පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 2 වන පරිච්ඡේදය


ඩානා ස්කලී තමා ඉදිරිපස ඇති මෘත ශරීරය වෙත නැඹුරු වී සිටියාය. එය කාන්තාවකගේ මෘත ශරීරයක් නොව සුදුමැලි වී ගිය පිරිමි මළ සිරුරක් විය.

ඇයගේ මුහුණෙහි කිසිදු හැඟීමක් ප්‍රකට වූයේ නැත. වම්බටු ගෙඩියක් දෙස බලා ඉන්නවාක් මෙන් ඇය එදෙස බලාගෙන සිටියාය. එය හුදෙක් දෛනික කර්තව්‍යයක් බවට පත්වී තිබුණි.

ස්කලී වනාහී ශෝභමාන තරුණියක් වූවාය. නමුදු ඇයගේ රැකියාව ලැබීමට හේතුවූයේ එම පෙනුම නොව ඇගේ විශිෂ්ට බුද්ධිය විය. ඇය ශූර, එමෙන්ම එය පෙන්වීමටද නොපැකිළෙන වර්ගයේ තරුණියක් වූවාය. ඇය රැකියාව සඳහා පැමිනෙන කාලයේ, එ‍ෆ්බීඅයි ආයතනයද ඇය වැනි කෙනෙකු සොයමින් සිටියේය.

ඇයගේ මෑත කාලීන කාර්යය වූයේ එ‍ෆ්බීඅයි පුහුණු ඇකඩමියේ පන්තියක උගැන්වීම වූයේය. අද දින ඇය මෘත ශරීරයක් යොදා ගනිමින්, විදුලිය වැදීමනේ සිදුවූ මරණයක් හඳුනා ගන්නේ කෙසේද යන්න උගන්වමින් සිටියාය. ඇයගේ දේශන ඉතා පැහැදිලි වූයේය. නමුදු තාක්ෂණික කරුණු විස්තර කිරීමේදී විදුලියක් මෙන් ඇය වේගවත් වූවාය. ඇයගේ ශිෂ්‍යයන්ට ඒවා ග්‍රහණය නොවුනි නම් කණගාටුවට කරුණක් බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔවුනට එවිට ‍දක්ෂ එ‍ෆ්බීඅයි නිළදාරීන් වීම අපහසු වනු ඇත.
විදුලිය වැදීමේදී හෘද ස්පන්දනයට සහ ස්නායු පද්ධතීන්ට හානි සිදුවෙනවා. හෘදයේ ඇතුළත සියුම් පටලවල හා සමස්ථානික මහා ධමනියේ ඉරී යාමෙන් මරණය ඇති වීමට ඉඩ තිබෙනවා. අප විදුලිය හා විවිධ කෝණයන් ඔස්සේ හැසිරීමට ඉඩකඩ තිබෙනවා. උදාහරණයක් විදිහට, මම අකුණක් වැදිලා බේරීමට ඉඩ තිබෙන අතරේ තව කෙනෙක් විදුලි කෙවෙනියකට ඇඟිල්ල දාන්න ගිහිල්ලා මරණයට පත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ආත්මාරක්ෂක කුඩා විදුලි විදිනයක් නිසා වුනත් මරණයක් සිදු වෙන්න පුළුවන්. එතකොට ඔබ රතුපාට රවුම්...

ස්කලී මඳකට දේශනය නැවැත්වූවාය. වෙනත් නිළදාරියෙක් පන්ති කාමරයට ඇතුල්වී තිබුණි. ඇයගේ සුමට ඇහිබැම මඳක් රැළි ගැසුණි. කිසිවෙකු ඇගේ පන්තියට බාධා කරනවා දැකීමට ඇය කැමති වූයේ නැත. නමුදු, නිළදාරියා දුන් කඩදාසිය කියවද්දී තම කෝපය පහව යනු ඇයට දැනුනි.

වොෂින්ටනයේදී නොවරදවා 16 වන පැයේදී විශේෂ නියෝජිත ජෝන්ස් හමුවන්න

ස්කලී මඳක් දරදඬු වුවත් අණ පිළිපැදීම ඇය අතින් නිසියාකාරව සිදුවුනි. ඒ නිසාම ඇය එෆ්බීඅයි ආයතන‍යේ කැපී‍ ‍පෙනෙන අය අතර වූවාය.

හරියටම සවස හතර වෙත්දී ස්කලී එෆ්බීඅයි මූලස්ථානයේ වූවාය. ඇය තම හඳුනාගැනීමේ ලාංඡනය එහි පිළිගැනීමේ නිළදාරිනියකට දැක්වූවාය. මට හමුවීමක් තියනවා-

ඒජන්ට් ස්කලී ඇයගේ පිටුපසින් ගැඹුරු කටහඬක් කීවේය.

විසල් සිරුරකින් හෙබි සිත්ගන්නාසුළු මිනිසෙක් ඇගේ පසුපසින් වූයේය. ඔහුට අවුරුදු පනහක් පමණ බැව් බැලු බැලුමටම පෙනින. මීට පෙර කිසිදිනෙක ඔහුව දැක නැති මුත් ඒ කවුද කියා ඈ අනුමාන කළාය.
මම ජෝන්ස් ඔහු පැවසුවේය. මාත් එක්ක එන්න. අපි දැනටමත් පරක්කුයි

ඔහු ඇයව හිස්වූ දිගු ශාලා පරිශ්‍රයක් අතරින් කැඳවාගෙන ගියේය. කිරිගරුඬ පොළව මත වැදුනු ඔවුන්ගේ අඩි ශබ්ද දෝංකාර දුන්නේය. ඔහුගේ දිගු පියවර හා සමව යන්නට ස්කලී හට අර්ධ ධාවනයක යෙදෙන්නට සිදු වුණි.

මම මොකක් හරි ප්‍රශ්නයකට මැදි වෙලාද? ඇය ඇසුවාය.

ඔබට සම්මුඛ පරීක්ෂණයක් තියනවා ජෝන්ස් කීවේය. ඉතා ඉහළ මට්ටමේ එකක්.

ජෝන්ස් ඇයව විශාල ද්ව්ත්ව දොරක් මැදින් කැඳවාගෙන ගියේය. ඇතුළත වූයේ සම්මන්ත්‍රණ කාමරයකි. ඕවලාකාර මේසයක අවුරුදු හැට ගණන් වල පසුවෙතැයි කිව හැකි මිනිසුන් සයදෙනෙකු හිඳගෙන සිටියෝය. ඔවුන්ගේ බලවත්කම දැන ගැනීමට ස්කලී හට ඒ ඒ අයගේ තනතුරු නාම අවශ්‍ය වූයේ නැත. ඔවුන්ගෙන් නික්මෙන තේජසම එය මොනවට කියාපෑවේය.

ජෝන්ස්, ස්කලීට හිඳගැනීමට පුටුවක් පෙන්වා ඊට පසුපසින් සිටගෙන සිටියේය.
මුලින්ම කටහඬ අවදි කළ මිනිසා, එතැන සිටියවුන්ගෙන් වයස්ගතම තැනැත්තා බව පෙණුනි. නමුදු වයස විසින් ඔහුගේ ස්ථිරසාර බැල්ම මඳකුදු අඩුකර තිබුණේ නැත. ස්කලී හට මඳ අපහසුතාවයක් දැනුණි. එම වදන් වල කිසිදු චංචල භාවයක් තිබුණේ නැත. ඒවා වානේ මෙන් සවිමත් බවක් පළ කළේය.

ඒජන්ට් ස්කලී, ඔබගේ පැමිණීමට ස්තුතියි. මිනිසා කීවේය. ඹබ මෙම කාර්යාංශය සමඟ වසර දෙකක සිට ඉන්නවා.

ඔව් සර්, ස්කලී කීවාය.

ඔබ අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ උපාධි අපේක්ෂිකාවක්, මිනිසා පවසාගෙන ගියේය. ඔබ ඊට පසුව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබනවා. නමුත් ඔබ වෛද්‍යවරියක් වෙන්නේ නැතිව භෞතික විද්‍යාව පිළිබඳ උසස් උපාධියක් ලබනවා. කරුණාකරලා මේ විවිධාකාර අධ්‍යයන රටාව පිළිබඳ ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

ඇත්තටම සර් මම හිතන්නෙ අපේ පවුලේ හැමෝම වගේ පොත් ගුල්ලෝ නිසා වෙන්න ඇති. ස්කලී කීවාය. ඒකට එරෙහිව සටන් වදින්න වෙන්න ඇති මම විද්‍යාව තෝරා ගත්තේ.

ඇයගේ පුංචි විහිළුව එකතැනම පල්වෙනු ඇයට දැනුණි. මඳහසකුදු එම කාමරයෙන් නැඟුනේ නැත.
ස්කලී තම උගුර පාදා පවසාගෙන ගියාය. වෛද්‍ය විද්‍යාලෙට ගියාට පස්සේ, මම කල්පනා කළා ජාතික අභ්‍යාවකාශ ආයතනය වෙනුවෙන් පර්යේෂණයක් කරන්න. මම හිතුවා භෞතික විද්‍යාව ඉගෙන ගැනීම එයට උදව්වක් වෙයි කියලා. නමුත් මම පස්සෙ තීරණය කළා එෆ්බීඅයි ආයතනයට සම්බන්ධ වෙන්න. එෆ්බීඅයි ඇකඩමියෙදි තමයි මම භෞතික විද්‍යා උපාධිය සම්පූර්ණ කළේ.

ඉන්පසු මේස‍ය වටා වාඩි වී සිටි මිනිසුන් එය මත වූ ඝන ලිපිගොනු වල පත්‍ඉරු පරීක්ෂාවෙහි නිමග්න වූහ. එම කළු සුදු කොළ වල තම මුළු ජීවිතයම ඇති බව ස්කලී දැන සිටියාය. දීර්ඝ කාලයකට, එහි වූයේ පිටු පෙරලෙනවිට නැගෙන කඩදාසි ශබ්දය පමණක් විය.

එක් වරම දෙවැනි පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇසුවේය. ඔබ ඒජන්ට් ෆොක්ස් මුල්ඩ‍ර් කියා කෙනෙක් හඳුනනවාද?

ඔව්, මම දන්නවා, ස්කලී කීවාය. ඒ නම, ඇයට ඈතින් ඇසුණු සීනු නාදයක් මෙන් යමක් මතක් කළේය.
කොහොමද? දෙවැන්නා ඇසුවේය.

ඔහුගේ ප්‍රසිද්ධිය නිසා, ස්කලී පිළිතුරු දුන්නාය. සමහර වෙලාවට අනික් අය එයා ගැන කතා වෙනවා මට ඇහිලා තියෙනවා. ඇකඩමි එකේ අය එයාට භූත මුල්ඩර් කියලායි කියන්නේ.

ජෝන්ස් බාධා කළේය. ඒක නම් වැරදි චිත්‍රයක්. මුල්ඩර් කියලා කියන්නේ සුපිරි ඒජන්ට් කෙනෙක්. ඔහුට හාවර්ඩ් සහ ඔක්ෆර්ඩ් වලින් මනෝ වීද්‍යාව සඳහා ගෞරව උපාධි තියනවා. අනුක්‍රමික මිනීමරුවන් සහ ඔවුන්ගේ රහස් කියන ඔහුගේ නිබන්ධනය නිසා අපිට තිබුණු අමාරුම පරීක්ෂණයක් විසඳන්න පුළුවන් උනා. අපරාධ අංශයේ ඉන්න හොඳම විශ්ලේෂකයා ඔහු විය හැකියි සමහර වෙලාවට.

ජෝන්ස් හට කියන්නට හැකි වූයේ එපමණකි. පළමු මිනිසා ගරුසරු නැතිවම ඔහුට බාධා කළේය. අවාසනාවකට ඒජන්ට් මුල්ඩර් මේ විකාර ව්‍යාපෘතියකට සෑහෙන උනන්දුවක් දක්වනවා. ඇත්තටම ඒක උනන්දුවකට වඩා පිස්සුවක් කිව්වත් වරදක් නෑ. ඔබ අහලා තියෙනවද එක්ස් ෆයිල්ස් ගැන?

යන්තමින් සර්, ස්කලී කීවාය. මම දන්න විදිහට ඒවා අදාල වෙන්නේ අද්භූත විස්තර කළ නොහැකි අස්වාභාව්ක සිදුවීම් සම්බන්ධයෙන්.

සරළවම කිව්වොත් වැඩකට නැති අවතාර කතා, දෙවැනි මිනිසා ගිගුරුවේය.

එවිට පළමු මිනිසා ඔහු දෙස දැඩි බැල්මක් හෙළා ස්කලී දෙසට හැරුණේය. ඒජන්ට් මුල්ඩර් ඔහුගේත්, කාර්යාංශයේත් කාලය මේ ව්‍යාපෘතිය සඳහා යොදවන ලෙස අපෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා. වෙන ව්‍යාපෘති භාරගන්න ඔහු සූදානම් නැහැ.

පළමු මිනිසා, ස්කලී මේ දේවල් හොඳින් ධාරණය කරගන්නා තෙක් සිටියේය. පසුව නැවත හෙතෙම අවතීර්ණ වූයේය. ස්කලී මෙනෙවිය, ඔබගේ අතිවිශිෂ්ට සුදුසුකම් නිසා ඔබ මින් පසුව මුල්ඩර්ගේ සහායිකාව ලෙස මේ එක්ස් ෆයිල්ස් පරීක්ෂණ සඳහා එක් විය යුතුයි. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර වාර්තා ඔබ විසින් සැකසිය යුතුයි. එසේම ඔබ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබගේ අවංක වූත් ඍජු වූත් මතය පළ කළ යුතුයි. එසේම මෙම වාර්තා ඔබ මේ අපගේ මෙම කණ්ඩායමට පමණක්, හොඳින් මතක තබා ගන්න, මෙම කණ්ඩායමට පමණක් ඉදිරිපත් කළ යුතුයි.

ස්කලී තම පැවැරුම ක්ෂණිකව තේරුම් ගත්තාය. එහි කිසිදු ප්‍රහේළිකාවක් වූයේ නැත.

සර් ඒ කියන්නේ මේකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ එක්ස් ෆයිල්ස් වල තියෙන බොරුව එළිදරව් කිරීමද? ඇය ඇසුවාය.

එක්වරම එහි දැඩි නිශ්ශබ්දතාවයක් විය.

පළමු මිනිසා හඬ අවදි කලේය, ඒජන්ට් ස්කලී, අප වීශ්වාස කරනවා ඔබ මේවා සම්බන්ධ විද්‍යාත්මක විශ්ලේෂණයන් නිවැරදි ආකාරයෙන් අපට ඉදිරිපත් කරයි කියලා. ඔබගේ වාර්තා මඟින් එක්ස් ෆයිල්ස් වල සැක සහිත තැනක් විසඳන්න පුළුවන්නම්, එය කරන්න. මට විශ්වාසයි අපිට ළඟඳීම ඒජන්ට් මුල්ඩර්ව මීට වඩා ප්‍රයෝජනවත් වැඩක යොදවන්න පුළුවන් බව. ඒ වගේම ඔබවත්. මේ වැ‍ඩේ කළොත් අනිවාර්යයෙන්ම ඔබේ වෘත්තිය වඩා සමෘධිමත් වේවි.

ඔහු තම වදන් කෙටි කළේ මතු ප්‍රශ්න සඳහා මඟ එයින් අහුරමිනි.

ඔව් සර්.තමාට කිව හැකි එකම දෙය ස්කලී කීවාය.

ඒජන්ට් ජෝන්ස් ඔබට සියළු විස්තර කියා දෙයි, පළමු මිනිසා කීවේය.

අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ වාර්තා, දෙවැනි මිනිසා පැවසුවේය. ඔබගේ අතිශය ඍජු වාර්තා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබගේ අදහස් නොවළහා පැවසිය යුතුයි. කිසිම දෙයක් අතපසු නොකළ යුතුයි. හොඳින් මතක තබා ගන්න.

ජෝන්ස් සමඟ කොරිඩෝරයට පැමිණෙන තුරු ස්කලී මුවින් නොබැන සිටියාය. ඇත්තටම මුල්ඩර් කියන්නේ මොනවගේ කෙනෙක්ද? ඇය ජෝන්ස් ගෙන් ඇසුවාය.

ජෝන්ස් තම තොල් මඳක් සපා ගත්තේය. මුල්ඩර්? දක්ෂයි. අතිශයින්ම බුද්ධිමත්. ඒ වගේම ඔහු අතිශයින්ම නිදහස් භාවය ප්‍රිය කරන කෙනෙක්. ලේසි පාසු කෙනෙකුත් නෙමෙයි. කෙටියෙන්ම කිව්වොත් එෆ්බීඅයි සම්මතයන් අභියෝගයට ලක් කරන කෙනෙක්. ඔහු මඳක් නැවතුනේය. මට හොඳටම විශ්වාසයි ඔයා එන්නේ මොකාටද කියලා ඔහු මේ වෙන කොටත් දන්නවා ඇති.

ස්කලී, ඇයට හැකි ඉහළම අහිංසක පෙනුමෙන් ජෝන්ස් දෙස බැලුවාය. මම මොකාටවත් එන්න හදනවා නෙමෙයි සර්. ඉහළින් එන නියෝග පිළිපදින එක විතරයි.








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply