පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 3වන පරිච්ඡේදය


ෆොක්ස් මුල්ඩර් හමුවීමට යත්දී තමන්ට කුමන් ආකාරයේ අනපේක්ෂිත දෙයක‍ට මුහුණ දෙන්නට සිදුවේදැය ස්කලී කල්පනා කළාය.
ඇය කලබලයට පත්ව තිබුණේ නැත.
මුල්ඩර්ගේ කාර්යාංශය තිබුණේ එ‍ෆ්බීඅයි මූලස්ථානයේ පාදමේය. ඔහුගේ කාර්යාල දොරෙහි ඔහුගේ නම සඳහන් කර තිබුණේන නැත. ජෝන්ස් නොවිනි නම්, ස්කලී එතැන කිසිදා සොයා නොගනු ඇත.

ජෝන්ස් දොරට තට්ටු කළ නමුදු එය විවෘත කරන තෙක් බලා නොසිට ඇතුළට ගියේය. ස්කලීද, ඔහු පසුපස ආවාය.

එය වනාහී ස්කලී කිසි දිනෙක දැක නොමැති වර්ගයේ එෆ්බීඅයි කාර්යාලයක් වූයේය. එහි බිත්ති අසළ ගොඩ ගසා තිබුණු පොත්, පොළවේ සිට සිවිලිම දක්වා විය. පැරණි පුවත්පත් හා නොයෙක් වාර්තා හා කඩදාසි වලින් මේස පිරී තිබුණි. සමහරක් බිම වැටී තිබුණේ එවායෙහි යම් යම් වස්තූන් සහිත ඡායාරූපද යන්තමින් ප්‍රදර්ශනය කරමිනි. ස්කලී, බ්ත්තියේ අලවා තිබුණු පෝස්ටරයක් කියෙවුවාය. මට විශ්වාස කිරීමට උවමනාය. එහි ලියා තිබුණි.

ඔවුන් එහි ඇතුල් වන විට මුල්ඩර් මේසයක් අසළ සිටගෙන සිටියේය. දැඩි ආලෝකයකට මධ්‍යගත කරන ලද ඡායාරූප කදාවක් නිරීක්ෂණය කිරීමෙහි ඔහු පසුවිය. එයින් දෑස ඉවත් කරගෙන ඕනෑවට එපාවට මෙන් තම අමුත්තන් පිළිගැනීමට ඔහු සූදානම් විය.

ස්කලීට ප්‍රථම වරට මුල්ඩර් දෙස බැලීමට හැකිවිය. නමුත් එය කිසිසේත්ම ඔහුව හොඳින් තේරුම් ගැනීමට ප්‍රමාණවත් වූයේ නැත. නොගැලපෙන අච්චු දෙකක් එකට හා කරන්නට යත්න දරන්නේ යම් සේද, එසේම එයද අමාරු කර්තව්‍යයක් වූයේය.

ඔහුගේ තරුණ මුහුණ, වඩාලාත්ම ගැටවර ස්වාභාවයක් ගත්තේ එ‍ෆ්බීඅයි නිළදාරියෙකුට නොතරම් ආකාරයෙනි. කාර්යාංශය, ප්‍රිය නොකරන ආකාරයේ දිගු කෙස් කළඹක් ඔහු සතුවිය. ඔහුට පහසුවෙන්ම රූපවාහිනී නිවේදකයකු විය හැකිව තිබුණි.

නමුත් ඔහුගේ දෑස්.

යම් අමනුෂ්‍ය පරිගෘහිත පෙනුමක් සම්මිශ්‍රණය වූ තලතුනා ප්‍රඥාවන්ත බවක් ඒවායින් ප්‍රාදුර්භූත වූයේය.

සමාවෙන්න කපටි සිනහවක් පා ඔවුන් පිළිගනිමින් මුල්ඩර් කීවේය. සාමාන්‍යයෙන් මෙහාට කුණුකන්දල් ඇරෙන්න වෙනත් දේවල් එනවා අඩුයි.

ජෝන්ස් කෙළින්ම මාතෘකාවට බැස්සේය. මුල්ඩර් මෙන්න ඔබගේ අළුත් සහායිකාව. හඳුනාගන්න, ඩානා ස්කලී. මේ තමයි ෆොක්ස් මුල්ඩර්.

සහායිකාවක්? මගේ වැදගත්කම පහුවෙලා හරි තේරුම් ගිය එක දැනගන්න ලැබීම සතුටක් මුල්ඩර් ස්කලී දෙසට හැරුණේය. ඇත්තටම ස්කලී, ඔයා කාත් එක්කද අවුලක් දාගත්තේ මේ වැඩේට හවුල් වෙන්න?
ස්කලී තම ඉවසීම මනා ලෙස පවත්වාගෙන සිටියාය. ඇයට කලින් සිටම හැඟී ගියේ මුල්ඩර් විසින් තමාව තම ඉවසීමේ සීමාවෙන් පිටතට ඇදගැනීමට උත්සාහ දරන බවකි.

ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඔබත් සමඟ ඉදිරියේදී වැඩ කරන්න.

ඇත්තට? මුල්ඩර් ඇසුවේය. ඔහු ඇගේ දෑස දෙස කෙළින්ම බැලුවේය. මට නම් හිතන්නේ ඔයාව මෙතනට ඔත්තුකාරයෙක් විදිහට එවලා වගේ.

ස්කලීගේ ආචාරශීලී සිනහව අතුරුදන් වුනි. ඔබට මගේ සුදුසුකම් ගැන සැකනම්, මම ඒවා එකින් එක පෙන්වන්න කැමතියි. ඇය කීවාය.

පිළිතුරක් දෙනවා වෙනුවට මුල්ඩර් ලියකියවිලි හාරාඅවුස්සන්නට වූයේය. අවසානයේදී ඔහු ඝන ලිපිගොනුවක් ඔසවා ගත්තේය.

“’අයින්ස්ටයින්ගේ පරස්පරවිරෝධී නිවුන් න්‍යාය - නව අර්ථකථනයක්,’” ඔහු එය කියවූයේය. ඩානා ස්කලීගේ ආචාර්ය උපාධි නිබන්ධනය. මේකත් සුදුසුකමක් වෙන්න ඇති. අයින්ස්ටයින් ප්‍රතිරචනය.
මුලින්ම ඔබ ඕක කියෙව්වාද? තම කටහ‍ෙඬ් වේගවත් බව අඩුකර ගැනිමට යත්න නොදරාම ඇය ඇසුවාය.

ඇත්ත වශයෙන්ම, මුල්ඩර් කීවේය. මේක හරි අපූරු නිබන්ධනයක්. ඒත් මට මෙහෙදී ගනුදෙනු කරන්න සිද්ධවෙන බොහෝ සිදුවීම් වල භෞතික විද්‍යා න්‍යායයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා දකින්නට ලැබෙන්නේ නෑ.

ඔබ දන්නවාද? ඒජන්ට් ස්කලී කියන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරියක්, ජෝන්ස් කීවේය. ඇය දැනට ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු සිදුකරනවා.

ඔව් මම දන්නවා, මුල්ඩර් පැවසීය. හොඳයි අපට දැනගන්න පුළුවන් වෙයිද මෙන්න මේක සම්බන්ධව ඇයගේ වෛද්‍ය විද්‍යාත්මක මතය මොකක්ද කියලා?

මුල්ඩර් තම කාර්යාලයේ ආලෝක පහන් නිවා දමා ඡායාරූප කදාව පණ ගැන්වීය. ඔහු තමා විසින් කලින් නිරීක්ෂණය කරමින් සිටි ඡායාරූපය එයට ඇතුල් කළේය. එවිට එම රූපය බිත්ති තිරයේ දිස් විය.

කැළෑවක් තුළ එළිමහන් තැනක මුනින් අතට වැටී මියගොස් සිටින තරුණියකගේ රූපයක් ස්කලී දුටුවාය.
ඔරිගන් වල කාන්තාවක්. වයස විසි එකයි. මරණයට නිශ්චිත හේතුවක් නෑ.

ඔහු දෙවැනි ඡායාරූපයද ඇතුල් කළේය. මේ ඇයගේ පිට පෙදෙසේ පහළ තිබුණු පැහැදිලි සළකුණු දෙකක්. ඩොක්ටර් ස්කලී, ඔබට පුළුවන්ද ඒවා හඳුනා ගන්න?

ස්කලී තිරය දෙසට වඩාත් ලංවී එම සළකුණු වඩාත් උන්නදුවෙන් අධ්‍යයනය කළාය.

සමහර විට මේවා ඉඳිකටු හෝ ඇල්පෙනෙති තුඩු වලින් ඇති වූ ඒවා විය හැකියි. ඇය කීවාය. සතෙකුගේ සපා කෑමක්, එහෙමත් නැත්නම් විදුලිය වැදීමක් වෙන්නත් පුළුවන්.

රසායන විද්‍යාව සම්බන්ධයෙන් ඔබේ දැනුම මට්ටම කොහොමද? මුල්ඩර් ඇසුවේය. මෙන්න මේක, ඒ තුවාලය වටේ තිබුණු ද්‍රව්‍යයක්.

අසුරු ගසන්නාක්මෙන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඇය ඊළඟ ඡායාරූපය අධ්‍යයනය කළාය. තමා පළමු වසර ශිෂ්‍යාවක්ව සිටි කාලයේ සිට මේ දක්වා එවැන්නක් ඇය දැක තිබුණේ නැත.

ඇය මඳක් තම ‍තොල් සපා ගත්තාය. ඒක ඝන ද්‍රව්‍යයක්. ඒත් මම මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නෑ. ඒක මොකක් හරි කෘතීම ප්‍රෝටීන් වර්ගයක්ද?

නොදන්නා බව පෙන්වීමට, මුල්ඩර් තම දෙවුර මඳක් ඉස්සීය. අනේ මන්දා. මාත් ඒ වගේ දෙයක් දැකල නෑ. බලන්න මේක දිහා-මේක දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ ස්ටර්ජිස් වලින්.

ඔහු නවතම ඡායාරූපයක් දර්ශනය කළේය. එවර එහි දිස්වූයේ ස්ථුල, යතුරුපැදි කරුවෙකුගේ මළ සිරුරකි. එහි පෙර වර්ගයේම සළකුණු දෙකක් සිරුරේ විය.




තවත් ඡායරූපයක් දර්ශනය වූයේය. මිනිසෙක් හිම මත මුනින් අතට වැටී සිටියේය. මෙහිද එම සළකුණු සිරුරේ එම ස්ථානයේම තිබෙනු දක්නට ලැබුණි. ටෙක්සාස් ප්‍රාන්තයේ ෂැම්රොක් වලින්. මුල්ඩර් කීය.
මේ ගැන ඔබේ මොකක් හරි නිගමනයක් තියෙනවද? ස්කලි ඇසුවාය.

මටද? මට නම් සෑහෙන්න නිගමන තියෙනවා, මුල්ඩර් කීවේය. නමුත් ඔබටත් මොකක් හරි නිගමනයක් ඇතිවෙන්න පුළුවන්. කාර්යාංශය තමන් කියන දේවල් ගන්න නොගන්න වර්ගයේ නිගමනයක්. කාර්යාංශය, මේ පරීක්ෂණය තේරුම්ගත නොහැකි අද්භූත වර්ගයට ඇදලා දාන නිගමනයක්. කාර්යාංශය මේ පරීක්ෂණ වසා දමලා අමතක කළ යුතු වර්ගයට දාන නිගමනයක්.

හදිසියේම තම බැන වැදීම මොහොතකට නතර කළ මුල්ඩර් දවසේ අමාරුතම ප්‍රශ්නය ස්කලීගෙන් ඇසුවේය. ඔබ පිටසක්වළ ජීවීන් විශ්වාස කරනවාද?

පිළිතුරක් දීමට පෙර ස්කලී මඳ වේලාවක් කල්පනා කළාය. මට ඒ දේවල් ගැන එච්චර උනන්දුවක් තිබුණේ නෑ. ස්කලී කීවාය.

විද්‍යාඥයෙක් විදිහට වත්?, මුල්ඩර් පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම ඇසුවේය.

තර්කානුකූලව නම් මම විශ්වාස කරන්නේ නෑ. අවිනිශ්චිත ස්වරයකින් ස්කලී කීවාය. මේ පුද්ගලයා සමඟ ඉදිරියේදී බොහෝ ගනුදෙනු කිරීමට ඇයට සිදුවනු ඇත. ලැබුණු අවස්ථාව ලත් තැනම ලොප් කරගැනීමට ඇයට වුවමනා වූයේ නැත. අභ්‍යවකාශය අතිවිශාලයි. ඒක තරණය කරන්න අවශ්‍ය ශක්තිය-

පොඩ්ඩක් හෝව්, මුල්ඩර් ඉස්සර විය. අර ගෑනු ළමයා ඔරිගන් වල. එයා තමයි හතරවෙනියා එයාගෙම ඉස්කෝලෙ එකම පන්තියක හිටපු අයගේ අභිරහස් මරණ ලයිස්තුවට එක්වුන. අපි දන්න විද්‍යාවට දෙන්න බෑ ඒවට උත්තර. ඉතින් අපි විද්‍යාව අභිබවා යා යුතු නැද්ද? ඔයගොල්ලො කියන අමුතු දේවල් ගැන අපි අවධානය යොමු කළ යුතු නැද්ද?

ස්කලීට තවදුරටත් ඉවසාගෙන සිටීමට හැකිවූයේ නැත. ඇයගේ ශෛලිය සුකොමාල වූවක් නොවීය.
අපි දන්නෙ නැත්නම් අර ගෑනු ළමයා මැරුණේ කොහොමද කියලා, ඇය පවසාගෙන ගියාය, ඒකට හේතුව කාය විච්ඡේද පරීක්ෂණයෙදි අපිට මොනවා හරි මඟ හැරීම වෙන්න පුළුවන්. ඒක නම් අනිවාර්යයෙන්ම කිසිම පිළිවෙලක් නැති මරණ පරීක්ෂණයක් වෙන්න ඕනි. අමුතු කියලා මම නම් අර්ථකථනය කරන්නේ එක දෙයයි. විද්‍යාවේ පරාසයන්ගෙන් පිටත, යමකට පිළිතුරු ඇති කියලා හිතනවා නම් ඒකයි මම දකින්නේ අමුතු දෙයක් විදිහට. පිළිතුරු විද්‍යාව තුළම තියනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ පිළිතුරු සෙවීමට අවශ්‍ය තැන බලන්නේ නැති එක.

කුල්මත් සිනහවක් මුල්ඩර්ගේ මුහුණෙහි ඇඳී ගියේය.

මම සතුටු වෙනවා ඔබ එහෙම හිතන එක ගැන, ඒජන්ට් ස්කලී, ඔහු කීවේය. මට විශ්වාසයි ඒජන්ට් ජෝන්ස් පවා එකඟ වෙයි ඔබ සමඟ. අනිත් එක, ඒකට තමයි F.B.I කියන එකේ ‘I’ කියන එක තියෙන්නේ. පරීක්ෂණ කිරීම තමයි අපේ රාජකාරිය. අපි මුලින්ම ඒක ඒක කරලා ඉන්න එක හොඳයි මගෙ හිතේ.

මුල්ඩර් ඡායාරූප ප්‍රක්ෂේපණ යන්ත්‍රය ක්‍රියාවිරහිත කොට කාමරයේ ආලෝකය දැල්වූයේය.

හෙට උදේ පාන්දරින්ම හමුවෙමු ස්කලී, ඔහු උ‍ද්‍යෝගිමත් ලෙස පැවසුවේය. හරියටම උදේ අටට අපි ඔරිගන් බලා පිටත් වෙනවා.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply