පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අද්භූත ව්‍යාඝ්‍රයා - 1වන පරිච්ඡේදය

නටනවට උඹට කවුරුත් පඩි ගෙවන්නේ නෑ, රොබර්ටෝ, ෆ්‍රැන්සිස්කෝ ගාර්සියා ඔහුගේ බෑණාට කීවේය. ඔහු ස්පාංඥ භාෂාවෙන් කතා කළේ රොබර්ටෝගේ කැසට් රේඩියෝවේ ශබ්දයද අභිබවමිනි. මතක තියාගනින්, දෙවියෝ බලාගෙන ඉන්නවා කියලා. ඔවුන් වැඩ කරමින් සිටි ගොඩනැගිල්ලේ සිවිලිමෙහි එල්ලී ඔවුන් දෙස මෑනී තිබූ ආරක්ෂිත කැමරාව දක්වමින් ෆ්‍රැන්සිස්කෝ කීයේය.

ගොඩනැගිල්ල වනාහී අයිඩහෝ පරෝපකාර රක්ෂණ භාරයට අයත් ගොඩනැගිල්ලක් වූයේය. උස් සිවිලිම් හා බබළන කිරුගරුඬ පොළවක් සහිත එම ගොඩනැඟිල්ල අයිඩහෝ හි ෆෙයාර්ෆීල්ඩ් නගරයේ විශාලතම බැංකුව වූයේය. සෑම රාත්‍රියකම ෆ්‍රැන්සිස්කෝ හා රොබර්ටෝ එක්ව එහි පොළව මදින්නෝ වූහ.

රේඩියෝවෙන් ඇසෙන ගීතයට අනුව තම මුස්නය සමඟ නර්තනයෙහි යෙදෙන්නාවූ රොබර්ටෝ දෙස බලාසිටීම ප්‍රීතියක් ගෙන දෙන බව ෆ්‍රැන්සිස්කෝට වුවද  පිළිගත හැකිව තිබුණි. තරුණයා පුංචි විනෝදයක් ලබමින් සිටියත් රොබර්ටෝගේ මාමණ්ඩියගේ අභිප්‍රාය වූයේ  බෑණා වැඩෙහි යෙදෙනු දැකීම වූයේය.

රස්සාව නැතිකරගෙන පලයන් ආපහු එල් සැල්වදෝර් කැළයකට, ඔහු රොබර්ටෝට දැඩි ලෙස කීවේය.

රොබර්ටෝ විරිත්තුවේය. ඔහු තව එක් වරක් කඩිනම් නර්තනයක යෙදෙමින් රේඩියෝව අක්‍රීය කර වැඩට බැස්සේය.

ෆ්‍රැන්සිස්කෝ තෘප්තිමත්ව නැවතත් ඔහුගේ මුස්නය ගෙන කිරිගරුඬ පොළව මත වූ කුණු දුහුවිලි සමග හැපෙන්නට වූයේය.

එක්වරම නුහුරු ගිගිරුම් ශබ්දයක් වාතලය පිරවීය.

කිරිගරුඬ ‍පොළව දෙදරන්නට වූයේය.

එල් සැල්වදෝරයේදී නම් ෆ්‍රැන්සිස්කෝට භූමිකම්පා හුරුපුරුදු ‍දෙයකි. එසේම යුධ හඬද එහි සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණි.

නමුත් මේ අයිඩහෝව විය. මෙහි භූමිකම්පා හෝ යුධ ගැටුම් වූයේ නැත. මෙය සාමය හා සතුට සහිත භූමියක් වූයේය. නමුත් මේ ශබ්දය ඇසෙද්දීම ඔහුට දැනුණේ එය යම් විපතක පෙරනිමිත්තක් ලෙසිනි.

එහි තවමත් ගිගිරුම් ශබ්දය වූයේ, එය වඩාත් හඬින් වඩාත් ළඟින් ඇසෙන්නට වූයේය.

නිරුපද්‍රිතව සිටිය හැකි ස්ථානයක් සොයමින් ෆ්‍රැන්සිස්කෝ ගොඩනැගිල්ලේ ඒ මේ අත බලන්නට වූයේය. සේප්පු ඇති ස්ථානය වඩාත් ආරක්ෂිත තැනක් විය හැකි වූ නමුත් එහි දැවැන්ත වානේ දොරවල් අගුළු දමා ඇති බව ඔහුට පෙණුනේය. සමහරවිටෙක කවුන්ටරය පසුපස ආරක්ෂිත විය යුතුය.

ඔහු එතැනින් ඉවත් වීමටත් පෙර බැංකුව ඉදිරිපස තිබූ සුවිසල් වීදුරුව පුපුරා ගියේය. වීදුරු කැබලි වලින් නැහැවීයත්ම ෆ්‍රැන්සිස්කෝ තම දෙඇස් වසා ගත්තේ නිරායාසයෙනි. ඔහුට තම කම්මුලෙහි දැඩි වේදනාවක් දැණුනි. එක්වරම සියල්ලම නිසළ වූයේය.



ඔහු සෙමෙන් හුස්මක් හරිමින් දෑස් හැර තම කම්මුල ස්පර්ශ කළේය. ඔහුගේ ඇඟිළිතුඩු ලෙයින් නැහැවී දිළිසුණේය. සීරීම් තුවාල හැරුණුවාට වැඩි යමක් ඔහුට සිදුවී තිබුණේ නැත. ඔහු තම බෑණා දෙස බැලුවේය. රොබර්ටෝ ආරක්ෂිතව සිටි නමුත් පත්ඉරුවක් සේ ගැහෙමින් සිටියේය. තමාද ගැහෙමින් සිටිනා බව ෆ්‍රැන්සිස්කෝට අවබෝධ වුණි. ඔහු කුරුසිය සටහන් කර ගත්තේය.

ඔහුට නැවතත් ගිගිරුම ඇසුණි. මෙවර එය වඩා ඈතින් ඇසෙමින් තිබුණි. එය ටිකින් ටික ඈතට යමින් තිබුණි.

ෆ්‍රැන්සිස්කෝ  වීදුරු කුඩු වැටී තිබූ කිරිගරුඬ පොළව මතින් ප්‍රවේසමෙන් ඉවතට පියමැන්නේය. ඔහු හා රොබර්ටෝ වීදුරුවේ කැඩීගිය විවරය අසළට පැමිණ පිටත බලන්නට වූවෝය.

දේව මෑණියනි. මේක නම් වෙන්න බැරි දෙයක්, ෆ්‍රැන්සිස්කෝ කීවේය.

නමුත් එය සිදුවෙමින් තිබුණි. දැවැන්ත කුළු ගෙඩියකින් පහර දුන්නාක් මෙන් වීදියේ තිබූ මෝටර් රථයක් පොඩිවී යන ආකාරය ඔවුහු දුටහ. පුවත්පත් විකුණන දැවමය කුටියක් ගිනිකූරු මෙන් කැබලි වී යන අයුරු ඔවුහු දුටහ.



නමුත් එය කරන ලද්දේ කුමක් විසින්දැයි ඔවුහු නුදුටහ.

බැංකුවට කඩා වැදුණු, මොටර් රථය පොඩිපට්ටම් කළ හා පුවත්පත් කුටිය සුණුවිසුණු කළ බලවේගය අදෘශ්‍යමාන එකක් වූයේය.

ෆ්‍රැන්සිස්කෝ හා රොබර්ටෝ මුහුණට මුහුණ බලා ගත්තෝය. ඔවුන් දෙදෙනා සිතන දේ කුමක් දැයි උහු දැන සිටියහ.

අයිඩහෝ වෙත පැමිණීම එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ යැයි සමහරවිටෙක ඔවුනට සිතෙන්නට ඇත. තම මවුබිමේදී අනතුර පැමිණෙන්නේ කොයි ආකාරයකින්දැයි ඔවුහු දැන සිටි නමුත් මෙහිදී එය එක්වරම පැමිණෙන්නේ අද්භූත හා භීෂණාත්මය ආකාරයෙනි.

-----------------------------------------------------------------------------------------------

රේ හයින්ස් අයිඩහෝ හී අමුත්තෙක් නොම වීය. ඔහු ‍එහිම ඉපිද හැදී වැඩුනෙක් වූයේය. ජනපදයේ උස්බිම් හා එහි ගිරි ශිඛර මධ්‍යයෙන් මහාමාර්ග ඉදිකිරීමේ කටයුතු වලට සහය දුන්නෙක් වීය. එදින රාත්‍රියේත් ඔහු තම කාර්යයේ තෘප්තිමත්ව යෙදී සිටියේය. ඉදිකිරීමේ සමාගම විසින් ෆෙයාර්ෆීල්ඩ් වෙතට සිවුමාවත් මහා මාර්ගයක් ඉදිකිරීමේ කඩිනමක සිටියේ එය අතිකාල දීමනා මංපෙතක්ද විවර කර දී තිබුණේය.

ගිගුරුම ඇසෙත්දී හයින්ස් සිටියේ තම පරිවාර කම්කරුවන් සමග විරාමයක කෝපි පානය කරමිනි.

ඔහු නිමකෙරෙමින් පවතින මහා මාර්ගයට එබී බැලුවේය.

මොන යකෙක්ද මේ? මුව අඩක් විවෘත කරගත්වනම සිට ඔහු කීවේය.

මාර්ගයේ එක් තීරුවක් බැරක්ක දමා තිබුණේ වාහන ධාවනය වැළැක්වීම සඳහාය. ඒවා බරැති දැවමුවා බැරැක්ක වුවද මේ මොහොත වනවිට ඒවා කඩදාසි මෙන් ඉවතට විසිවෙමින් තිබුණේය. ඒවා එකින් එක කඩා වැටෙමින් තිබුණි.

යම් දැවැන්ත ශක්තියක් මාර්ගය දිගේ පැමිණෙමින් තිබුණි.

හයින්ස්ට එය සුළි කුණාටුවක්දෝයැයි සිතුණත් සුළඟක සේයාවක්වත් එහි වූයේ නැත.

ඔහුට කිසිදු දෙයක් පෙණුනේත් නැත.

ඔහු එම ශක්තියෙහි වැදී ඉහළ අහසෙහි පියාඹා යද්දීත් ඔහුට ඒ කුමක්ද යන්න පිළබඳ නිනව්වක් වූයේ නැත.

තම ඇස් කොණින් හයින්ස් දුටුවේ තම කෝපි ප්ලාස්කුවද ඉහළ අහසේ කෝපි විසුරුවමින් තිබෙන බවය.

ඔහු අවසන් වරට දුටු දෙය එයම විය.

ඔහුගේ සිරුර ඔහු විසින් නිමකරන ලද මාර්ග කොටසක පතිත වූයේය. ඔහු විසින් අවසන් වරට නිමකරන ලද මාර්ගය එය වූයේය.

රේ හයින්ස් කෝපි සඳහා ගත් විරාමය සදාකාලික එකක් බවට පත්විය.


මහා මාර්ගයේ සැතැපුම් තිහක් ඈතට වන්නට වෙස්ලි බෘවර් ලෑල්ලටම පාගමින් සිටියේ අළුතින් ඇතිරූ මාර්ගයේ පහස විඳිමිනි. සෑම මාර්ගයක්ම මෙසේ වේ නම් තම සුවිසල් ලොරිය පදවන කාරණය කජු කන්නාක් මෙන් වනු ඇති බව ඔහුගේ අදහස විය. විශේෂයෙන්ම ඔහු බරක් පටවාගෙන නොයන අවස්ථාවලදී ඔහුට වේගයෙන් රිය පැදවිය හැකිවනු ඇත. බෘවර්ට අනුව නම් එය විදගෙන යාමක් වනු ඇත.

එය දීර්ඝ රාත්‍රියක් තිස්සේ පැද යාමක් වී තිබිණ.  බෘවර් ඈනුමක් හරිමින්ම කෙටිකථන පණිවිඩ සේවාව ක්‍රියාත්මක කළේය.

මේ වෙස්ලි බෘවර් මාර්ග අංක හතෙන්, ඔහු පැවසුවේය. බඩු පටව ගන්න අටට එන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට.





ඔහු නිදිගැට කඩමින් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියේය.

එක් වරම ඔහුගේ දෑස මහත් ලෙස ඇරී ගියේය.

ඔහුගේ නින්ද ගව් ගණනක් දුරට පළා ගොස් තිබුණි.

අඩි සියගණනක් ඔහුගේ ඉදිරියෙන්ම වූයේ ඔහු මීට කලින් සර්කස් දැන්වීමක පමණක් දැක තිබූ දසුනකි.

ඒ සුවිසල් හස්තියෙකි.

මේ හස්තියා දැන්වීමක සිටිනා එකෙක් නොවූයේය.

ඌ ඔහු ඉදිරියට පැමිණෙමින් සිටියේ පහරදීමටය.

බෘවර් තිරිංග තද කරමින් ප්‍රාර්ථනා කළේ එය ඉක්මනින් නතර වේවා කියාය.

ලොරි රථය ලිස්සමින් පාලනයෙන් ගිලිහී ගියද අවසන එය නතර වූයේය.

හස්තියාද නතර වූයේය.

සුවිසල් යන්ත්‍රයද සුවිසල් හස්තියාද අඟල් ගණනක පරතරය සහිතව මුහුණට මුහුණලා තිබුණේය.




හස්තියාගේ ගිනිගත් දෑස් දෙස බෘවර් බලා සිටියේය. තර්ජනාත්මකවූ තිරශ්චීන දළ යුගලයේ උල් කෙළවරයන් ඔහුට පෙනෙන්නට වූයේය. හස්තියාගේ අළු පැහැති හොඬවැලෙන් ඔහුගේ ලොරි රථයේ ඉදිරි වීදුරුවට ඌ පහරදෙනු ඔහු බලා සිටියේය.

කෙටිකථන පණිවුඩ සේවාවෙන් මන්ද්‍ර ස්වරයෙන් යමක් අසුණේය. මට ආයෙමත් කියන්න එන්න පුළුවන් වෙලාව. බෘවර්? බෘවර් ඇහෙනවද?

පිළිතුරක් දීමට බෘවර් සිතුවේ නැත. ඔහු දෑතින්ම සුක්කානම බදා සිටියේය. හස්තියා හැරෙනු දුටු කල්හි ඒවා මඳක් ලිහිල්වි ගියේය. වල්ගය කෝපයෙන් දෙපසට වනමින් මාර්ගයේ හිරු බැස යමින් තිබූ දෙසට ඌ සෙමෙන් යන්නට වූයේය. ඉන්පසු එක්වරම විදුලිය වැදුනාක් මෙන් ඌ දුවන්නට පටන් ගත්තේය. සුවිසල් සත්වයෙක්ට නොතරම් ආකාරයෙන් ඌ දිවගිය වේගය විශ්වාස කළ නොහැකි තරම් විය.

මාර්ගයේ වංගුවකින් ඌ නොපෙනී යන අයුර බෘවර් බලාසිටියේය. ඔහු තම හෘද ස්පන්දනය යථා තත්වයට පත්වන තුරු මඳක් ඉවසුවේය. ඉන් පසු ඔහු කෙටිකථන සේවාවට ඇමතුවේය. මම දන්නවා ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ මේක ඒත්-

-----------------------------------------------------------------------------------------------

පොලීසිය විසින් හස්තියා මර්දනය කළ අවස්ථාව වන විට ක්ෂිතිජ‍යෙන් හිරුබැස ගොස් තිබුණි. එය අමාරු කර්තව්‍යයක් වී තිබුණේ නැත. හඹා යෑමක් සිදුවී තිබුණේ නැත.

හස්තියා දුටු යතුරුපැදිකරුවකු විසින් පොලිසියට දන්වා තිබුණි.

පොලිස් රථ සයිරන් නළා හඬවමින් හදිසි අනතුරු ආලෝක දල්වමින් පැමිණෙත්දී ඌ මහා මාර්ගයේ සිටි තැනම වැතිරී සිටියේය. තවත් වාහන එතැන වූයේය. මිනිසුන්ද, කාන්තාවන්ද, කුඩා දරුවන්ද, ඇද වැටුණු සද්දන්තයා නැරඹීමෙහි උත්සුක වී සිටියහ.




පස්සට වෙන්න!” පොලිස් නිළධාරියෙක් රැස්කකා සිටි ජනතාවට විධාන දුන්නේය. ඌට තාම පණ තියනවා. ඒ වගේම අනතුරුදායකයි.

හස්තියා තවමත් ජීවත්වන බව පෙනී ගියේය. නමුත් ඒ යන්තමිනි.

සත්වයා වේදනාවෙන් හුස්ම ගත්තේය. උගේ ශරීරය දුර්වල ලෙස මාර්ගය සිපගෙන තිබුණේය. ඌ නැඟිටීමට මහත් තැතක් දැරුවේය.

හස්තියාගේ උත්සාහයන් නිසා උගේ සියළු ශක්තිය වැයවී ගිය බවක් දක්නට ලැබුණී. ඌ පොළවට ඇද වැටුණි. මඳ වේලාවක් ගැස්සෙමින් සිට ඌ එක්වරම නිශ්චල වූයේය.

අම්මේ, අම්මේ, ඌ නිදා ගත්තද? කුඩා පිරිමි ළමයකු ඇසුවේය.

කුඩා ළමයා මව දෙස හිස ඔසවා බලන විට මව තොල් සපා ගත්තාය. ඔව් පැටියෝ, ඌ නිදාගත්තා, ඇය සහතික කළාය.

කුඩා පිරිමි දරුවාගේ වැඩිමල් සොහොයුරිය ඇද වැටුණු හස්තියා දෙසට ළං වී බැලුවාය.

සත්වයා දෙස දිගුවේලාවක් බලා සිටීමට තරම් ඇය වැඩිමහළු දැරියක වූවාය.



තමා දුටු දෙයින් හඬා වැටීමට තරම් වැඩිමහළු වයසක ඇය වූවාය.  




Type REG xfiles & send the SMS to 77002 & get our updates to your mobile phone!



Leave a Reply