පරිච්ඡේද
Type REG para and send the SMS to 77000 and get paranormal updates to your mobile phone!

අභිරහස් සළකුණු - 7 වන පරිච්ඡේදය

පසුදින පාන්දර යාමය වන විට ස්කලීට තම හෝටල් කාමරයට පැමිණීමට හැකි වූයේ නමුත් ඇයගේ කාර්යය නම් අවසන්ව තිබුණේ නැත. අද්භූත සත්වයාගේ එක්ස් කිරණ වාර්තා මේස ලාම්පුවට අටවා තිබුණු දක්නට ලැබිණ. වරක් ඒවා දෙස බැලූ ඇය තම ලැප්ටොප් පරිඝණකයේ බොත්තමක ඔබම්න් එහි පටිගත කරවනය ක්‍රියාත්මක කළාය. පැහැදිලිවූත් නිරවුල්වූත් හඬින් ඇය තම වාර්තාව එහි සටහන් කරන්නට පටන් ගත්තාය.

එක්ස් කිරණ වාර්තා අනුව සත්වයා ක්ෂීරපායීයෙකු බව පෙනී යයි. නමුත් එහි නාසික කුහරයේ තිබූ කුඩා රෝපණය හඳුනා ගත නොහැක. එම වස්තුව අළු පැහැති වානේ වස්තුවක් වන අතර මිලිමීටර් හතරක් දිගින් යුක්තය. තවම එය හඳුනා ගන්නට නොහැක.

ස්කලී පටිගත කිරීම නවත්වා, මළසිරුරෙන් හමුවූ වස්තුව දෙස වඩාත් හොඳින් බැලුවාය.



සිළින්ඩරාකාර කුඩා වස්තුව වීදුරු කුප්පියක් තුළ දමා තිබුණි. මේ දක්වා ඇය එය ‍ෙකාතරම් නිරීක්ෂණය කර තිබුණද, එය කුමක්දැයි නිශ්චය කර ගැනීමට ඇය සමත් වූයේ නැත. සමහර විට මුල්ඩර් දැනගෙන ඇතත් ඇයට නොපවසනවා විය හැක. මේ මොහොතේදී නම් මුල්ඩර්ගේ අදහස දැනගැනීමට නම් ඇයට කිසිම ආකාරයක අවශ්‍යතාවයක් තිබුණේ නැත. මන්ද යත්, ඔහු පවසන්නාවූ අදහස කොතරම් ඇය අකමැති වර්ගයේ වුවත් දැන් ඇතිවී තිබෙන තත්වයන් අනුව ඇයද ඒවා නිරායාසයෙන්ම පිළිගෙන ඔහු වැනිම පිස්සුවක් හදා ගනු ඇතැයි ඇයට සිතිණ.

එවිට යමෙක් දොරට තට්ටු කරන්නට වූයේය.

ඒ මුල්ඩර් විය.

ළා දම් පැහැති ධාවන කළිසමකින් සැරසී සිටි ඔහු සුදු පැහැති ටී ෂර්ටයක් උඩට ඇඳ සිටියේය. ටී ෂර්ටයේ එක් උරහිසක් කුඩා සිදුරක්ද වූයේය. බෲක්ලීන් ඩොජර්ස් යන්න මුද්‍රණය කර ඇති බේස්බෝල් තොප්පියක් පැළඳ සිටි ඔහු, ප්‍රාණවත් සිනහවකින් මුව සරසාගෙන සිටියේය.

මට නම් නින්ද යන්නේ නෑ, ඔහු කීවේය. මම පොඩ්ඩක් දුවන්න යනවා. ඔයත් එනවද?

අනේ බෑ, ස්කලී කීවාය.

හොයා ගත්තද අපේ යාළුවගේ නහයේ තිබ්බේ මොකක්ද කියලා? මුල්ඩර් සෙල්ලමට මෙන් ඇසුවේය.


තාම නම් නෑ ඒත් ඒක නිසා නම් නෙවෙයි ඇහැරගෙන ඉන්නේ. ස්කලී කීවාය.

මුල්ඩර් යම් කඩදාසි කොළයක් ස්කලී වෙත දිගුකළේය. හොටෙල් එකෙන් මේක දුන්නා ඔයාට දෙන්න කියලා.

ස්කලී ඔහු දිවයන දෙස බලාගෙන සිටියාය. පාවී පාවී ඔහු ඇදී ගියේය. වායුගෝලය තවම සිසිල් නමුදු එය ටිකින් ටික උණුසුම් වන අයුරු ඇයට දැනෙමින් තිබුණි. අඳුරු පැහැ අහස නිල් පැහැයට හරවම්න් තවත් කාෂ්ටක දිනයක උදාවක පෙරනිමිති පහළ වෙමින් තිබුණි.

ස්කලී දොර වසා කඩදාසි කොළය කියෙවුවාය. එහි තිබුණේ ඊතන් ඇයට ඇමතූ බවත්, නැවත ඔහුට අමතන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි බවත්ය.

ස්කලී වොෂිංටනයේ ඊතන්ගේ නිවසේ අංකය එබුවේ මෙතරම් පාන්දර ඇමතීම ගැන ඔහු උරණ නොවන වග දන්නා බැවිණි. නමුත් ඇයට අමුත්තක් දැනුනේ මෙම සිදුවීම් වලට ඊතන් සම්බන්ධ නොවන නිසාවෙනි. ඊතන් යනු පිටසක්වළ මිත්‍යා කතා විශ්වාස නොකරන වර්ග‍යේ කෙනෙකි.

පළමුවන සීනු නාදයේදීම අනෙක් පසින් ඊතන් කතා කළේය.

හෙලෝ? ඔහුගේ කටහඬ නම් එතරම් සතුටුදායක නොවිණි.

මේ මම, ස්කලී, ස්කලී කීවාය. සමාවෙන්න ඇහැරෙවුවා නම්.

නෑ මම ඇහැරගෙන හිටියේ. ඊතන් අමනාපයෙන් මෙන් කීවේය. කවුදෝ ‍කෙනෙක් ටිකකට ඉස්සෙල්ලා රිංග් කරලා කට් කළා.

ස්කලී ඇයටම සිනාසුනාය. ඒ වනාහී මුල්ඩර් විය යුතුය. ඔහු ඇයව පරීක්ෂා කරන්නේය. ඔහු තවම ඇයව විශ්වාස නොකරයි. ඇත්ත වශයෙන්ම එහි වරදක් නැත. ඇයට පැවරුණ රාජකාරියක් තිබේ. එය නම් මුල්ඩර්ව අධ්‍යයනය කිරීමයි. ඇය ඔවුන් දෙදෙනාගේ සංකලනය ගැන සිතුවාය. එකිනෙකා සැක කරන අපූරු සහායකයෝ දෙදෙනෙක්.

දවස පටන් ගන්නකොටම අවුල් වුනා නේද? ඇය ඊතන්ට කීවාය.

ඒක නේන්නම්, ඊතන්ද පැවසුවේය. ඇත්තටම ඔහාට ‍වෙලාව කීයට විතර ඇද්ද?

මෙහාට පහයි, ස්කලී කීවාය. ඔහාට අටයි මම හිතන්නේ.

මෙච්චර පාන්දර නැගිටලා මොනවද කරන්නේ? ඊතන් ඇසීය. කුරුල්ලෝ කෑ ගහන සද්දෙද කොහෙද ඇහෙනවා.

මට තාම නිදාගන්න බැරිවුනා, ස්කලී කීවාය. මුළු රෑම වැඩ කර කර තමා හිටියේ. ඔයාගේ පණිවිඩය ආවම හිතුව මොකක් හරි වැදගත් දෙයක්ද දන්නේ නෑ කියලා.

නෑ නිකන් ගත්තේ, ඈනුමක් හරිමින් ඊතන් පවසනු ඇයට ඇසිණ.

හ්ම්... තමාට ඊතන් සමඟ කතා කරන්නට එතරම් දෙයක් නැති බව නැවතත් සනාථ කරන බව ඇයට හැඟී ගියේය. ඊතන්ටත් ඇයටත් වැඩි අනාගතයක් නැති බව ඇයට හැඟී ගිය අවස්ථා එමට විය.

මේ අර ඔයාගේ යාළුවා හොඳින් ඉන්නවද? ඊතන් ඇසීය. මොකක්ද මිනිහගේ නම? අර භූත නමක් තියෙන්නේ?

ආ ඔව් භූත නමක් තමයි. දුරකථනය කරදරයක් ලෙස හඟිමින් එය තබම්දෝ නොතබම්දෝයි සිතමින් ස්කලී කීවාය.

ඉතින් තාම ඔයගොල්ලන්ට පාවෙන පීරීසිවලින් ආපු කුරුමිට්ටෝ එහෙම හම්බ වුනේ නැද්ද? ඊතන් ඇසුවේය.

ආ... ඇත්තම කිව්වොත් - එක්ස් කිරණ දෙසත් වීදුරු කුප්පිය දෙසත් බලා කියන්නට ගත් දෙය ඇය ගිලගත්තාය. එයට ඊතන්ගේ ප්‍රතිචාරය ඇයට උපකල්පනය කළ හැක. ඇහිබැම උඩ යවමින් තම නළළට තට්ටු කරමින් ඔහු එය අසා සිටිනු ඇත. ඊතන්ගේ වරදක් නැත. දින කිහිපයකට පෙර තමාගේ ප්‍රතිචාරයද ඊට වඩා වෙනසක් තිබුණේ නැත. මුල්ඩර් විසින් ඒ දින කිහිපය තුළදී තමාව වෙනස් කර ඇති අයුරු ගැන ස්කලී කල්පනා කළාය. ඇය නැවතත් පෙර තමා සිතූ අයුරින් මේ දේවල් ගැන සිතනු ඇතිද?

හැබැයි ඔච්චර වහළියක් වගේ වැඩ කරන්න නම් එපා. අනෙක් පසින් ඈනුමක් සමඟ ඊතන් කියනු ඇයට ඇසුණි. අර පිස්සා ඔයාට ඔච්චර කරදර කළොත් මිනිහාව පිස්සන් කොටුවට දාන්න.

එහෙමම දෙයක් නෑ - ස්කලී කියන්නට හැදුවාය.

තව කතා කරන්න තියනවනම් හොඳයි. ඒත් අද මට වැඩ ගොඩක් තියනවා, ඊතන් කීය. පස්සේ කතා කරමු.

කමක් නෑ. ඇය කියන්නට හැකි වූයේ දුරකථනයේ ගුම් නාදයටය. ඉන් පසුව ඇයට දුරකථනය තැබුවාය.

හිස සැලූ ඇය නැවතත් එක්ස් කිරණ අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. කෙනෙකුගේ නාසයේ කුමන හේතුවක් මත වානේ කැබැල්ලක් රෝපණය කරන්නට ඇත්ද යන්න ඇය‍ට ප්‍රශ්නයක් වූයේය. එහි කිසිම තේරුමක් නැත. එහි තේරුමක් තිබේ නම් තේරුමක් ඇති දේවල තේරුමක් නැති වනු ඇත.

එවිට ජනේලයෙන් කවුදෝ තට්ටු කළේය.

ඇය මුල්ඩර්ගේ දහදිය ගලන සතුටු මුහුණ ජනේලයෙන් දුටුවාය.

ඇය ජනේලය විවෘත කළාය.

පොඩි ගමනක් යන්න ලෑස්තිවෙන්න. මුල්ඩර් යොජනා කළේය. දිව්වම ඔය නිදිමත යයි. දුවලා සීතල වතුර ටිකක් නා ගත්තම දවසම ප්‍රබෝධයෙන්!

ස්කලී කෙඳිරි ගෑවාය. අපෝ බෑ. සීතල වතුර නෙවෙයි, උණු වතුර ටිකක් නාලා හොඳට නිදා ගන්නයි මට ඕනි.

අයියෝ, මුල්ඩර් කීවේය. මේ වගේ අවස්ථාවක් නැති කර ගන්න එපා. කීයෙන් කී දෙනාට සමූහ ඝාතකයෙක් එක්ක මුහුණට මුහුණ හමුවෙන්න පුළුවන්?








පොත මිලදී ගත හැකි තැන්

එම් ඩී ගුණසේන දිවයින පුරා ශාඛා 
සරසවි දිවයින පුරා ශාඛා 
ගොඩගේ - මරදාන
සමයවර්ධන - මරදාන/කිරිබත්ගොඩ 
දයාවංශ ජයකොඩි - මරදාන 
සූරිය - මරදාන
ලේක්හවුස් - කොටුව

ඉදිරියේදී අනිකුත් පොත්හල් වලින්ද මිලදී ගත හැක.

පිටපතක මිල රු. 300/=

(තැපැල් මගින්ද ලබා ගත හැක. http://www.udasri.com/)



Leave a Reply