1 වන පරිච්ඡේදය

මුළු දවස පුරාම කුණාටුවේ වර්ධනය දෙස ජිම් පාකර් බලා සිටියේය.  සූර්යයා අපූර්ව කොළ පැහැති මන්ද වර්ණයක් සහිතව බැස යද්දී අන්ධකාරය ලොව වසා ගත්තේය. දුබල මිනිසෙකුගේ අඳෝනාවක් මෙන් සුළඟ හමන්නට පටන් ගත්තේය.  මේඝ ගර්ජනා, මොන්ටානා අහස් කුස කළඹමින් තිබිණ. වර්ෂාව තවම වැස්සේ නැත. නමුත් එය පැමිණෙමින් තිබේ.

          පාකර් සහ ඔහුගේ පුත් ලයිල්, ගව මඩුවේ නිවසේ දොරෙන් මෙපිට සිටගෙන සිටියහ. ඔවුහු කතා නො කළහ. ඒ වෙනුවට ඔවුහු කුණාටුවට ඇහුම්කන් දෙමින් සිටියහ. ඔවුහු යම් දෙයක් බලාපොරොත්තුව සිටිති. “එය” පිළිඹඳ ඔවුන් මීට පෙර කතා කර ඇත. “එය” මරණය සඳහා ගව පට්ටියට පැමිණේ.

          පිටත කාළ වර්ණ ආකාශය අකුණක් මගින් රිදී පැහැ කරවන ලදී. අකුණ විසින් වැහි වළාකුල පලා දැම්මා සේ වර්ෂාව වසින්නට පටන් ගත්තේය. ඉන් පසුව නිවස අන්ධකාර වූයේය.

          පාකර්ට එම අන්ධකාර වීම හිරිහැරයක් නොවීය. ගිණි උදුනේ ගින්නක් දැල්වෙමින් තිබිණ. එය විසින් කාමරය තැඹිලි පැහැයකට පත් කර තිබුණේ, බිත්තියේ පෙළ ගස්වා තිබූ දඩයම් සංකේත වල වීදුරු ඇස් වලින් එන ප්‍රතිබිම්බ වලිනි. එම ජය සංකේත, පාකර් සතුටට පත් කරයි. අළු පාට වළසා, කඳුකර සිංහයා, වෘකයා, රැට්ල් නයා - ඔවුන් සියල්ලෝම ඔහු අවදානමට මුහුණ පෑ හා ජයග්‍රහණය කළ කාලය ඔහුට සිහිකර දෙයි. ඔහු අද රාත්‍රියේත් ජයග්‍රහණය කිරීමට අදහස් කර සිටියි.

          එවිට..... පාකර්ට එය ඇසුනේය. මීට පෙර අවස්ථා වලත් ඔහු එය අසා තිබිණ. ඒ වියරු ගෙරවීම සතෙකුගේදැයි නොවේදැයි නිශ්චය කර ගැනීමට ඔහුට කිසිදා හැකි වූයේ නැත.

          ඒමොහොතේ ශබ්දය වඩාත් ළංව ඇසෙන්නට විය. පාකර් මුළු ජීවිතයේ ම දඩයම් කර තිබුණි. නමුත් සත්‍ය වශයෙන්ම පිටත සිදුවන්නේ කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. ඒ තවත් දඩයම්කරුවෙක් බව හේ දනී. තම ගව පට්ටිය දඩයම් කරන්නාවූ.

          මේ රාත්‍රියේ ඔහු කිසිම අවස්ථාවක් නොදෙනු ඇත. ඔහු ඉක්මණින් තම වින්චෙස්ටර් 1300 ඩිෆෙන්ඩර් තුවක්කුව, 12 ප්‍රමාණයේ පතොරම් වලින් පිරවීය.

          පාකර්ගේ ඇස් ඔහුගේ පුත්‍රයා වෙත යොමු විය.  ලයිල් සීරුවෙන් තම තුවක්කුව ඇද ගත්තේය. ඔවුහු එයට සූදානම් වී සිටියහ.

          එක් වරම රුදුරු අමනුෂ්‍ය ගෙරවීමක් කුණාටුවේ ශබ්දයද අභිභවා නැගී ආවේය.

          ලයිල්ගේ හිස, ශබ්දය ඉදිරියට යොමු විය. දීප්තිමත් ලෙස අකුණු ගසන්නට වූයේය. එහි කර්කෂ වූ අධික දීප්තියෙන්, නිවස තුළ ඇති සියළු දේ සෙලවෙන්නාක් මෙන් එක් වරම පෙනුනි. ලයිල් පිටුපස හැරී තම පියා දෙස බැලුවේය.

          නමුත් ජිම් පාකර්, තම පුත්‍රයා දෙසට අවධානය යොමු නො කළේය. දොරෙන් එහා පැත්තේ තිබෙන්නාවූ දෙය පිළිබඳව ඔහු තම සම්පූර්ණ අවධානය යොමු කර තිබුණි.

          කුණාටු සුළඟ කොළ හැලී ගිය ගස් සොළවමින් ගව පට්ටි බිම හරහා හමා ගියේය. කුඩා හරක් රංචුවක් කලබලකාරී ලෙස ගව ගාල තුලට ගියේය. උන් බිය වී සිටියෝය.

          අකුණු සැර දීප්තියෙන් මග පෙන්වන ලදුව, ජිම් පාකර් හා ඔහුගේ පුත්‍රයා ගවගාල ඉදිරියට ඇදී ආවෝය. බිම, දැනටමත් මඩ වගුරක්ව තිබුණේය. පාකර්, තම කව් බෝයි ආකාර වැහි කබාය තුළට වී නොතෙමී සිටියේය.  නමුත් ලයිල්, ජීන්ස් කලිසමක් හා බැනියමක් පමණක් හැඳ තෙතබත් වී සිටියේය. ඔහු මඳ වශයෙන් වෙව්ලීය. එය අධික ශීතල නිසා පැමිණියක්ද, නැතහොත් ඔවුන් මුණ ගැසීමට පැමිණි දෙය කරා වූ භීතිය නිසා සිදු වූවක්ද යන්න විශ්වාස නැත.

          මඩුවේ දකුණු පසට යන ලෙස පාකර්, ලයිල්ට සංඥා කළේය. ලයිල් හිස වනා දකුණු පසට ගියේය.

          ************************************************************

          එවිට..... එය ඇසුණු විට ලයිල් කලබලයට පත් වූයේය. අන්ධකාරයෙන් දරුණු ගෙරවීමක් ඇසෙමින් පැවතිණි.

          ශබ්දය, විවෘත වූ මඩුව තුළින් ඇසෙන්නාක් මෙන් පෙණින. ලයිල් සෙමින් සෙමින් පුළුල් දොර දෙසට ලං වීය. ඔහුගේ හදවත වේගයෙන් ස්පන්දනය වන්නට විය. රුදුරැ සත්වයා, අශ්වයන් පිටුපස නොසිටීවායි හේ ප්‍රාර්ථනා කළේය.

          එක් අතකින් තුවක්කුව අල්ලා ගෙන අනෙක් අතින් විදුලි පන්දම අල්ලා ගෙන ලයිල්, මඩුව තුළට පියවර නැගීය. හුරු පුරුදු පිදුරු සුවඳ හා අශ්වයන්ගේ ශබ්දය නිසා ඔහුට යම්කිසි සංසුන් බවක් දැනුණි. ඔහු අශ්වයන්ගේ කුටි පරීක්ෂා කළේය. අශ්වයෝ දැඩි ලෙස කලබල වී සිටියහ. නමුත් උන් උපද්‍රව රහිත වූවෝය.

          ලයිල්,  ප්‍රවේශමෙන් මඩුවේ ඉතුරු දෑ පරීක්ෂා කරන්නට වූයේය. තමා ගැඹුරැ ආශ්වාස ගනිමින්, තම වේගවත් හෘද ස්පන්දනය අඩු කිරීමට තැත් කරනු ඔහුට දැනුණි.

          අන්ධකාරයේ සිට එක් සත්වයෙක් සෙමෙන් සෙමෙන් ඔහු පිටුපසින් පැමිණුනේය. ලයිල් එම සත්වයා දුටුවේ නැත. ඌ පාද දෙකෙන් ඇවිද්දේය. ඒ භයංකර සත්වයාගේ අවයව, මිනිසාගේ හැඩයට සමාන බව පෙනුණේය. නමුත් ඌ ඇවිද්දේ තිරිසනෙකුගේ ශක්තියෙනි. විදුලි කෙටීමේදී උගේ නියපොතු, තිරිසන් දැලි පිහියක් මෙන් දිලිසීය.

          මඩුව පැහැදිලිය, ලයිල් සිතුවේය. එසේ සිතමින් ඔහු ඉදිරියට පැමිණියත් ඔහු එක් වරම නැවතුනේ, බිම ඇති යම් දෙයක ඡායා මාත්‍රයක් ඔහු දුටු බැවිනි. එය යම් කිසි ආකාරයක අඳුරු ගුලියකි.  ඔහු එය ඉදිරියට ගමන් කර නැවතුනේය.  තමා පසුපසින් ලේ පැහැති තිරිසන් ඇස් දෙකක් හඹා එන බව ඔහු දැන සිටියේ නැත.

          ලයිල් තම විදුලි පන්දම් එළිය, එම අඳුරු ගුලිය වෙත පතුරුවාලීය.  ඔහුගේ හදවත කිඳා බැස්සේය. ඔවුන් ඉතාම ප්‍රමාද වී තිබිණ. ඒ තවත් ගවයෙකි.  ඌ මියගොස් තිබුණි. උගේ හම ඉරා තීරු තීරු කර තිබුණි. ලයිල් සිට ගත්තේය. දුකක් හා භීතියක් ඔහුට දැනුණි. ගවයාගේ, මේ අයුරින් අත් පා ඉරා දැමීමට හැක්කේ කුමන සත්වයෙකුටද? ඔවුන් එය නවත්වන්නට යන්නේ කෙසේද?

          ලයිල්ට එම ශබ්දය නැවත ඇසුණි. මේ මොහොතේ නම් නිසැකවම ඔහු පිටුපසිනි.

          ලයිල්, තම විදුලි පන්දම වනා, බිහිසුණු සත්වයාගේ දෑස් එයට හසුකර ගත්තේය. ඒ අමනුෂ්‍ය රතු ඇස්.....

          රුදුරු සත්වයා තමාට පහර දී බිම දැමීමට පෙර තම ආයුධය ක්‍රියාත්මක කිරීමට කාලයක් ඔහුට නො විණි.  ලයිල්, බරපතල ලෙස පහර කා බිම වැටුණි. තම සිරුර අහසේ පාවෙන්නාක් මෙන් ඔහුට දැනුණි. අඳුරේ යම් නොපෙනෙන දෙයක්, බෝනික්කෙකු උඩ දමන්නාක් මෙන්.

          ගවගාලේ වැට මත ඇද වැටෙන විට, ලයිල්ට අවසාන වරට මතක තිබුණේ තම කෑගැසීමත් සමඟ මුසු වූ. තිරිසනාගේ රදුරු ගෙරවීම පමණි.

 

ජිම් පාකර්ට මඩුව දෙසින් යම් අරගලයක ශබ්දයක් ඇසුණි. භීෂකයා එය කිරීමට පෙර ගව රැල වෙතට යාගත හැකි වේවායි පතමින් ඔහු ඒ දෙසට ඉක්මනින් ගමන් කළේය.

ඒ විශාල බිහිසුණු දෙපා සත්වයා දුටු කල්හි, ඔහුගේ දෑස අති මහත් භීතියකින් ඇයී ගියේය. උගේ පසුපස ගොරෝසු ලොම් සහිත සමකින් ආවරණය වී තිබිණි. ඌ, ඔහුගේ පුත්‍රයා මරා දමමින් සිටී.

          පාකර් වහාම ක්‍රියාත්මක විය. ඔහු තම තුවක්කුව ගෙන භීෂකයාට වෙඩි තැබීය. සත්වයා එම වෙඩි පහරින් ඇඹරී ගියේය. ඉන්පසුව ඌ දෙරණ මත පතිත විය.

          පාකර්, ලයිල් අසළට ගොස් දණ ගැසීය.  ලයිල් ලේ පෙරාගෙන දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය.

          ලයිල්, තමා වයස අවුරුදු දහයේදී කළාක් මෙන් තම පියා වටා දෑත් පටලවාගෙන සිටියේ ජිම් පාකර්ට සෙළවීමටවත් නොහැකි ලෙසය.

පාකර් මොහොතකට ඔහු පසෙක තැබීය. ඔහුගේ මනස බිහිසුණු දෙපා සත්වයා දෙස යොමු වී තිබුණි. ඌ තවම ගව ගාලට අඩි දහයක් පමණ ඈතින්, සම්පූර්ණයෙන් දිගාවී සිටියි. නමුත් ඌ මියගොස් ඇතැයි එහු විශ්වාස නොකළේය. එය විශ්වාස කිරීමට හැකිවන සේ, ඔහු හැරී තවත් වතාවක් ඒ සත්වයාගේ සිරුරට වෙඩි තැබීය.

එක්වරම විදුලි කෙටුවේය. ඔහුගේ භීතියට හේතු වන පරිදි, තමා මරා දැම්මේ මොකෙක් දැයි ඔහු දිටීය. ඒ සත්වයෙක් නො වීය. නමුත් මිනිසෙක් වීය. නිරාවරණ පපුවක් සහිත දිග කළු කෙස් ඇති ස්වදේශික ඇමරිකානු තරුණයෙක් වීය. ඔහුට අවුරුදු විසිපහක් පමණ ඇති බව පෙනුණි. ලයිල්ගේ සම වයසේම.

තමා තුලින් කම්පනයක් හා චෙච්ලීමක් දිව යනු පාකර්ට දැනුණි. තමා වෙඩි තැබුවේ සතෙකුට බව ඔහුට විශ්වාසය. නමුත් ඔහු දැන් මිනිසෙකු මරා තිබේ.