පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 9 වන පරිච්ඡේදය



මමත් බිලීත් ආලෝකය දැක්කා!

පෙගීගේ වදන් කාමරය සිසාරා කම්පනයක් ඇති කරමින් විහිදී ගියේය.

මුල්ඩර් හා ස්කලී, බාගෙට ඇරුණු මුව සහිතව එය අසා සිටියෝය.

බිලී මයිල්ස් නම් වඩාත් කලබල වී තිබුණි.

ඔහුගේ දෑස් නෙරා විත් මුහුණේ මාංශ පේශීන් නටන්නට පටන් ගත්තේය. බෙල්ලේ නහර ඉල්පී උගුරු ඇටය ගැස්සෙන්නට වෙමින් තොල් විවර වී සතෙකුගේ ගෙරවීමක් වැනි යමක් එයින් පිට වූයේ කුමක්දෝ කියන්නට උත්සාහ ගන්නාක් මෙනි.

ඉන්පසු එය අවසන් වූයේය.

නැවතත් බිලී, ගහක් ගලක් මෙන් නිසල වූයේය.

පෙගී, කලබල වෙන්න එපා. දොස්තර ස්කලී ඔයාව පොඩ්ඩක් පරීක්ෂා කරන්න යන්නේ. මුල්ඩර් කියනු ස්කලීට ඇසිණ.

හැරුණු විට ස්කලී දුටුවේ වේදනාවෙන් සුදුමැලිවී ඇඔරී ගිය පෙගීගේ මුහුණය.

බෑ මට බෑ... මට බෑ... පෙගී විලාප තිබ්බාය. ඇය හතිදමමින් දොර අබිමුවට රෝද පුටුව පැද ගියාය.

ආවතේවකරු විසින් රෝදපුටුව අල්ලාගෙන නතර කරගන්නා ලදී.

බයවෙන්න එපා දරුවා, ඔහු නැළවිලි ස්වරයෙන් කීවේය. මුකුත් වෙන්නේ නෑ.

පෙගී ඒ කියන දේවල් පිළිගත්තේ නැත. ඇය රෝද පුටුවෙන් පැන බිම බඩගාමින් ඉවතට ඇදී යන්නට උත්සාහ කළාය.



ආවතේවකරුවා විසින් බිත්තියේ තිබුණු හදිසි ඇමතුම් සංඥා බොත්තම ඔබන ලදී.

මේ අතර ස්කලීද පැමිණ පෙගීව නැවතත් රෝද පුටුව මත තැබීමට උත්සාහ කළාය. පෙගී කිසිම බුරුළක් නොදක්වමින් තම අත‍ දෙකෙන්ම ස්කලීට කසපහර එල්ලකරන්නට වූයේ මාරාවේශ වූ‍ෙවකු මෙනි. මෙහිදී මුල්ඩර් පැමිණ ස්කලීට සහාය වුනේය.

හරියට කොටි දෙනක් මෙල්ල කරනවා වගේ. ස්කලී මුල්ඩර්ට කීවාය.

මුල්ඩර් ඇය කියනා දෙය අසා සිටිනවාට වඩා වෙනත් සිහියකින් සිටියේය. ඔහු වෙනත් කිසි දෙයක් දෙස බලා සිටියේය. ස්කලී මුල්ඩර්ගේ දෑස් අනුව යමින් ඒ දෙස බැලුවාය. එවිට ඒ කුමක්දැයි ඇය දුටුවාය.

පෙගීගේ නේවාසික ඇඳුමේ පිට පෙදෙස නිරාවරණය වී තිබුණි.

රතු පැහැති තුවාළ කැළැල් දෙකක් ඇගේ කිරි පැහැති සමේ සටහන් වී තිබුණි.



මුල්ඩර්ගේ පෙනුම සතුටුදායක එක්ක වූයේය. අතිශයින්ම සතුටුදායක එකක් වූයේය.

ස්කලීට නම් කරකැවිල්ලක් ඇතිවී තිබුණි. ඔක්කාරයට එන්නාක් මෙන් හැඟීමක් ඇයට දැනුණේ මේ සියළු දෙය ඇයට දිරවීමට අපහසු වූ නියාවෙන් මෙනි.

ස්කලීට තවදුරටත් මේ පිස්සන් කොටුවේ විකාර ඉවසාගෙන සිටීමට හැකි වූයේ නැත. තමාටද මේ යන ආකාරයට පිස්සන් කොටුවේ නතර වීමට වෙතැයි ඇය සිතුවාය. පෙගී ගැන සොයා බැලීමට පැමිණෙමින් සිටි පිරිමි හෙදියන් දෙදෙනා පසුකරමින් පහළ ඇති කොරිඩෝව වෙත පිය නඟමින් අවසන ඉදිරි දොරෙන් පිටතට පැමිණියාය. තණ පියසද නිල් අහසද, ඇයට මඳ ඉසිඹුවක් ලබා දුන්නාක් මෙන් ඇයට හැඟුණි. නැවත ඇය යථා තත්වයට පැමිණියාය. කුලී රථය වෙත යාමට ඇය තීරණය කළාය. මේ සිදුවීමට සම්බන්ධ සියළුම ලියකියවිලි නැවත කියවීමේ නොතිත් ආශාවකින් ඇය පසු වූවාය. ඇයට දත්තයන් අවශ්‍ය කර තිබුණි. පිරිසිදු පැහැදිලි නිරවුල් දත්තයන් කෙරහි ඇය ආශක්ත වූ බවක් පෙණිනි.

කාරය තුළ හිඳ ගනිමින් ඇය කේරන් ස්වෙන්සන්ගේ මරණය ගැන ලියවී තිබුණු පුවත්පත් වාර්තාව කියවූවාය. සිරස්තලය වූයේ: 89 පන්තියේ හතරවන මරණය. යන්නයි. ඉන්පසුව එහි වූයේ එළිමහන් කැළෑබිමේ සිට හමුවූ කේරන් ස්වෙන්සන් පිළිබඳ ප්‍රවෘත්තියයි.

මෙහි කොතැනක හෝ මේ සියල්ලේ තේරුම පිළිබඳ සවිස්තරාත්මක දෙයක් ඇතැයි යන්න ඇයගේ සිතුවිල්ල වූයේය. එය සොයා ගැනීම ඇයගේ ඒකායන පරමාර්ථය වූයේය.

එක්වරම භය උපදවන ලෙස කුලී රථයේ ජනේලයෙන් තට්ටුවක් ඇසුණි.

ස්කලී ගැස්සී ගියාය.

ඉන්පසුව ඇය දුටුවේ විරිත්තමින් සිටිනා මුල්ඩර්වය.

හරි හිනා, කවුළුව පහත් කළ ඇය කීව‍ාය.

බිලී කිව්වා එයාට සමාවෙන්න කියා සමුදෙන්න බැරි වුනාට, මුල්ඩර් කීවේය.

හ හා ස්කලි සිනාසුණාය. මේ බලන්න මුල්ඩර්, ඔයා කොහොමද දැනගෙන හිටියේ අර ගෑණු ළමයාගේ පිටේ අර සළකුණු ඇති කියළා?

ගෑණු ළමයා? මොන ගෑණු ළමයාද? මුල්ඩර් ඇසුවේය. ආ අර අවතාරයක් වගේ හිටි ‍ෙකනාද?

ස්කලීගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය බවක් පෙණුනි. ඔහුගේ අදහස් සත්‍ය ලෙස පෙනෙන්ට වූ මොහොතේ පටන් මුල්ඩර්ගේ සෙල්ලම් ඇයට තිත්ත වී තිබුණි.

මුල්ඩර්, කරුණාකරලා ඇති දැන්, ඇය කීවාය. මට ඕනී මේවට උත්තර. මොකක්ද මෙතන වෙන්නේ? අර සළකුණු ගැන ඔයා දන්නේ මොනවාද? ඇත්තටම මොනවද ඒ සළකුණු?

ඔයාට ඇත්ත දැන ගන්න ඕනිද? මුල්ඩර් ඇසුවේය.

ඔව්. ස්කලී කීවාය.

දරාගන්න පුළුවන්ද? මුලුඩර්ට දැනගැනීමට ඇවැසිව තිබුණේය.

කියලා බලන්නකෝ, ස්කලී කීවාය.

මම හිතන විදිහට මේ ළමයින්ව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා, මුල්ඩර් කීවේය.

කවුද? ස්කලී ඇසුවාය.

කවුද නෙවෙයි, මොකක්ද කියලයි අහන්න ඕනි. මුල්ඩර් නිවැරදි කළේය.

ස්කලී මෝටර් රථයෙන් පිටතට පැමිණියාය. ඇය මුල්ඩර්ගේ මුහුණට මුහුණලා සිට ගත්තාය. ඔහුගෙන් එය විමසීමට හොඳම අවස්ථාව පැමිණ තිබුණි.

ඔයා ඇත්තටම ඔය පිටසක්වළ දේවල් ගැන විශ්වාස කරනවාද? ඇය උදක්ම ඇසුවාය.



මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් තිබුණොත් මම ඒවා වුනත් විශ්වාස කරන්න සූදානම්. ඔහු කීවේය. ඔයාට එහෙම මුකුත් අදහසක් තියෙනවද?

ඇත්තටම මුල්ඩර් ඔයාටනම් පිස්සු, ස්කලී කෙළින්ම කීවාය. මම නම් හිතන්නේ මේ ළමයි මොකක් හරි යක්කු අදහන සංගමයක ඇති. ඔයා දන්නවනේ ඔය සාතන් අදහන කල්ලි එහෙම. තරුණ ළමයි මේවට යොමු වෙනවා වැඩී.

එච්චරද? මුල්ඩර් ඇසුවේය.

අනිවාර්යයෙන්ම ඒක තමා හේතුව, ස්කලී කීවාය. අනික් එක, කැළෑවේ ඔය චාරිත්‍ර වාරිත්‍ර කරන එක සාමාන්‍ය දෙයක්. ඒකනේ කේරන් රෑ ඇඳුම පිටින් හම්බ වුනේ. අපි කැළෑවේ පරීක්ෂාවක් කළොත් නරකද? අනත්තවත් සාක්ෂි තියෙන්න පුළුවන්. ඉටිපන්දම්, කුරුස. ඔය එක එක දේවල්.

හොඳ අදහසක්, මුල්ඩර් සිනාසෙමින් කීවේය. වාසනාවට ඔයාම මගේ සහායකයා හැටියට එව්වේ. නැත්නම් මම මේ මොනවද හොයන්නේ නේද? 

ඔය‍ාට විහිළු, ස්කලී කීවාය. කෙහොමහරි මම නම් කියන්නේ අපි කැළෑව සෝදිසි කළ යුතුයි.

මාත් කැමතියි, මුල්ඩර් කීවේය. හැබැයි කරුවල වැටුනම. මොකද මෙහෙ මිනිස්සු අපි පස්සේ එන්න පුළුවන් අපි මහ දවල් ඕක කරන්න ගියොත්. කැමතිද ඒ විදිහට?

ප්‍රශ්නයක් නෑ, ස්කලී කීවාය. කරුවලට බය වුනේ පොඩිකාලේ. මම ලෑස්තියි.

එනමුදු, ඒ පවසන ලද රාත්‍රියේ ඇයට තමා තුළින් වෙව්ලීමක් දිවයනු දැණින.

ඇය කැළයේ පසුවූයේ තනිවමය. මුල්ඩර් හා ඇය කැළයේ වෙනස් ප්‍රදේශ දෙකක් සෝදිසි කිරීම සඳහා කතිකා කර ගෙන තිබුණි.

කමක් නෑ කෙල්ලේ, හිතට ධෛර්යය ගන්න. විදුලි ආලෝකය වෘක්ෂයන් අතරින් යවමින් ඇය තමාටම කියා ගත්තාය. 

ඇය ඉදිරියෙන් වූ එළිමහන් ස්ථානය දුටුවාය. අතුපතර ඇයගේ මුහුණෙහි වැදෙමින් බාධා එල්ල කළද ඇය එය වෙතට ඇදී ගියාය. තණ පියස්සෙහි දැවී ගිය තණ මතුයෙහි ඇය දණ ගැසුවාය. ඒ මත අතගෑ ඇයගේ ඇඟිලි තුඩු වළ අළු තැවරී තිබුණි.



පුවත්පතෙහි තිබූ විස්තරය ඇය සිහියට නඟා ගත්තාය. ඒ අනුව මෙම ස්ථානය වනාහී කේරන් ස්වෙන්සන්ගේ මළ සිරුර ‍ෙසායා ගත් ස්ථානයයි.

ඇයට පහත් ගුම් නාදයක් ඇසෙන්නට පටන් ගත්තේය.

සුළං පාර ගස් වළ වදින සද්දේ  ඇය තමාටම කියා ගත් නමුදු සිසිල් සුළඟක සේයාවක් වත් ඇය අසළ වූයේ නැත.

ශබ්දය කෙමෙන් කෙමෙන් තීව්ර වීගෙන ගියේය. මුල්ඩර්ව සොයා ගත්තේ නම් අගනේ යැයි ඇයට සිතුණි. ඇය තමා ආ දෙසටම යන්නට හැරුණාය.

දීප්තිමත් ආලෝකයකින් ඇය මඳක් අන්ධව ගියාය.

ව‍ානේ ගැටෙන ශබ්දයක් හෝ යමෙකුගේ අඩි ශබ්දයක් ඇයට ඇසුණි.

ඇය හිටි තැනම ගල් වුනාය. ආශ්වාසයද අමාරු කර්තව්‍යයක් බවට පත්වී ඇති ‍ෙසයක් ඇයට දැණුනි.

ශබ්දය තීව්ර වෙමින් ඇය අසළටම පැමිණෙමින් තිබුණි.

ඉන්පසු ඇය එය දුටුවාය. දීප්තිමත් ආලෝකය මධ්‍යයෙහි නොපැහැදිලි රූපයක් ඇයට පෙණුනි.

මුල්ඩර්, මේ ඔයාද? ඇය ඇසුවාය.

නමුත් ඇය පිළිතුර කලින් දැන සිටියාක් මෙන් වූයේය.

ඇය වෙතට පැමිණෙමින් සිටියේ මුල්ඩර් නොම වූයේය.







පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply