පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

බිහිසුණු රාත්‍රිය - 2වන පරිච්ඡේදය


ස්කලී, මේක තමයි කතන්දර හෝරාව, එෆ්බීඅයි නියෝජිත ෆොක්ස් මොල්ඩර් කීවේය. එන්න මගේ කාර්යාලයට.

අන්න එහෙමලු මකුළුවා තම ගොදුරට කියන්නෙත්, එෆ්බී අයි නියෝජිත ඩානා ස්කලී පිළිතුරු දුන්නාය. ඇය තමා අනුභව කරමින් සිටි ඩෝනටයේ අවසන් කැබැල්ලට ආයුබෝවන් කියමින් තම කෝපි කෝප්පයේ අවසන් බිඳුව පානය කළාය. ඉන්පසුව ඇය එෆ්බීඅයි මූලස්ථාන පාදමේ වූ ආපන ශාලාවෙන් ඉවතට පැමිණ මොල්ඩර් ගේ කාර්යාලය වෙත වූ දිගු කොරිඩෝරය හරහා ඔහු සමඟ ඒ වෙතට පියමැන්නාය.

ස්කලී සූදානම් ශරීරයකින් සිටියාය. මොල්ඩර්ගේ දෑසෙහිවූ දීප්තිය ඇය හඳුනා ගෙන තිබුණි. ඔහු කැමති වර්ගයේ පරීක්ෂණයක් නිසැකවම ඔහු ඇස ගැටී ඇත. එක්ස් නාම මාත්‍රයෙන් හඳුන්වන අභිරහස් ලිපිගොනු අතරට වැටෙන, මොල්ඩර් හැර, කාර්යාංශයේ වෙන කිසිවෙකු ස්පර්ශ කිරීමට අකැමැති වෙන වර්ගයේ පරීක්ෂණයක් ඔහු ඇස ගැටී ඇත.

එක්ස් ලිපිගොනු වල ඇත්තේ එෆ්බීඅයි මුළාදෑනීන් විසින් අමුතු, අද්භූත, ගුප්ත, කෙටියෙන්ම කිවහොත් පිස්සු විකාර යනුවෙන් හඳුන්වන වර්ගයට අයත් පරීක්ෂණ වාර්තාය. ඔවුන් වඩාත් කැමති මෙම ලිපිගොනු සියල්ල අගුළු දමා යතුර පවා වීසි කිරීමට වුවත්, මොල්ඩර් එයට ඉඩ නොදී මේවා අධ්‍යයනය කරමින් සිටී.

නමුත් එෆ්බීඅයි ප්‍රධානීන්ට මෙය හිසරදයක් වී තිබුණි. වඩාත්ම එය කරදර දෙන්නක් වූයේ මොල්ඩර් වැනි අතිදක්ෂයෙකු නැතිකර ගැනීමට ඔවුනට කොහෙත්ම වුවමනා නොවූ නිසාය. ඔවුන් එයට කදිම විසඳුමක් සොයා ගත්තේ ස්කලී ඔහුගේ සහායිකාව කිරීමෙනි.

ස්කලී ඒ සඳහා මනාව සුදුසුකම් සපුරා තිබුණි. ඇය වෛද්‍යවරියක් පමණකුදු නොව විද්‍යාඥියක්ද වූවාය. ඇයට මොල්ඩර්ගේ මතිමත්‍රාන්ත්‍රයන් වන පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ ආදිය ගැන කරුණු විශ්ලේෂණය කිරීමට තරම් මනා දැනුමක් හා දක්ෂතාවයක් පිහිටා තිබුණි. එසේම, පොළවේ පය ගසා ගෙන සිතන්නාවූ ඇයට මොල්ඩර් පීළි පනින සෑම අවස්ථාවකදීම හානි පූර්ණය කරමින් නියම මාර්ගයට මොල්ඩර්ව ගැනීමට හැකියාව ඇතැයි මුළාදෑනීහු විශ්වාස කළහ. ඔවුන් ඇයට කීවේ, මොල්ඩර් තමා ප්‍රිය කරන වර්ගයේ පර්යේෂණයක ගිලී කිමිදී විකාර කරන අවස්ථාවකදී ඔහුව එයින් ඉවතට ගැනීමට කියාය. මේ වනතුරා එම අණ පරිදි ක්‍රියා කිරීමට ඇයට නොහැකි වුනේ මොල්ඩර්ගේ දෘෂ්ටි කෝණයෙන් පරිබාහිරව ඒවා විශ්ලේෂණය කිරීම ඇයට අපහසු කර්තව්‍යයක් වූ නිසාවෙනි.

මේ මොහොතේ ස්කලී සිටියේ මොල්ඩර්ගේ කඩිනම් පියවර හා සමගාමීව ගමන් කරන්නට අපහසු උත්සාහයක් දරමිනි. ඔවුන් ගමන් කරත්දී ඇයගේ ඇස් කොණෙන් ඇයට පෙණුනේ ඔවුන් දෙස හැරි හැරී බලන්නාවූ හිස්ය. මොල්ඩර් හා තමන් මෙවර කුමක් කරන්නට යන්නේද ගැන ඔවුන් අනුමාන කරමින් කතා බහ කරනු ඇති බව ඇය සිතුවාය. ඇය‍ටද එය අනුමාන කිරීම උගහට වූයේ මොල්ඩර් හා වැඩ කරත්දී කුමන ආකාරයේ පරීක්ෂණයක් ඉදිරියට පැමිණේදැයි කිව නොහැකි නිසාවෙනි. කළ හැකි එකම දෙය වනුයේ වෙන දෙයක් බලාගෙන සිටීම පමණක් වූයේය. 

මේක නම් බලන්නම වටින දෙයක්, කාර්යාලයට ඇතුළ් වද්දීම මොල්ඩර් කීවේය. ස්කලී, ඔයත් පුදුම වෙයි මේක දැක්කම.

මොල්ඩර්ගේ කාර්යාලයට ස්කලී කොපමණ වතාවක් පැමිණ සිටියද තවමත් එයට ඇතුල්වද්දී ඇඟ කිළිපොළායන ආකාරය ඇය මෙනෙහි කළාය.

පොළවේ සිට සිවිළිම දක්වා වූ පොත් රාක්කද, ඒවායෙහි අඩුක් කර තිබෙන ලිපිගොනු වලින් නෙරා ආ කහ පැහැ ගැසුණු පුවත්පත් වාර්තාද, සඟරාද, නොයෙකුත් නාමගෝත්‍ර සටහන් කර ඇති මෘදු තැටිද, සෑම වර්ගයකටම අයත් විද්‍යාත්මක කෘති සිට විද්‍යා ප්‍රබන්ධ කතාද එහි වූයේය. තවත් නොයෙකුත් වාර්තා හා ලියවිලි පොළවේ අඩුක් කර තිබුණේය.

ස්කලි වනාහී පිළිවෙලකට වැඩ කරන්නියක් වූව‍ාය. මෙම කාර්යාලය ඇයට දුඃස්වප්නයක ඡායා මාත්‍රයක් ගෙන දුන්නේය. මොල්ඩර් තමාට අවශ්‍ය දෙයක් මෙහි පහසුවෙන් සොයාගන්නේ කෙසේද යන්න ඇයට ප්‍රශ්නයක් වූ නමුත් මොල්ඩර්ට නම් අතැඹුලක් සේ මේ වංකගිරිය හුරුපුරුදු එකක් වූයේය.

මේ මොහොතේ නම් ඔහු තම ඡායාරූප වික්ෂේපණය ක්‍රියාත්මක කර, ප්‍රතිබිම්භ තිරය පහතට අදිමින් සිටියේය.

හොඳට බලන්න මේක දිහා, ඡායාරූපයක් තිරය මත වැටෙන විටම මොල්ඩර් කීවේය. ඡායාරූපය පැත්තක සිට ගන්නා ලද එකක් වූයේය. මඳක් බොඳවී තිබුණද තිස් දෙනෙකුගෙන් පමණ යුත් මිනිසුන් කණ්ඩායමක් එහි දක්නට ලැබුණේය. එළිමහනට සුදුසු ඇඳුම් හැඳගෙන සිටි ඔවුන් බොහෝ දෙනෙකු රැවුල් වවා ගෙන සිටියෝය. බොහෝ දෙනෙකුන් අත පොරෝ තිබුණේය. ඔවුන් ඉදිරියෙන් වූයේ කපා බිම හෙළන ලද දැවැන්ත වෘක්ෂයකි. පසුපසින් ඝන වනාන්තරය දක්නට ලැබිණ.

දැව කම්කරුවෝ, නේද? ස්කලි ඇසුවාය.

ඔව්, ඔබ මේ මොහොතේ සැනසිලි ත්‍යාගයක් ජයග්‍රහණය කරනවා, මොල්ඩර් කීවේය. පළමු තෑග්ගට උත්සාහ කරනවාද?

පිස්සු නැතුව කියන්න මොල්ඩර්, මේ අය කවුද? ස්කලී කීවාය.

වොෂිංටන් වල ගස් කපන කල්ලියක්, මොල්ඩර් කීවේය.

වොෂිංටන්? ස්කලී ඇසුවාය. මම දැනන් හිටියේ නෑනේ වොෂිංටන් වල ගස් තියනවා කියලා කපන්න.

වොෂිංටන් නගරයේ නෙවෙයි ස්කලී, මොල්ඩර් පිළිතුරු දුන්නේය. වොෂිංටන් ජනපදයේ. හොඳයි දැන් කියන්න ඔයා මේකේ ‍වෙන මොනවද දැක්කේ කියලා?

මේ අය හරිම තද පාටයි, ස්කලී කීවාය. මිනිස්සුන්ගෙත් මිනිස්සු, මම හිතන්නේ එහෙම කිවුවොත් තමයි ගැලපෙන්නේ.

බොහොම හොඳයි, මොල්ඩර් කීවේය. ඒකට අමතරව මොනවද දකින්නේ? අමුතු දෙයක්, සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්? තේරුම් කරගන්න බැරි දෙයක්?

ස්කලී එය තුළට ගැඹුරු බැල්මක් හෙළුවාය. මට හිතා ගන්න බෑ, හිස සොළවමින් ඇය කීවාය.

ඔයාට හිතාගන්න බෑ, මොල්ඩර් හිස සළමින් කීවේය. පුදුමේ කියන්නේ එක්සත් වනාන්තර සේවයත් කියන්නේ ඕකම තමයි.

ඒ කියන්නේ? ස්කලී ඇසුවාය. මේ අයට මොනවා හරි වෙලාද?

මොල්ඩර් බොත්තමක් එබුවේය. ඡායාරූපය අතුරුදහන් විය. ඒ අය අතුරුදහන් වෙලා, ඔහු ‍කීවේය.

ඔහු තවත් ඡායාරූපයක් දිස් කළේය. එහි වූයේ මිනිසුන් දෙදෙනෙක් පමණි. ඔවුහු මල් මල් වැටුණු කමීස හැඳ වැරැහැලි වූ නිල් පැහැති කළිසම් හැඳ උස් බූට් සපත්තු පැළඳ සිටියෝය. නොපීරූ කොණ්ඩා හා රැවුල් වලින් යතු වූ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු අශ්වවල්ගාකාර අයුරින් කොණ්ඩය වවා තිබුණු අතර අනෙකා නළල් පටයක් හිසෙහි බැඳගෙන සිටියේය.

මේ ගොල්ලෝ හරියට 1960 විකට ඇඳුම් තරඟයකට යන්න වගේනේ ලෑස්ති වෙලා ඉන්නේ, ස්කලී කීවාය. බෙල් බොටම් විතරයි අඩු.

අඳුනාගන්න ඩග්ලස් ස්පිනී සහ ස්ටීවන් ටීග්, මොල්ඩර් පැවසුවේය. ඒ ගොල්ලෝ ඒ අයව හඳුන්වාගන්නේ ගස් නින්ජා කියලා. කොහොම උනත් ඒ ගොල්ලන් කරන වැඩේට ඒ අය හරි දක්ෂයි.

මොනවද ඒ ගොල්ලෝ කරන්නේ? ස්කලී ඇසුවාය.

දැව කම්කරුවන්ට, ලී මෝල් වලට හානි කරන්න පුළුවන් කියලා ඔවුන්ට හිතෙන හැම දේම. ඒ ගොල්ලන්ගේ ප්‍රියතම වැඩේ තමයි ලී ඉරන කියත් කැඩෙන විදිහට ගස් වල ඇතුළට යකඩ ඇණ බස්සන එක. මොල්ඩර් කීවේය.

පරිසර ත්‍රස්තවාදියෝ, ස්කලී අපහාසාත්මකව කීවාය. එෆ්බීඅයි ඒජන්තවරියක ලෙස ඈ ඔවුන් පිළිබඳව දැන සිටියාය. ඔවුන් වනාහී සොබාදහමට ආදරය කරන්නවුන් ලෙස හඳුන්වාගනිමින් පරිසරය වෙනුවෙන් සටන් වදින්නට ඕනෑම කෙනෙක් සහ ඕනෑම දෙයක් යකාට ගියත් කමක් නැතැයි පරිසරයේ නාමයෙන් ක්‍රියාත්මක වන්නාවූ පිරිසකි. යහපත් දෙයක් කරනවායි කිය කියා කරන්නේම නරක දේවල්මයි. වැඩකට නැති අය!

ටීග් සහ ස්පිනී කියන්නේ ඊටත් අන්ත දෙන්නෙක්, මොල්ඩර් පැවසුවේය. සතිදෙකකට ඉස්සෙල්ලයි ඒ ගොල්ලෝ ගැන අළුත්ම ආරංචියක් අහන්න ලැබුණේ. අර මුලින්ම පෙන්නපු දැව කපන්නෝ කණ්ඩායම ජාතික ඔලිම්පික් වනාන්තරයේ මැද ඉඳන් ගුවන්විදුලි සංඥා වලින් කියලා තියනවා, ටීගුයි ස්පිනීයි දෙන්නා ගස් වලට යකඩ ඇණ බස්සන වගේම ඒ ‍ෙගාල්ලන්නේ ආම්පන්න කඩලා දාන විස්තර වගයක්. සතියකට පස්සේ ගුවන්විදුලි සන්නිවේදන සංඥා අක්‍රීය වෙලා.

හේතුව? ස්කලී ඇසුවාය.

දන්නෑ, මොල්ඩර් කීය. ඒ ලී ඉරන්නන්ව කුළියට ගත්ත සමාගම එක්සත් වනාන්තර සේවයෙන් ඉල්ලා සිටියා මේ ගැන හොයන්න කියලා. වනාන්තර සේවය සතියකට ඉස්සෙල්ලා නිළධාරීන් දෙන්නෙක්ව යැවුවා මේ වෙනකල් ඒ අය ගැනත් ආරංචියක් නෑ.

පේන විදිහට ගස් නින්ජලා ටික සෙල්ලමට නෙවෙයි වගේ මේවා කරන්නේ, ස්කලී කීවාය. ලෙල්‍ලම් වෙන වැඩ වගෙයි මේ අය කරන්නේ.

ඒකම තමයි දැව සමාගමත් වනාන්තර සේවයත් කියන්නේ, මොල්ඩර් කීවේය. ඒ අය ඉල්ලුවා කාර්යාංශයට මැදිහත් වෙන්න කියලා. මම සෑහෙන අමාරුවෙන් මේ පරීක්ෂණය අපිට කරන්න ඉල්ලගත්තේ.

සෑහෙන අමාරුවෙන්? පරිසර විනාශ පරීක්ෂණයක් ඉල්ල ගන්න? ස්කලී ප්‍රශ්නාර්ථයක් සහිතව කීවාය.

ඉන්පසු ඇය මොල්ඩර් විරිත්තනු දුටුවාය. ඇය සූදානම් ශරීරයෙන් සිටියාය.

ඇත්තටම ඔයාට මොකද මේ පරීක්ෂණය ඉල්ල ගන්න හිතුණේ? ඇය ඇසුවාය.

මේ ඡායාරූපය දිහා බලන්න, ඔහු පිළිතුරු දුන්නේය.

අළුත් රූපරාමුවක් තිරයට පැමිණියේය. එහි වූයේ තවත් දැව කපන්නන් පිරිසකි. ඔවුන්ද දැඩි ස්වාභාවයක් පෙන්නුම් කරන්නන් වුවත් ඔවුන් හැඳ සිටියේ පරණ තාලයේ ඇඳුම්ය.




මේක අරගෙන තියෙන්නේ 1934, මොල්ඩර් කීවේය. පරිසර ත්‍රස්තවාදය කියන වචනය හැදෙන්නත් ඉස්සර කාලේ මේ අය WPA කියන රාජ්‍ය ආයතනය වෙනුවෙන් වැඩ කර කර ඉන්දෙද්දී මේ කැළේදීම කිසිම සළකුණක් නැතුව අතුරුදහන් වුණා. එයින් එක්කෙනෙක් වත් ආයේ හම්බ වුනෙත් නෑ අහන්න ලැබුණෙත් නෑ.

ඔයා අනුමාන කරන්නේ එතකොට මේක කාගේ වැඩක් කියලද? ස්කලී ඇසුවාය. සමහරවිට බිග්ෆුට්?

වෙන්න බෑ, මොල්ඩර් හැඟීමකින් තොරව කීවේය. බිග්ෆුට්ට වුනත් මෙච්චර ගොඩක් අතුරුදහන් කරන්න බැරිවෙයි.

ස්කලී සුසුමක් හෙළුවාය. ඇයගේ විහිළුව සඳහා බිග්ෆුට් හැර වෙනත් දෙයක් ආදේශ කිරීමට ඇය දැන සිටිය යුතුව තිබුණි. ඔහුට බිග්ෆුට් යනු විහිළුවක් නොවන බව ඇය දැන සිටියේ නැත.

ස්කලී මේ අහන්න, ඔහු ප්‍රමෝදයෙන් කීවේය. අපි කැළේට පොඩි චාරිකාවක් දැම්මොත් කොහොමද? මම හිතනවා ඔයා පොඩිකාලේ බාලදක්ෂිකාවක් විදිහට ඉන්න ඇති කියලා.

මොල්ඩර්ගේ අනුමානය නිවැරදි එකක් වූයේය. ස්කලී බාලදක්ෂිකාවක් වී සිටියාය. එමෙන්ම ඇය ලබා ගත හැකි සෑම පදක්කමක්ම ලබාගෙන සිටියාය.

නමුත් ඒවා දැන් ඇයට ප්‍රයෝජනවත් නොවනු ඇත. මොල්ඩර්ගේ ප්‍රියතම, එක්ස් ලිපිගොනු  නම් සිතියම් ගත නොකරන ලද දේශ දේශාන්තර වල  කළහැකි දේවල් ඇයගේ බාලදක්ෂිකා පුහුණුවේ වපසරියට අයත් වූයේ නැත...



1 අදහස්:

  1. අලුත් කතාවක් .නියමයි...

    ReplyDelete