් ඉන්න තැනට වඩා මට මෙතන හොඳයි.

කවුද බිලී මයිල්ස්? මුල්ඩර් ඇසුවේය.

බිලී? ඩැනී ඇසුවේය. මම හිතුවා හැමෝම එයාව දන්නවා ඇති කියලා. එයා රගර් ක්‍රීඩකයෙක්. දැන්නම් මොන රගර්ද? දැන් පිස්සන් කොටුවේ.
……………………………………………………………………………..

ජනපද මානසික රෝහල පිහිටා තිබුණේ බෙලෙෆ්ලුයර් නගරයෙහිමය. දර්ශනීය ශ්වේත ගොඩනැගිල්ලක් වූ එය කුඩා තණකොළ වැවී තිබුණු ප්‍රාකාරයකින් සමන්විත වූයේය. බැලු බැල්මටම එය ඉස්තරම් වර්ගයේ ආයතනයක් සේ පෙණුනි.

රෝහලේ ප්‍රධානී දොස්තර විලියම් ග්ලාස්ද ඉස්තරම් වර්ගයේ පුද්ගලයෙක් වූයේය. බුද්ධිමත් පෙනුම, ආචාරශීලී ගතිගුණද මතුනොව ඔහුගේ පැහැදිලි කතාබහ හේතුවෙන් පෙනී ගියේ ඔහු මෙම පරීක්ෂණයට බාධා ‍ෙනාකරන බෙලෙෆ්ලුයර් නගරවැසියකු බවය. ඔහු උදව් කිරීමට සූදානම් කෙනෙකු බව පෙනී ගියේය.



ඔව්, බිලී මයිල්ස් මෙහෙ නේවාසික රෝගියෙක් තමයි, ඔහු මුල්ඩර්ට හා ස්කලීට පැවසුවේය. අවුරුදු තුනක් තිස්සේ එයා මෙහෙ තමයි හිටියේ.

ඔබතුමාද ඔහුගේ වෛද්‍යවරයා? මුල්ඩර් ඇසුවේය.

මම එයගේ ප්‍රතිකාර ගැන සොයා බලනවා තමයි, දොස්තර ග්ලාස් කීය.

බිලී 89 පන්තියේ එක්කෙනෙක්, මුල්ඩර් කීයේය. මේ ළමයින්ට වෙච්ච දේවල් ගැන ඔබට යම් දැනීමක් ඇති?

මම දැක්කා මේ අවුරුදු ගාණ තිස්සේ ඒ ගොල්ලන්ට වෙච්ච දේවල්. ඩැනී ඩොටී ඇතුළුව. භීතිය මුසුව හිස සළමින් දොස්තර ග්ලාස් කීය.

ඔබ මොනවද ඔවුන්ට කරපු ප්‍රතිකාර ක්‍රම? මුල්ඩර් ඇසුවේය.

ඒවා ගැන නම් හෙළි කරන්න බෑ, දොස්තර ග්ලාස් කීයේය. ඒක වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනියිනේ.

මුල්ඩර් හිස සැළුවේය. ඇත්ත, නමුත් සාමාන්‍ය විදිහට වත් කියන්න පුළුවන් නේ?

බලමු, වෛද්‍යවරයා කීවේය. මට කියන්න පුළුවන් ඒගොල්ලො හැමෝම එකම ප්‍රශ්නෙකින් තමයි පීඩා වින්දේ. පශ්චාත් සාංකාමය ආතතියක්. ප්‍රබල කම්පනයකින් ඇතිවුන ප්‍රතිවිරෝධයක්.

මොන වගේ කම්පනයක්ද?

ඒක හරියටම කියන්න බෑ, වෛද්‍යවරයා පිළිගත්තේය. මම දන්නේ නෑ මේ ළමයින්වත් හරියටම ඒක දන්නවද කියලා. ඒත එකක් කියන්න පුළුවන්. ඒ කම්පනය මොනවගේ එකක් වුනත් ඒක විසින් මේ අයව උස්සලා පොළවේ ගැහුවා වගේ සම්පූර්ණයෙන්ම මොළය විකෘති කරලා තියෙනවා.

ස්කලී මෙම ප්‍රශ්නෝත්තර වලින් ඉවත් වී සිටීමට සිතුවේ ඇයගේ කාර්යය වනාහී මුල්ඩර්ගේ කාර්යය අධ්‍යයනය කිරීම වන බැවිනි. නමුත් මේ යන ආකාරයට ප්‍රශ්නයක් නොඅසා සිටීමට ඇයට නොහැකි වුණි.

ඔබ හිතනවද ඩැනී ඩොටී එයාගේ යාළුවන්ව මැරුවයි කියලා? ස්කලී ඇසුවාය.

ඒවා හොයා ගන්න එක පොලීසියටයි උසාවියටයි බාරයි, වෛද්‍යවරයා ප්‍රවේශම් සහිතව කීයේය.

නමුත් ඔබට මොකක් හරි මතයක් ඇතිනේ? ස්කලී ඇසුවාය.

මගේ කාර්යය මනස සුවපත් කරන එකයි, දොස්තර ග්ලාස් කීවේය. එහෙම නැතුව මිනිස්සුන්ව හිර කූඩුවට දාන එක නෙමෙයි.

ඔබ ප්‍රතිකාර කරන කොට මෝහනය කිරීම භාවිතා කළාද? මුල්ඩර් බාධා කරමින් ඇසුවේය.

දොස්තර ග්ලාස්ගේ මුහුණ ඇඹුල් වී ගියේය. මෙතන ඉන්න අය ඇවිල්ලා මානසික රෝග තියෙන අය. මට අදාල නැති විකාර වැඩක් කරන්න ගියොත් ඒ ගොල්ලෝ ප්‍රශ්න ඇති කරයි. මට කරන්න තියෙන්නේ සරළ ප්‍රතිකාර කරන එකයි. ඒක හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන් නමුත් මුකුත්ම නොකර ඉන්නවට වඩා ඒ ක්‍රමය හොඳයි.

ඔබ දොස්තර ජේ නෙම්මන්ගේ දුවට ප්‍රතිකාර කරළා තියෙනවද? මුල්ඩර් ඇසුවේය.

පිළිතුරු දෙම් දෝ නොදෙම් දෝයි කල්පනා කළ වෛද්‍යවරයා, ඔව්, යැයි අවසානයේ කීයේය. එත් එයාගේ දෙමව්පියෝ දැනගෙන හිටියේ නෑ. එයා තමයි මාව හොයාගෙන ආවේ. මම කරන්න පුළුවන් හොඳින්ම කළා. ඒත්- , ඔහු මඳක් නැවතුනේය. සමාවෙන්න, මට පෞද්ගලික ප්‍රතිකාර ගැන හෙළි කරන්න බෑ.

බිලී මයිල්ස්ගේ වත්? මුල්ඩර් ඇසුවේය.

ඔව්, බිලී මයිල්ස්ගේ වත්, වෛද්‍යවරයා පිළිගත්තේය.

නමුත් ඔබට පුළුවන්නේ අපිට එයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඉඩ දෙන්න? අධෛර්යයට පත් නොවී මුල්ඩර් ඇසවේය.

වෛද්‍යවරයා තම ඇහිබැම ඉහළට යැව්වේය. මම හිතුවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. බිලී මයිල්ස් ඉන්නේ අමුතු කෝමා එකක. ඔහු අවධියෙන් ඉන්නේ. සිහිය නැතිවෙලා නෑ, අපි හිතන විදිහට. ඒත් ඔහු කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නෑ. අවුරුදු ගාණකින් කා එක්ක වත් කතා කරලා නෑ. ඔයගොල්ලෝ නිකං කාලේ නාස්ති කර ගන්න එපා.

ඇසුණු දෙය නිසා කණට ගැසුවාක් මෙන් මුල්ඩර් වික්ෂිප්ත වූයේ නමුදු ‍ෙහතෙම ක්ෂණයකින්ම යථා තත්වයට පැමිණියේය. අඩුම ගාණේ එයාව බලන්නවත් පුළුවන් ඇතිනේ? ඔහු ඇසුවේය.

වෛද්‍යවරයා දෙවුර ගැස්සීය. ප්‍රශ්නයක් නෑ. මට හිතා ගන්න බෑ ඒකෙන් ඔයගොල්ලන්ට මොන උදව්වක් වේවිද කියලා. මම පොඩි අවවාදයක් දෙන්නම් හැබැයි, බිලී දිහා බලන එක නම් එච්චර ප්‍රියජනක කාර්යයක් නෙමෙයි.

ඇත්ත වශයෙන්ම එය සැර බාල කොට කියන ලද්දක් නුවූයේම නැත.

………………………………………..


බිලී තම ඇ‍දෙහි කෙළින් වී සිටියේය. මනාව හිසකෙස් කපා සිටි ඔහු හොඳින් වැඩුනු අඟපසඟ ඇති ප්‍රසන්න පෙනුමැති තරුණයෙක් වූයේය.

නමුත් ඔහු සිටියේ වෙනම ලෝකයක ජීවත් වෙමිනි.

මඳක් ඇරුණු මුවින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් වරින් වර ඇසිපිය ගැසීම නිසා පමණක් ඔහු ජීවත් වන කෙනෙකු යැයි කිව හැකිව තිබුණි.

බලන්න ඔහු දිහා, ආවතේව කරුවා හිස දෙපසට වනමින් කීවේය. හිතන්න පුළුවන්ද මේ බෙලෙෆ්ලුයර් උසස් පාසලේ හිටපු හොඳම රග්බි පාපන්දු ක්‍රීඩකයා කියලා? ජාතික කණඩායමට යන්න ඔන්න මෙන්න හිටියේ. කවුද කාලකණ්නියෙක් මෙයාට පාළු පාරකදී හොඳටම ගහලා. කවුද කියලා කවදාවත් හොයාගන්න බැරි වුනා. දැන් අවුරුදු හතරක් විතර වෙනවා.

එදා ඉඳලා මේ විදිහද? ස්කලී ඇසුවාය. ඇයට මඳ අපහසුවක් දැනෙමින් තිබුණි. මළ සිරුරු සමඟ ගණුදෙනු කිරීම ප්‍රශ්නයක් නොවුවද ජීවත් වන මළසිරුරක් සමඟ ගනුදෙනු කිරීම වෙනත් ආකාරයක දෙයක් බව ඇයට වැටහෙමින් තිබුණි.

මෙහෙම්මමයි, ආවතේව කරුවා කීයේය. ගහක් ගලක් වගේ. මම නම් මෙහෙම ඉන්නවට වඩා මැරිලා යන එක හොඳයි. මෙයාව බලන අයත් දැන් එන්නේ මාසෙකට සැරයයි. පෙගී ඕ ඩෙල් තමයි මෙයා ගැන නිතර හොයලා බලන්නේ.

ඉන්පසු ආවතේව කරුවා ස්කලීගේ පිටුපස සිට කෙනෙකුට කතා කළේය. නැද්ද පෙගී?

හැරී බැලූ ස්කලීටත් මුල්ඩර්ටත් දක්නට ලැබුණේ රෝද පුටුවක් මත සිටි තරුණියකි. ගිනිකූරක් මෙන් සිහින් වූ ඇය, අවතාරයක් මෙන් සුදුමැලි කෙනෙක් වූවාය. ඇයගේ දෑස් ආගන්තුයින් දෙස නොව ඇදෙහි වූ රූපය දෙස පමණක් යොමු වී තිබුණි.



බිලී ගේ ඇඳ වෙතට රෝද පුටුව පැදගෙන ආ ඇය තම උකුළ මත තිබූ පොතක් ඉවතට ගත්තාය.

මෙයා තමයි බිලී ගේ පෙම්වතිය, ආවතේව කරුවා ස්කලී වෙත ඇසක් ගසමින් කීවේය. එහෙම නේද පෙගී? බලන්න මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. මේ ගොල්ලොත් ඔයා වගේම බිලීව බලන්නනේ ඇවිල්ලා තියෙන්නේ.

තරුණියගේ ඇස් කුඩාවී ගොස් මුව මඳක් සෙළවුනද ඇය කිසිවක් නොකීවාය.

ඔයා බිලී එක්කද ඉස්කෝලේ ගියේ? මුල්ඩර් මෘදු ලෙස ඇසුවේය.

පෙගී එම ප්‍රශ්නයට පිළිතුරු දීමට උත්සාහ කළේ නැත. බිලීට ඕනෙලු මම මේ පොත එයාට කියවන්න. ඇය නොරිස්සුම් සහගතව කීවාය.

මුල්ඩර් නැවත වරක් උත්සාහ කළේය. ඔයා බිලීගේ අනතුරට ඉස්සෙල්ලා ඉඳන් එයාව දන්නවද?

පෙගීගේ කටහඬ මායාත්මක ස්වාභාවයක් ඉසිළීය. බිලීව ඕන කෙනෙක් දන්නවා, ඇය මතක් කළාය. එයා තමයි ඉස්කෝලේ හිටිය ජනප්‍රියම කෙනා.

ඔයා එයාට පොත් කියවනවාට එයා කැමතිද? මුල්ඩර් ඇයගෙන් ඇසුවේය.

මට දැන් බිලීව බලා ගන්න තියෙනවා, පෙර පරිදි ස්වප්නමය ස්වරයෙන් පෙගී කීවාය.අපි හැමදාටම එකතු වෙලා ඉන්නේ. ඇය මඳක් නැවතුනාය. ඉන්පසුව ඇය කීදෙය කාමරයේ බිත්ති වල පවා දෝංකාර දුන්නාක් මෙන් වූයේය. මමත් බිලීත් ආලෝකය දැක්කා.






පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply