බිහිසුණු රාත්‍රිය - 1 වන පරිච්ඡේදය
උදෑසන ඝන මීදුම
විසින් වනාන්තරය වසා ගන්නා ලදී.
අළු පැහැති
දුමක් තුරු විටප වෙළාගත් සෙයක් දක්වමින් සදාහරිත දැවැන්ත වෘක්ෂයන් අතරේ එය පැතිරී
තිබුණි.
පහත් කටු පඳුරු
වටා එය සුළියක් ලෙසින් එතෙමින් තිබුණි.
වනයේ පොළව වසා
ඇතිරිල්ලක් සේ වූ පයින් ගස් රොඩු කැබැලි මත්තෙහි එය සෙමෙන් පතිත වෙමින් තිබුණි.
නිසල වනය, මරණය
සේ ශාන්ත වූයේ එහි වූ එකම ශබ්දය ලෙසින් හුදකළා වූ වෘක්ෂ මණ්ඩකයකුගේ නාදයක් පමණක්
ඇසෙන්නට වූයේය.
එය අති පෞරාණික
කාලයකට හිමිකම් කියන දර්ශනයක් මවා පෑවේය. විසල් තුරු හිස් ළපටි පැළෑටි සේ පවතින අවධියක,
පැසිෆික් වෙරළාසන්න ප්‍රදේශවල ස්වදේශික රතු ඉන්දියානුවන් පමණක් ජීවත් වන කාලයක
දර්ශන මාත්‍රයක් හුවා දැක්වීමට එය සමත් වූයේය.
එය වනාහී සුදුපැහැ
සම ඇත්තන් මෙම ප්‍රදේශයට සංක්‍රමණය වීමට පෙර වූවක් විය. ඔවුහු එය එක්සත් ජනපදයේ
කොටසක් බවට පත් කළහ. තම පළමු ජනපතිවරයාගෙන් පසුව ඔහු නමින් නම් කරන ලදහ. එය
වොෂිංටන් ජනපදය වූයේය.
1990 වන
වර්තමානය වන විට අළුත් අමුත්තන් මේ වනාන්තරයට සංක්‍රමණය වී තිබුණි. වනාන්තරයෙන්
බඩවියත පුරවා ගන්නා දැව කම්කරුවන් එහි අරක්ගෙන තිබුණි. ඔවුන් විසින් කපන ලද ගස්
නිසා එළි පෙහෙළි වුන තැනක ඔවුහු සිටගෙන සිටියෝය. කපන ලද දැවැන්ත ගස් වල ලී කොටන්
ඔවුන් අවට වූයේය.
ඔවුහු තිස්
දෙනෙක් එහි සිටියෝය. ඔවුහු සියළු දෙනාම තමන් සතුව ඇති වානේ පොරෝ හා බලගන්වන කියත්
මෙන් දැඩි සිත් ඇති යකඩ මිනිසුන් වූහ. ඔවුහු සියළු දෙනාම වනයේ ඇති ඕනෑම අන්තරායකට
මුහුණ දීමට හැකි වන සේ පදම් වී සිටියහ.
නමුත් මේ මොහොත
වන විට ඔවුහු යම් භීතියකින් සැළෙමින් සිටිනා අයුරක් දක්නට ලැබිණ.
නායකයා යැයි
කිව හැකි ජැක් ඩයර් නම් අයෙක් තම ගාම්භීර හඬින් මීදුම පසාරු කරමින් හඬ දුන්නේය. “මේක අපි ඔක්කොම
මරාවි!”
විසල් සිරුරකින්
හෙබි බොබ් පර්කින්ස් නම් අයෙක් ඊට පිළිතුරු බැන්දේය. “මම කිවුවා අපි
මේක දවස් දෙකකට ඉස්සෙල්ලා කපලා ඉවර කරමු කියලා. කෝ ඇහුවද? ඩයර් තමුසේ මට එතකොට
මොකක්ද කිව්වේ? මම කිකිළියෙක් වගේ බයයි කියලා. දැන් කවුද එහෙනං කෙකර ගාන්නේ?”
ඩයර්,
පර්කින්ස් ඉදිරියට පිය මැන්නේය. උහු දෙදෙනා තර්ජනාත්මකව මුහුණට මුහුණ බලාගෙන
සිටියහ. ඔවුන්ගේ කැළැල් සහිත අත් මිට මෙළවෙමින් කුළල් කා ගන්නා සංඥාවක් නිකුත්
කරමින් තිබිණ.
ඩයර් එක්වරම
පසුබැස්සේය. “අපි
කෙළ ගන්න එකේ තේරුමක් නෑ,” ඔහු කීවේය. “අපිට හැප්පෙන්න වෙන්නේ වෙන දෙයක් එක්ක. මට පුළුවන් නම් ඒක මගේ මෙන්න මේ අත්
දෙකට අහු කර ගන්න, මම-” ඔහු තම දෑතින් හිස් අවකාශය බදන්නට උත්සාහ කළේය.
පර්කින්ස් නම්
තම කේන්තිය අඩු කරගෙන සිටියේ නැත. “වීරයා මැරිලා නෑ එහෙනම්? දවස් දෙකකට ඉස්සෙල්ලා හිටියා
වගේමයි.”
“මේක
මොන වගේ දෙයක්ද කියලා දවස් දෙකකට කලින් දැනගෙන හිටියේ නෑනේ පර්කින්ස්,” ඩයර් එකෙණෙහිම
කීවේය. ඉන්පසුව ඔහු තම හිස දෙපසට වැනුවේය. “දැන් වුනත් කවුරුත් දන්නේ නෑනේ.”
“කවුරු
හරි ගිහින් උදව් ඉල්ලගෙන එන්න ඕනි,” පර්කින්ස් කීවේය.
ඔහුගේ එම අදහස
අනෙක් දැව කපන්නන් අතර කසුකුසුවක් හා එය හෙළා දකින ආකාරයේ සිනහවන්ට ලක් වූයේය.
ඩයර් ඔවුන් වෙනුවෙන්
කතා කළේය. “එතකොට
අපි මොකද කරන්නේ?”
ඔහු ඇසුවේය. “අපි
මෙතනට වෙලා උදව් එනකල් බලන් ඉන්න ඕනද?”
“අපි
උත්සාහයක් කරලා බලමු,” පර්කින්ස් කියා සිටියේය. “අපි කවුරුහරි කෙනෙක් මෙතනින් පිටවෙන්න ඕනි.”
“ඒ
කෙනාට වෙලාවට යන්න බැරි වුනොත්? රෑ වෙන්න ඉස්සෙල්ලා ඒ කෙනාට පාරට වැටෙන්න බැරි
වුනොත්? ඊට පස්සේ?” ඩයර් ඇසුවේය.
පර්කින්ස්
පිළිතුරු දුන්නේ නැත. පිළිතුරු දීමට අවශ්‍යතාවයක්ද නොතිබුණේ රාත්‍රිය උදා වීමෙන්
පසුව වනාන්තරයේ නතර වීමෙන් සිදුවන්නා වූ දෙය ඔවුන් සියළු දෙනාම දැන සිටි බැවිනි.
ඩයර් අනෙකුන්
දෙසට හැරුණේය. “මම
කියන්නේ අපි ඔක්කොම මෙතනින් පිටවෙමු. කට්ටි කට්ටි හැදිලා උත්සාහයක් දීලා බලමු.”
වාද කිරීමට
පර්කින්ස් මුව විවෘත කළේය.
ඔහු යමක් කීමට
පෙර, පිරිසේ අයෙක් හඬ දුන්නේය. “මේක අපේ අන්තිම අවස්ථාව!”
“ආයේ
නම් මේකේ රෑ නවතින්න බෑ!” තවෙකෙක් ගුගුළේය.
“තමා
හිසට තම අතමය සෙවනැල්ල! මැරියල්ලා නැත්නම් දුවපල්ලා.” තුන්
වැන්නෙක්ද එකතු වුනේය.
පර්කින්ස්
අවසන් වරටත් උත්සාහ කළේය. “මේක සියදිවි හානි කර ගැනීමක්! තමුසෙත් ඒක හොඳටම දන්නවනේ ඩයර්!”
ඩයර් ඒ වනවිටත්
සිටියේ ගස් නැඟීම සඳහා බඳෙහි පටලවා තිබූ බරැති පටිය මුදා හරිමිනි.
ඔහු වටා උන්
අන් අයද එසේ කරමින් සිටියෝය.
තම තමන්
මන්දගාමී කරවන කිසිම දෙයක් ඔවුනට අවශ්‍යව තිබුණේ නැත. ඔවුන් සියළු දෙනාම සිටියේ
තරඟයකය. වනාන්තරයේ තුරු හිස් වලට උඩින් සෙළවෙන්නාවූ සූර්යයා සමඟ ඔවුහු තරඟයක ෙයදී
සිටියෝය. එය, රාත්‍රියට ඉස්සර වීම සඳහා තරඟයක් වූයේය.
...............................................................................................................
එම දිනයේ සන්ධ්‍යාව වන විට ඩයර් තවමත් දුවමින්
සිටියේය. එසේත් නැතහොත් එයට උත්සාහ කරමින් හෝ සිටියේය. ඔහුගේ සිරුරේ පැත්තක්
රිදුම් දුන්නේ, කටුවක් තම සිරුරට කිඳා බැස ඇති ආකාරයේ වේදනාවක් දෙමිනි. තම දෙපා
මහත් බරක් ලෙස ඔහුට දැනුණි. කටේ කෙළ හිඳී සෑම සුස්මක්ම ආයාසකර එක්ක බවට පත් වූයේ
නමුදු අතුපතර තුළින් පෙනී නොපෙනී යන්නාවූ සූර්යාලෝකය ඔහුට උත්තේජනයක් ලබා දෙන
දිරිගැන්වීමක් බවට පත් වී තිබුණි.
අන් අය කොහේ
සිටිත්දැයි කියා ඩයර් කල්පනා කළේය. ඔවුන් ඔහුට වඩා බොහෝ දුර ගොස් ඇති බව වටහා
ගැනීමට ඔහු ප්‍රමාද වැඩිය. ඔවුන් සියල්ල එකට ගමන් කළා නම් මැනැවයි ඔහුට සිතුණේය.
යමෙක් තනිව ගමන් කරත්දී වේගවත් විය හැකි නමුදු ඔහු වඩාත් බියපත් හා අසරණ තත්වයකට
පත් වන බව ඩයර්ට තේරුම් ගියේය. ඔහු ජීවිතයේ කවරදාකටත් වඩා මේ මොහොතේ බියපත්ව
සිටියේය.
“ඕහ්...” ඔහුගේ කෑගැසීම
නිසල වනය සිසාරා ගියේය.
ඔහු අත්තක
පැටළී බිම වැටී සිටියේය. ඔහු මුනින් අතට වැටී සිටි අතර ඔහුගේ පාදය අත්තේ තවමත්
පැටළී තිබුණේය. තම වළලුකර බිඳෙන ශබ්දය ඔහුටම ඇසෙන්නාක් මෙන් වූයේය.
දැඩි වේදනාව
සඟවා ගන්නට ඔහු උත්සාහ කළේය. තම පාදය අත්තෙන් නිදහස් කරගෙන ඔහු එතනම කෙළින් වී හිඳ
ගත්තේය. ඉන්පසු ඔහු තම සපත්තුවේ පටි ලිහා දමා සෙමින් එය ගැලවූයේය.
“තත්වය
දරුණුයිද?”
හඬක් ඇසුණේය.
හති අරිමින්
පර්කින්ස් ඔහු දෙස බලාගෙන සිටිනවා ඔහු දුටුවේය.
“මම
හිතන්නේ කැඩිලා,”
ඩයර් කීවේය.
“කමක්
නෑ යං,”
පර්කින්ස් ඔහුට කීවේය. “ඔහොමම නැගිට්න්න.”
ඩයර් තම වළලුකර
අතින් ඇල්ලුවේය. ඔහු වේදනාවෙන් ඇකුළුණි. “මම හිතන්නේ නෑ මට පුළුවන් වෙයි කියලා,” හෙතෙම කීවේය.
“කමක්
නෑ යං, මං කිවුවනේ,” පර්කින්ස් කීයේය.
ඔහු ඩයර්ගේ
උරහිස් යටින් තම දෑත පටලවා වෙර ගෙන ඔහුව එසවූයේය.
“අතක්
මගේ කරට දාන්න,”
පර්කින්ස් කීවේය. “අපි දෙන්නම එකට යන්න බලමු.”
“ස්තූතියි,” ඩයර් කීවේය. “ඒත් ඇයි මෙහෙම
කරන්නේ? ඔෙහ්ට මාව කොහෙත්ම අල්ලන්නේ නෑනේ?”
“අමතක
කරලා දාන්න,”
පර්කින්ස් කීවේය. “අපි දෙන්නා එකිනෙකාට අකමැති වෙන්න ඇති. ඒත් අපි ඔක්කොම මිනිස්සුනේ. මේ
වෙලාවේ හැටියට මිනිස්සු එකට ඉන්න ඕනි.”
“ඔව්,” ඩයර් කීවේය. “මට මතකයි මම
පොඩි කාලෙදි අහපු බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කිවුව එක දෙයක්. ‘අපි එකිනෙකා
එකට සිටිමු. නැත්නම් වෙන වෙනම එල්ලෙමු.’ අපි එකට හිටියේ නැත්නම් ඉස්සරහට එන දේ සුභදායක වෙන එකක්
නෑ.”
“කතා
ඇති අපි දැන් යං,”
පර්කින්ස් කීවේය. “දැනටමත් කළුවර වැටිලා.”
ඔවුහු නැවතත්
ගමන් ආරම්භ කළහ. නමුත් ඔවුනට වේගයෙන් ගමන් කිරීම අපහසු කාර්යයක්ව තිබිණ. මිනිසුන්
දෙදෙනෙකුට පාද තුනක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැත. අංගයක් අහිමි වූ යාන්ත්‍රික
උපකරණයක් ගමන් කරන්නේ යම් සේද ඔවුහුද එසේ ගමන් කරන්නට වූහ.
“තව
හැතැප්ම කීයක් යන්න තියනවද?” ඩයර් හති දමමින් ඇසුවේය.
“අනේ
මන්දා,”
පර්කින්ස් අමාරුවෙන් පිළිතුරු දුන්නේය. “මේ හරියේ හැතැප්ම කණු වත් තිබුණා නම් කියන්න තිබුණා.”
“ඇහුණද
ඒ සද්දේ?”
ඩයර් ඇසුවේය. ඔහු ගමන් කිරීම නවතා දැම්මේය.
ඈතින් එන
කුරුමිණියන්ගේ මෙන් ශබ්දයකට ඔහු ඇහුන්කන් දෙමින් සිටියේය.
“කුරුමිණියෝ...,
ඔය කුරුමිණියන්ගේ සද්දේ,” පර්කින්ස් කීවේය. “උන් රෑ වෙන කොට තමයි එළියට එන්නේ.”
“ඒ
කියන්නේ දැන් රෑ වෙලා, නේද?” ඩයර් ඇසුවේය. ඔහු ගල් ගැසී සිටියේය. “අපිට බේරෙන්න බැරිවෙයි වගේ”
කුරුමිණි ශබ්දය
තීව්ර වෙමින් ළං ළංව ඇසෙන්නට ගත්තේය.
“බෙන්ජමින්
කිව්ව දේ බොරු වුනා එහෙනම්,” ඩයර් කීවේය. “එකට සිටිමු එකට මැරෙමු.”
“නෑ!” පර්කින්ස්
හඬගෑවේය. “අපි
උත්සාහය අත් අරින්න නරකයි!”
ඔහු බලෙන්ම
වාගේ ඩයර්ව ඉදිරියට ඇදගෙන ගියේය.
කුරුමිණි ශබ්දය
ඒ වන විටත් ඔවුන් වට කරමින් ඇසෙමින් තිබුණි. ඔවුන් වටා වූ කැළය දීප්තිමත්ව ආලෝකමත්
වෙමින් තිබුණි.
පර්කින්ස් ඉහළ
බැලුවේය. තුරුහිස් ඉහළින් වූ අන්ධකාරය පහවී දීප්තිමත් කොළ පැහැති සුළියක් ආකාර වූ වළාකුළක්
දක්නට ලැබිණ. පර්කින්ස් ගේ උරහිස් පහත වැටුණේය. ඔහු ඩයර්ව අත හැරියේය.
ඩයර් එතැනම
දණින් වැටී සිටියේය. පහත් වන්නාවූ දීප්තිකර ආලෝකයෙන් ඩයර්ව ආරාක්ෂා කිරීමට මෙන් පර්කින්ස් ඔහු මුවා කරමින් සිටගෙන සිටියේය.
කුරුමිණි ශබ්දය
කන් බිහිරි කරවන ආකාරයෙන් වර්ධනය වූයේය.
එය විසින්
කැළයේ අවසාන මනුෂ්‍යයාගේ ශබ්දයත් ගිලගත්තේ, ඒ වනාහී පර්කින්ස්ගේ වේදනාත්මක විලාපය
වූයේය.
අබිරහස් සලකුන කතා ටිකේ ඉතිරි කොටස් ටිකත්
ReplyDeleteඉක්මනට දාන්න...ජය වේවා!!"!!"..දිගටම ලියන්න.
අභිරහස් සළකුණු පොතේ ඉතුරු කොටස් පොත මුද්‍රණය කළාම තමයි කියවන්න වෙන්නේ... වෙබ්සයිට් එකේ දාන්නේ නෑ....
Delete